V2025

ගොසිප්

හොඳට බලපන්, ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක් !

විවියන් රිචර්ඩ් කියන්නේ ක්‍රිකට් ලෝකේ දක්ෂ පිතිකරුවෙක් කියල හැමෝම දන්නවනේ. හැබැයි විවියන් ක්‍රිකට් වලට ආපු මුල්ම කාලේ එයාගේ පහරදීමේ කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ.

ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච් එකක් තිබ්බේ. ඉතිං ටයිමිනුත් අවුල් කවුරුත් වැඩිය දන්නෙත් නැති ආධුනික විවියන් රිචර්ඩ් ඒ මැච් එකේ බැටින් ක්‍රීස් එකට එනවා.

අනිත් පැත්තේ බෝලෙ තියෙන්නේ ග්‍රෙග් තෝමස් අතේ. ග්‍රෙග් තෝමස් බෝල් කරන්නේ අකුණු ගහනවා වගේ කියල තමයි කට්ටිය කියන්නේ. ඒ තරම් වේගවත්.

එදා මැච් එකේ ඔන්න ග්‍රෙග් තෝමස් යකා වගේ බෝල් කරනවා. පළවෙනි බොලේ විවියන්ගේ ඇඟේ වදිනවා. විවියන්ට තේරෙනවා එයා ඒ බෝලේ ඉස්සරහා පැරදුණා කියල. ඉතිං එයා කරබාගෙන හිටිය. රිදුණේ නැහැ වගේ ඊළඟ බෝලෙට සුදානම් වුණා.

තෝමස් කාරය නෙවෙයි නිකම් හිටියේ. පිටියට සහ ක්‍රීඩාවට අලුත් කළු හමක් තියන විවියන්ගේ මොරාල් බස්සන්නත් එක්ක පොර මෙහෙම කියනවා. නක්කලේට. ''මේ හලෝ, පේන්නේ නැද්ද...ඕක රතුපාට අවුන්ස පහක් බර රවුම් බෝලයක්. හොඳට බැලුවොත් පේනවා''.

මේ නක්කල් කරන්නේ අපි එවන බෝලෙවත් හරියට පේන්නේ නැති උඹට මොන ක්‍රිකට්ද කියන තේරුමෙන්.

විවියන් සද්දයක් නැහැ. කරබාගෙන ඉන්නවා.

ඔන්න එනවා ඊළඟ බෝලේ. ඒක අරිට හපන්. වෙඩිල්ලක් වගේ කණ ළඟින් කීං ගාල ගියා. ගහන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ.

තෝමස් කාරය ආයෙත් උගේ සද්දේ දාන්න ගත්ත. ''ඕයි...ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?''

විවියන් ආයෙත් කරබාගෙන ඉන්නවා. බිම බලාගෙන.

තුන්වෙනි බෝලේ ආව. ඒකට උස්සල ගහපු ගැහිල්ලට බෝලේ ක්‍රීඩාගාරයට උඩින් පියාඹල ගිහිල්ල ඊට පිටිපස්සෙන් ගලන ඇලට වැටුණ.

මෙච්චර වෙලා කරබාගෙන හිටපු විවියන් ග්‍රෙග් තෝමස්ට මෙහෙම කිව්වා. ''උඹ බෝලේ පාටයි හැඩෙයි බරයි ඔක්කොම දන්නවනේ... දැන් ගිහිල්ල අහුලාගෙන වරෙං''.

ඒක තමයි ක්‍රිකට් වල ශ්‍රේෂ්ටයෙක්ගේ ආරම්භය...ගොඩක් වෙලාවට බොහොමයක් ශ්‍රේෂ්ටයින්ගේ ආරම්භය.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

හඳගමගේ ඇල්බෝදරා ගැන රනිල් කතා කරයි !

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම ගේ "ඇල්බෝදරා" චිත්‍රපටය ජාත්‍යන්තර සිනමාවට ප්‍රවිෂ්ට විමේ ඉඩක් හිමි කර ගනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

කොලඹ gallface one හි PVR සිනමා ශාලාවේ දි ඊයේ (26) "ඇල්බෝදරා" චිත්‍රපටය නැරඹීමේන් පසු හිටපු අගමැති මෙම අදහස පල කර තිබේ.IMG 20220227 WA0004

ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදන කර තිබිම.ඉංග්‍රීසි ස්පාඤ්ඤ සිංහල දෙමල භාෂාව කතා කරන චරිත හා නෙරුදා පිළිබඳ ලොව පුරා උනන්දුවක් තිබිම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමාව තුළ ස්ථානගත ඉඩ සකස් කර දෙන බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එමෙන්ම ප්‍රධාන ස්‍ත්‍රි චරිත 3 හරහා කාන්තාව පිළිබඳ සංවාදයක් නිර්මාණය විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

මිට අමතරව විදෙස් හා ලාංකික නළුනිළියන් සියල්ලක්ම සම මට්ටමේ රංගන කුසලතා දක්වන අතර චිත්‍රපටයේ රිද්මය පවත්වාගෙන යාමට සංගීතය විශිෂ්ට කාර්යභාරයක් සිදු කරන බවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.

BTS හමුදා සේවයට !

ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි "ජින්" ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය.

ඔහු දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන අතර එතැන් සිට වසර දෙකක් ඔහුට සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටීමට සිදුවෙයි.

2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය ය.

පංචිකාවත්තේ ප්‍රේමචන්ද්‍ර අයියා ගැන : බිමල්ගේ සටහනක් !

0112345594 දුරකථනය නාද වේ!
අලුයම 2යි!
(මම කටහඬ වෙනස් කර කතා කළෙමි)

"සහෝදරයා මම ඉතාලියේ ඉඳන් කතා කරන්නේ මට ජේවීපී එකේ සාමාජිකත්වය ගන්න පුළුවන්ද?

ඔහු තරමක් සැකයෙන් දුරකථනයට පිළිතුරු දෙයි!
ඔයාගේ නම මොකක්ද?
මම එවෙලෙ මතක් වූ නමක් ඔහුට කියයි!
ඔහු තවත් ප්‍රශ්නයක් දෙකක් පමණක් අසයි!
"හොර බිමලා, මාව තම්බන්න එනව මෙතැන කටහඩ වෙනස් කරලා!"
ආදරයද තරහද මුසු හඬකින් මට බනියි!
ඉතින් තවත් විනාඩියක් දෙකක් කතාබහ කර අපේ කතාබහ නතර වෙයි!
මෙවැනි විහිලුවක් දෙකක් මාසයකට හමාරකට සැරයක් සිදුවවෙයි!
හැමවිටම ඔහු විසින් මගේ වෙනස් කටහඬ අල්ලා ගනී!

අපේ දෙමාපියන්ගේ වයසේ පසුවූ මේ මහත් කැපවීමෙන් යුතු වැඩිහිටියා සමග අපගේ කුඩා කල සිට තිබූ ආදරණීය සම්බන්ධය ඒ ආකාරය!

තවත් දවසක හැත්තෑ එකේ අරගලය ගැන ඔහු අපට කියයි!
හොරොව්පතාන පොලිසියේ ප්‍රහාරයෙ අත්දැකීම් ගැන කතා කරයි.

82 ජනාධිපතිවරණයෙදී ,කැකිරාවේදී රෝහණ සහෝදරයාගේ රැස්වීම කඩාකප්පල් කිරීමට පැමිණි මහින්දසෝම ඇතුළු මැරයන්ට ඔහු ඇතුළු පක්ෂයේ සහෝදරවරුන් ලබාදුන් සංග්‍රහය ගැන මහත් උනන්දුවෙන් කතා කරයි!

මම නැවත විහිලුවක් කරයි!

ඒවා වැඩක් නෑනෙ ඔයාලා හැත්ත එකේ, අසුනමයෙ මේක දින්න නම් අපි අද සමාජවාදය යටතේ හොඳින් ඉගෙන ගන්නව නේ!

එවිට ඔහු හැඟීම් බර වෙයි!
සමාජවාදය ගැන ඇති අචල විශ්වාසය ගැන විවිධ තොරතුරු කරුණු කියයි!

පංචිකාවත්ත කාර්යාලයේ සිටි නිසාම ටවර් රඟහලේ එල්ෆින්ස්ටන් එකේ සහ කොළඹ නගරයේ වෙනත් තැන් වල පවත්වන නාට්‍ය චිත්‍රපට ගැන උනන්දු වෙයි.
බොහෝ අවස්ථාවලදී මටද කතා කරයි.

බිමල් සහෝදරයා නාට්‍යයක් තියෙනවා බලන්න යමුද?ටවර් එකෙත්, ජොන් ද සිල්වා එකේත්, එල්ෆින්ස්ටන් එකේත් ඔහු සමඟ නාට්‍යය බලන්න ගිය හැටි අද ද සිහිපත් වෙයි!

නාට්‍යය බලා යන ගමන් ආප්පයක් කමුද කියා ඇසූ විට ඔහු එයට එක පයින්ම කැමැති වෙයි!

ඒ සියලු යාලුකම් ගිනිසිළුව පත්තරේ මුදල් ගැටළුව ගැන කතා කරන විට, ඔහුගේ විශාල CR පොත පෙරලන විට, අදාළ නොවේ.

ආදරණීය ප්‍රේමචන්ද්‍ර අයියේ, අපි පාසල් ශිෂ්‍යයන්ගේ වයසේ සිට වැඩිහිටියන් වීම දක්වාම,
සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් කැප කළ ඔබගෙ දිවිය වෙනුවෙන් මේ ආදරය මුසු ගෞරවය පුද කරමි.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ගේ ෆේස්බුක් ගිනුමෙනි

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය : ඈනී ඉරැනෝව්ට !

මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය.

ඒ ඇය ඇගේපෞද්ගලික අත්දැකීම් ද ඇසුරින්, ඉතා සරලව, ජීවිතය, පංති භේදය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබද ලියූ නිර්මාණ ඇගයීමට ලක් කරමිනි.

82 හැවිරිදි ඈනී ඉරැනෝව් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත්තේ නොබෙල් සාහිත්‍ය තෑග්ග තමන්ට හිමිවීම තමන් ලැබූ ගෞරවයක් බවය.

ඈනී ඉරැනෝව් රචනා කළ පොත් 20 කට වැඩිය. ඒවායින් වැඩි ගණනක් ප්‍රංශ පාසල් පෙළ පොත්වලට පවා ඇතුළත් වී තිබේ.

ශ්‍රාවකයාගේ නිවන පසක් කළ සප්තස්වර බුදුවරිය !

භාරත ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබේ.

අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ කොවිඩ් -19 වෛරසය ආසාදිත වීම නිසාය.

මිය යන විට ඇය 92 වැනි වියේ පසු වූවාය.

ඇයගේ අභාවය සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල තැබූ ඉතාම කෙටි වදන් පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ ආකර්ශනයට ලක්ව ඇති අතර එය පහත දැක්වෙයි.

ll

එන්න සේද පාරේ !

ලක් අරගල දිනුවේ කවදා ද?
අපි දශක ගානක් තිස්සේ පරදින්නේ ඇයි?

ඇස් ඉදිරිපිට පේන හේතු දෙකයි!

එකක් ඉංග‍්‍රීසි උගත් ප‍්‍රභූ නායකත්වයේ සටකපට ඥානය.

අනික ඉංග‍්‍රීසි නූගත් අරගලකරුවන්ගේ ගොන්කම.

1953නේ හර්තාලය පරාදයි. - 1956යේ බන්ඩාරනායක අගමැති
1971කේ කැරැල්ල පරාදයි - 1977තේ ජේ.ආර් අගමැති, 1978ටේ ජනපති.
1980 ජූලි වැඩවර්ජනය පරාදයි - 1982කේ ජේ.ආර්.ආයෙමත් ජනපති
1988-89 ජවිපෙ කරරැල්ල පරාදයි - 1994 චන්ද්‍රිකා ජනපති
2022 අරගලයේ පළමු අදියර පරාදයි - ඒ වසරෙම රනිල් අගමැති
2022 අරගලයේ දෙවෙනි මහා අදියරත් පරාදයි - ඒ වසරෙම රනිල් ජනපති.
හැම අරගලයකින් ම පස්සෙ,
ධනේෂවර නායකයෙක් තමයි පල නෙලන් තියෙන්නේ.

ඉංග‍්‍රීසි නූගත් ගැමියන්ට කොහේ හරි වැරදිලා.

ඒ හින්දා 2024වත් ජවිපෙන් ජනාධිපති කෙනෙක් දිනවන්න
නගර සංස්කෘතිය තුළ පක්ෂය ප‍්‍රතිසංවිධානය කරහල්ලා.

ආස ම නම්, මේව නාහා, ඒ පාරත් කෙලවම ගනිල්ලාල, දශක ගාණක පුරුද්දනේ!

උදව්වට කතා කරන එවුන්ටත් -පොර ටොක් දාල වැඩක් නෑ!

- අරවින්ද

පී.බී. යයි

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර  අද දිනයේදී සිය තනතුරට සමුදීමට කටයුතු කළේය.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉතා චාම් උත්සවයක්ද පැවැත්විණ.

මෙහිදී කාර්යාලයීය නිලධාරීන් පැමිණ ජයසුන්දරට සුබ පැතූ ආකාරයද දැකගත හැකි විය.

pb 1 1000px2

pb2 1000

ලංකාවට ඓතිහාසික ජයක් !

වසර 30 කට පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙරට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව අද (21) සමත්විය.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහි තරග පහකින් සමන්විත එක් දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම සමගය.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.

පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාව ලකුණු 258ක් ලබාගන්නා විට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ශතකයක් වාර්තා කළේය.

අනතුරුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගන්නට හැකි වූයේ ලකුණු 254ක් පමණි.

ලීක් වුණ ඡායාරූපයක් නිසා : ජැක්ලින්ගේ පෞද්ගලිකත්වයට හානියක් !

මූල්‍ය වංචාවකට ‌චෝදනා ලබා සිටින සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත් මානසික පීඩාවකට ලක්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක තබමින් සදහන් කොට ඇත්තේ එම ජායාරූප බෙදාහැරීීමෙන් වැළකී සිටින ලෙසත් මෙම දුෂ්කර අවස්ථාවේ තමන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය නොකරන ලෙසත්ය.

එම ප්‍රකාශය මෙසේය, “මේ රට සහ එහි ජනතාව මට කවදත් ඉමහත් ආදරයක් හා ගෞරවයක් ලබා දී ඇත. මෙයට මගේ මාධ්‍ය මිතුරන් ද ඇතුළත් ය, ඔවුන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගෙන ඇත. මම මේ වන විට රළු පැල්ලමක් හරහා යමින් සිටින නමුත් මගේ මිතුරන් බව මට විශ්වාසයි. රසිකයන් මාව ඒ හරහා දකිනු ඇත.”

“මගේ පෞද්ගලිකත්වයට සහ පුද්ගලික අවකාශයට බාධා කරන ආකාරයේ ඡායාරූප ප්‍රචාරය නොකරන ලෙස මම මගේ මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශ්වාසය සමඟයි. ඔබ ඔබේම ආදරණීයයන්ට මෙය නොකරනු ඇත, ඔබ මට මෙය නොකරන බව සහතිකයි. යුක්තිය සහ යහපත් හැඟීම පවතිනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ස්තූතියි,” යනුවෙන් ඇය සදහන් කොට ඇත.

චන්ද්‍රශේකර්ගේ කෝටි 200ක මුදල් විශුද්ධිකරණයේ නඩුවට ජැකලින්ද මේ වනවිට සම්බන්ධ වී සිටින අතර ඉන්දීය ආරක්ෂක අංශ ඇගෙන් තුන්වතාවක් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

jaclin 1000px

-mawrata

ලියෝනි කොතලාවල : දිවි සැරිය නිම කරයි !

ප්‍රවීණ රංගනී ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල අද (19) සිය දිවි සැරිය නිම කළාය.

1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගන දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ ඇසුරින්ම නිර්මාණය වූ සාමා චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසියාය.

චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වූවාය.

සෝමාගේ සිහිනය, තාරාදේවි,චරිත තුනක්, කුමාරිහාමි, චාරුලතා,අරවින්ද සහ ඉන්ද්‍රා,හිරුට මුවාවෙන්,නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට රංගනයට දායක වූ ඇය මිය යනවිට 78 වැනි වියේ පසු වූවාය.

තිළිණි පෙරේරාගෙන් සුදේවට ප්‍රසිද්ධ ලියුමක් !

ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක වන තිළිණි පෙරේරා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි අමතා ප්‍රසිද්ධ ලිපියක් සිය ෆේස්බුක් ගිනුමේ පළකර ඇත.

එය පහත දැක්වෙයි.

ඉතින් ආයුබෝවන් ස්වර්නවාහිනී - ස්වර්නවාහිනියෙන් නිල වශයෙන් සමුගනිමි.

සුදේව හෙට්ටිආරච්චි වෙත ලියමි,

මීට අවුරුද්දයි මාස 3කට පෙර එනම් 2020.09.22 දින මාගේ සහ ස්වර්නවාහිනි හිටපු නිවේදක නදීක කරුණානායකගේ සියලු වැඩසටහන් නිවේදන කටයුතු නවත්වා කිසිදු හේතුවක් නොදන්වා පරීක්ශණයක් පවත්වන බව පැවසූ දිනයේ, ප්‍රධාන විධායක නිලදාරියා වූයේ ඔබ බැවින්ද , මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ශ ජනරාල්වරයා වුවද ස්වර්නවාහිනියේ කටයුතු මෙහෙයවන්නේ ඔබ බවට ආයතනයේ කා අතරත් ප්‍රසිද්ධ රහසක් බැවින්ද මෙම ලිපිය ලැබීමේ එකම සුදුස්සා ඔබ යැයි සිතමි. එදා සිට අද දක්වා තිරයේ නොපෙනුණත් අද දක්වා ස්වර්නවාහිනියේ සේවිකාවක් වූ බැවින් බොහෝ දෙනෙක් විමසූ ප්‍රශ්න වලට සත්‍ය කිව නොහැකිව නිශ්ශබ්දව සිටින්නට සිදු විය.

ඔබත් රංගන ද සිල්වාත් ස්වර්නවාහිනියට පැමිණෙද්දී එක් කරුණක් පිලිබඳව මා ඇතුලු අනෙක් සේවකයින් සතුටු විය. ඒ විජාතික සමාගමක් වන ලයිකා මොබයිල් සමාගම විසින් මිලට ගත් ස්වර්නවාහිනියේ ප්‍රධාන තනතුරකට මෙරට මාධ්‍ය ක්ශේත්‍රයේ කොතැනක හෝ සිටි අය පැමිණීම ගැන සතුටක් වූ බැවිනි. ඔබ පැමිණීමෙන් පසු මුල් වරට අප හමුවී ස්වර්නවාහිනියේ මෙතෙක් කලක් සිටි නිවේදකයින් සම්පතක් බවත් ගමන ඇත්තේ ඒඅයත් සමග බවත් කියද්දී එම සතුට වැඩිවිය. ඔබේ අතීතය ගැන දන්නා සමහරු නම් ඒවා වචන පමණක් විය හැකි බව කීවත් ඒ තරම්ම මවා පෙන්විය හැකි යැයි නොසිතුවෙමි. කෙසේ වෙතත් ඒ සමහරු කී දේ පසක් කරමින් මුලින් කී කතා බොරු රංගන බව තේරුම් ගන්නට හැකි වූයේ අප රාජකාරි වලින් ඉවත් කිරීමෙන් පසුවයි. එවකට ස්වර්නවාහිනියේ සිටි මාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීන , ජනප්‍රිය නිවේදකයින්ටද දවසින් දවස පල නොකියා පලා බෙදද්දී මට කවර කතා දැයි අමුතුවෙන් කිවයුතු නැත. මා මුලින් සඳහන් කල නදීක කරුණානායක හා මා සියලු වැඩසටහන් වලින් ඉවත් කර ලිපියක් ලබා දුන් දිනයේ ඒ ගැන විමසීමට යද්දී ඔබ පිළිතුරු නොදී පලාගිය අයුරු අදටද සිහිවේ. රූපවාහිනී තිරය ඉදිරියේ රටේ නම ගිය චරිත ප්‍රශ්න කල ඔබේ ප්‍රතිරූපය මා වැනි වයසින් බාල , තනතුරින් පහල නිවේදිකාවක් ඉදිරියේ හෑල්ලු වූයේ ඇයි දැයි මම නොදනිමි. මා නීතිඥවරියක ලෙස දිවුරුම් දී සේවයට පැමිනි මුල්ම දිනයේ එය සිදුවීමත් , ඔබ හැර ආයතනයේ සියලු දෙනා මට සුබ පැතූ බවත් කිසිදා අමතක නොවේ. එදින ඔබට මා ඉදිරියේ පිළිතුරක් නැති වූයේ මේ සමස්ත සිදුවීම ඔබගේ පමණක් සැලසුමක් නොවූ නිසා විය හැක.

විදේශයක සිට එන බලවේගයක් විසින් ඔබව මෙහෙයවූවා විය හැකි බැවින් ඔබ කෙරෙහි කිසිදු වෛරයක් මට නැත. බහුතරයක් දෙනා මුලින්ම සිතන්නේ තමන් ගැනය. සිතා ගත නොහැකි තරමේ වැටුපක් ආරාක්ශා කර ගැනීමට සහෝදර සේවකයින් නෙරපා හැරීමටත් වඩා දේ ඉදිරියේදී ඔබට කරන්නට සිදු වුවහොත් ඊටද පුදුම විය යුතු නැත. 2022 වසර ආරම්භයත් සමග ස්වර්නවාහිනියත් සමග තිබූ ව්‍යාකූල වූද , පීඩාකාරී වූද බැඳීම ලෙහා දමන්නට සැලසීම මට නම් මහත් සහනයකි. මාස 15ක් තිස්සේ ද්වේශ සහගත ලෙස අවහිර කර තිබූ නිවේදන ගමන හෙට සිට මට නිදහසේ යළි ඇරඹිය හැකි වනු ඇත. අවසාන වශයෙන්, රූපවාහිනී තිරය ඉදිරියේ තමන් සර්ව සාධාරණ බව හඟවමින් මවා ගන්නා ව්‍යාජ ප්‍රතිරූප වලට ඇත්තේ තාවකාලික පැවැත්මකි. එකී ව්‍යාජ ප්‍රතිරූප ගැන රටේ සමස්තයක් දෙනා නොදන්නවා වුවද ස්වර්නවාහිනි මාධ්‍ය ආයතනයේ සේවකයින් නම් හොඳින් දනී. රටේ ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා රඟපෑමට පෙර ස්වර්නවාහිනි නාලිකාවේ සේවකයින් කී දෙනෙකු නව කළමණාකාරීත්වයේ අසාධාරණ තීරණ හේතුවෙන් සාධාරණත්වය පතා අධිකරණය ඉදිරියට ගොස් ඇත්දැයි පරීක්ශා කර බලන මෙන් ඉල්ලමි. ඒ සංඛ්‍යාවට හෙටින් පසු තවත් 1ක් එකතු කරගන්න. තමන් යටතේ සිටින සේවකයින්ට සාධාරණයක් කල නොහැකිව ලයිකා මොබයිල් සමාගමේ මුදල් වලට කීකරු වන ඔබ අසරණයැයි සිතා ඔබට අනුකම්පා කරමි.

තිළිණි පෙරේරා

තිළිණි පෙරේරා ගේ ෆේස්බුක් ගිනුමෙනි

ප්‍රසාදිනී කුමාරි 'ස්පන්දන ' ජනගත කරයි !

චිත්‍ර ශිල්පිණී ප්‍රසාදිනි කුමාරි , තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 'ස්පන්දන' (Pulse) නමින් එළිදැක්වීමට නියමිතය.

'ස්පන්දන' සමාරම්භක උත්සවය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී 2022 ජුනි 03 වන දින ප.ව. 5.00 සිට ප.ව. 8.00 දක්වා පැවැත්වේ. ඊට අමතරව ජුනි 4, 5 දෙදින තුළ පෙ.ව. 10.00 සිට ප.ව. 8.00 දක්වා ද සැමට විවෘතව පවතියි.

ඇක්‍රිලික් සහ තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් අඳින ලද කැන්වස් චිත්‍ර 30ක් ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි. වෘත්තියෙන් චිත්‍ර ශිල්පිණියක මෙන්ම වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද ඇය කටයුතු කරයි. ප්‍රසාදිනී, දීර්ඝ කලක පටන් චිත්‍ර විෂයය ඇසුරෙහි නිරන්තර පර්යේෂණයෙහි යෙදෙන්නියකි.

received 1094461794746160

received 680886746532963

received 599470371533672

received 398320572025293

IMG 20220514 112914

IMG 20220428 193816

ගංජා ග්‍රෑම් 7 කට අවසර !

ගංජා ග‍්‍රෑම් 07 ක ප‍්‍රමාණයක් ළග තබා ගැනීමටත්, සිය ගෙවත්තේ ගංජා පැල හතරක් වගා කර ගැනීමටත් මෝල්ටා රාජ්‍ය එරට පුරවැසියන්ට අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.

මීට අදාලව පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද පනතට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලැබී තිබේ.

කෙසේ වෙතත් ප‍්‍රසිද්ධියේ ගංජා පානය කිරීමට අවසර නොලැබෙන අතර, දරුවන් ඉදිරියේ ගංජා පානය කිරීම දඩයකටත් යටත් වේ.

ශ්‍රී ලංකා කඩුළු පැනීමේ ශූරිය : සිය දිවි නසාගෙන !

මීටර 400 කඩුලු පැන දිවීමේ ශ්‍රී ලංකා ශූරිය වන කෞෂල්‍යා මධුෂානි, කුලියාපිටියේ පිහිටි සිය නිවසේදී එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

ඇයගේ අත්අකුරින් ලියූ ලිපියක් ද නිවසේ තිබී හමු වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන මධුෂානි, දියගම ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවැති සියවන සැමරුම් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කඩුලු පැන දිවීමේ පළමු ස්ථානය දිනාගනිමින් දක්‍ෂතම කඩුලු පැන දිවීමේ ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගැනීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව නියෝජන කරමින් ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී ඇති 26 හැවිරිදි මධුෂානි ජාත්‍යන්තර පදක්කම් රැසක් ද දිනාගැනීමට සමත් වූ ක්‍රීඩිකාවකි.

ඇය සියදිවි නසාගන්නට ඇතැයි සැක කෙරේ.

kau letter

- lankadeepa

අගමැති පුතු මැච් එකේ නෑ : ශූට් එකේ විතරයි !

තමන් මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ පවසයි .

දඹුල්ල කණ්ඩායම සමග එම කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම සමඟ තමන්ගේ පින්තූර කිහිපයක් පළ වූයේ එහි තේමා ගීතයකට අදාල රූප රචනා කටයුතු සිදු කිරීමේදී ගත් ඒවා බව ඔහු පැවසීය.

තමන් එම කණ්ඩායමේ නිල තේමා ගීතය නිර්මාණය කිරීමට සම්බන්ධ වී සිටින බවද ඔහු සඳහන් කරයි.

මීට පෙර තමන් විසින් පැවසූ පරිදිම ‍ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට තමන් සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.

image 63645b6362

GR ට එරෙහිව උද්ඝෝෂණයට පැමිණි සංජීවනීව එළවයි !

ගායන සහ රංගන ශිල්පිනියක වන සංජීවනී වීරසිංහට ඇමරිකාවේ උද්ඝෝෂණයේ නිරත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙතින් බරපතළ විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

අදාළ උද්ඝෝෂණය සිදුකර ඇත්තේ අමරිකාවේ – ලොස් ඇන්ජලිස් නුවරදීය.

ඒ ශ්‍රී ලංකාවේ පවතින දූෂිත පාලනයට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ය. මේ අවස්ථාව සඳහා එක්වීමට සංජීවනී වීරසිංහ පැමිණ ඇත. එහිදී විරෝධතාවය සඳහා එක්ව සිටි ජනතාව ඇයව එම ස්ථානයට ප්‍රතිකේෂ්ප කර ඇත.

ඊට හේතුව පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ සංජීවනී වීරසිංහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් මිනිසුන් නොමග යැවූ අදහස් දක්වමින් කටයුතු කිරීම බවත් වාර්තා වෙයි.

රස වැඩියෙන් ලුණු අඩුවෙන් : වැඩේ මුල්තැන ශිරන්තිට !

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ "රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය-2021" අවසන් මහා තරගය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

මීට අදාළ නිවේදනයක් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ පළමු වටය සඳහා නිර්ණායක සපුරන ලද සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් හතළිහක් තරග වැදුනේය.

එම කණ්ඩායම් හතළිහෙන් විස්සක් දෙවැනි වටයටත් දෙවැනි වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් පහක් අද දින පැවති අවසන් මහා තරගයටත් තේරී පත්ව තිබේ.

අවසන් තරගය පැවැත්වෙන අවස්ථාවට පැමිණි අග්‍රාමාත්‍ය ආර්යාව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස විසින් පිළිගනු ලැබුවාය.

අනතුරුව අවසන් මහා තරගයට එක්වූ තරගකරුවන් හා සුහඳ කතාබහක නිරත වූ අග්‍රාමාත්‍ය ආර්යාව එම කණ්ඩායම් පිසින ලද ආහාරවල රස බැලුවාය.

අධික ලුණු භාවිතය සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන අතර අධි රුධිර පීඩනය සහ ඊට අදාළ සංකූලතා ඇතිවීමේ අවදානම ඉහළ යයි.

දෛනික ලුණු පරිභෝජනයෙන් සියයට 80ක් නිවසේ පිසින ලද ආහාරවලින් ලැබෙන බැවින් ආහාර පිසීමේ දී ලුණු අඩු කිරීම සෞඛ්‍යට ඇති අහිතකර බලපෑම අවම කරයි.

ලුණු අඩු ආහාර වේලක ඇති වැදගත්කම පිළිබඳව ආහාර තාක්ෂණ සහ සූපශාස්ත්‍ර කටයුතුවල නියුතු වන්නන් මෙන්ම මහජනතාවට අවබෝධයක් ලැබෙන පරිදි මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සහ යුනිසෙෆ් ආයතනයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

Page 2 of 4