V2025

පුවත්

ආයෙත් එන්න හදපු කෙනාව සජිත් ප්‍රතිකේෂ්ප කරලා !

සජිත්ගේ සජබ එක්ක සන්ධාන ගතවෙලා පාර්ලිමේන්තු ඇවිත්, ආයෙත් එක එක පක්ෂ සංවිධාන අටවා ගෙන ඉක්මනින් විපක්ෂයේ නායකත්වය ගන්න උත්සාහ කරලා ඒ සේරම අසාර්ථක වුනු නායක සයිස් කෙනෙක් ගැන තමයි මේ කතාව .

ඔන්න දන්න සෙල්ලම් සේරම දාලා අසාර්ථක වුනු ඒ උන්නැහේ සජබ පක්ෂයේ ඉහළම තනතුරක් දරන කෙනෙක්ව රහසේම හම්බෙලා . ඊට පස්සේ එයා එක්කම සජබ නායක සජිත් ව හම්බෙලා .

ඒ ගිහින් පරණ හාදකම් ආයෙත් අලුත් කරගෙන ආයෙමත් ආදරෙන් අලුත් ගමනක් යන්න යෝජනාවක් දාලා . හැබැයි ආරංචි විදිහට සජිත් මේකට කැමති වෙලා නෑ . සජිත් ගේ ස්ථාවරය වෙලා තියෙන්නේ , මේ කෙනා කාලෙන් කාලෙට දිනන පැත්තට ඇවිත් ප්‍රබල අමාත්‍ය ධූර ගන්නවා , ඊට පස්සේ ඒ කඳවුරේ නායකයා වෙන්න ගේම් ගහනවා. ඒ නිසා තියෙන මරාල වෙනුවෙන් අලුත් මරාල ඕන නෑ කියලලු. ගියා නම් ගිය විදිහට එයාට ඉන්න කියන්න . අපි මේ යන විදිහට යමු කියලලු.

ඔය අස්සේ සජබ සමහරු කියන්නේ සජිත් එයාට අභියෝගයක් වෙන්න පුළුවන් කාවවත් ගන්නේ නෑ . කොහොමටත් ඉස්සරහට යන්න ඕන අය ඉන්නවා නම් , වෙන ගමනක් ගැන හිතන්න වෙනවා කියලලු.

පාස්කු ප්‍රහාරය - සාක්ෂි එක්ක එන්න : ජනාධිපති පරීක්ෂණ කොමිසම දන්වලා !

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ තැනැත්තන් කවුද කියා තමන් දන්නා බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විශේෂ ජනාධිපති පරීක්ෂණ සභාවක් හමුවේ පෙනී සිට ඊට අදාළ සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කරන ලෙස නියම කර ඇත.

එම පරීක්ෂණ සභාවේ සභාපතිත්වය දරන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි.එම්. ඉමාම් මහතාය. 2023 වසරේ සැප්තැම්බර් මස ප්‍රචාරය කළ චැනල් 4 නාලිකා චිත්‍රපටයකින් පාස්කු ප්‍රහාරය ගැන හෙළිදරව් කළ කරුණු විමර්ශනය ඇතුළු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන මෙම පරීක්ෂණ සභාවට පැවරී ඇති රාජකාරියයි.

එම පරීක්ෂණ සභාවේ ප්‍රධාන ලේකම්වරිය වන එස්. මනෝහරන් මහත්මිය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මීට අදාළ ලිඛිත නියෝගය පසුගිය බ්‍රහස්පතින්දා යවනු ලැබීය. ඒ අනුව අප්‍රේල් මස 02 දින එකී පරීක්ෂණ සභාව හමුවේ පෙනී සිටින ලෙසත් එදිනට ඔහු විසින් සිදු කළ ප්‍රකාශයට අදාළ සියලු සාක්ෂි රැගෙන එන ලෙසත් අදාළ ලිඛිත නියෝගයෙහි සඳහන්ය.

ඒ අතර ලබන අප්‍රේල් 04 දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර ඇත.

  • deshaya

එළවපු දයාසිරිව සිරිසේන ට හොඳ වෙලා : ශ්‍රීලනිප ලොකු තනතුරකට ආරාධනා කරලා !

මේ වෙනකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුවත් මවන චරිතයක් වෙලා. ඒ අස්සේ මැවුණු අලුත්ම පුවත තමයි , පසුගියදා චෝදනා පත්‍රයක් දාලා ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් එළියට ඇදලා දාපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප සභාපති ධූරය බාරගන්න ආරාධනා කිරීම.

හිටපු ජනාධිපති සිරිසේන මේ යෝජනාව දයාසිරි ට ඉදිරිපත් කරා කියන්නේ තමන්ගේ නිවසට එන්න කියලා . ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප සභාපති ධූරය බාරගත්තොත් පක්ෂය විසින් නිකුත්කර ඇති චෝදනා පත්‍රය යළි හකුළාගන්නා බවත් කියලා.

හැබැයි ආරංචි විදිහට දයාසිරි ඒ යෝජනාව ප්‍රතිකේෂ්ප කරලා. දයාසිරි පාර්ශ්වය කියන විදිහට තමන් ආය බාරගත්තොත් බාරගන්නෙ ශ්‍රීලනිප මහ ලේකම් ධූරය පමණක් දයාසිරි සිරිසේන ගේ මුහුණටම කියලා.

හැබැයි සිරිසේන කිව්වා කියන්නේ ඒ තනතුර දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා දරන නිසා , ඒක නම් දෙන්න බැරි වෙයි කියලා .

හැබැයි ආරංචි විදිහට මේ වෙනකොටත් මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඉන්නෙත් දෙගිඩියාවක ලු. මොකද එයාගේ හිතවතුන් මතක් කරලා , මෛත්‍රීපාල සිරිසේන ට ශක්තියක් දෙන්න ආපු දුමින්ද ව ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් ඉවත් කළ සිරිසේන ඒක දයාසිරි ට දුන්නා කියලා .

දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා - ජනපති

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි.

කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසු ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බවත්, කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන Kingdom of Raigam සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ ගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

2023 වසරේ තිරගත වූ ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදී අංශයන්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන හැටකට අධික ප්‍රමාණයක් පිරිනැමීම මෙහිදී සිදු විය.

රයිගම් විශේෂ ප්‍රණාම සම්මාන ප්‍රදානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එක් වූ අතර අතුල රන්සිරිලාල් මහතා, ගිවන්ත අර්ථසාද් සහ ග්‍රේස් තෙන්නකෝන්  යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබීය.

එමෙන්ම ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන “රයිගම් ප්‍රතිභා ප්‍රභා” ගෞරව සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහ  වෙත පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා  ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සේමිණී ඉද්දමල්ගොඩ  ද ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ප්‍රසන්න ජයකොඩි  විසින් අධ්‍යක්ෂණය කළ සහ වසන්ත කන්නංගර  විසින් නිෂ්පාදනය කළ “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යය ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස හිරු ටීවී සහ සිරස ටීවී යන නාලිකා ද්විත්වය ජනාධිපතිවරයා අතින් සම සම්මාන දිනා ගත් අතර, වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව සහ වසරේ සම්මානනිය නාලිකාව යන සම්මාන ද්විත්වයම දිනාගත් ස්වාධීන රූපවාහිනි ආයතනය ද ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මාන රාත්‍රිය ප්‍රවීණ ගායක ගායිකාවන් සහ ප්‍රවීණ රංගනවේදීන් විසින් ඉදිරිපත් කළ විශේෂාංගයන්ගෙන් වර්ණවත් විය.

සම්මානයට පාත්‍ර වූ සියලු කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සමඟ සමූහ ජායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා, ප්‍රවීණ කලාකරුවන්, ගායක ගායිකාවන් ඇතුළු පැමිණි සිටි පිරිස සමඟ සුහද කතා බහකට ද එක්විය.

raigam 240331සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

රයිගම් සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය අද 20 වන සංවත්සරය සමරනවා. මෙම සම්මාන උළෙල සඳහා ලබා දෙන දායකත්වය වෙනුවෙන් මම රයිගම් සමූහ ව්‍යාපාරය වෙත ස්තූතිවන්ත වීමට කැමතියි.

පසුගිය විසි වසර තුළ රූපවාහිනිය තුළ දැවැන්ත විප්ලවයක් සිදුව තිබෙනවා. ජංගම දුරකථනය, ලැප් ටොප් පරිගණකය සමඟ අද රූපවාහිනිය අභියෝගයකට ලක්ව තිබෙනවා. අද Netflix, Amazon සමඟ ලෝකය ඉදිරියට යනවා. අපත් මේ සමඟ ඉදිරියට යා යුතුයි. අද අනෙකුත් රටවල් භාෂා ගණනාවකින් චිත්‍රපට නිර්මාණය කරනවා. ග්‍රීසිය වැනි කුඩා රටවලද එය සිදු වෙනවා. අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ නිසා යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීකරණය කර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංවර්ධන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට අප කටයුතු කරන බව කිවයුතුයි. රූපවාහිනිය ආරම්භ කරන විට විශාල පිරිසකට ජපානයේ පුහුණු අවස්ථා ලබා දුන්නා. එම යුගයේ යශෝරාවය වැනි නව ටෙලි නාට්‍ය නිර්මාණය වීමට එය හේතු වුණා. අප නුදුරේදීම නැවත ඒ සඳහා කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පසුගිය වසරේ සිට චිත්‍රපට කලාවට එක් වී තිබෙනවා. The Frost කෙටි චිත්‍රපටිය නිර්මාණ කර තිබෙන්නේ AI තාක්ෂණයෙන්. එම චිත්‍රපටවල තිර පිටපත පවා සකස් කර තිබෙන්නෙත් AI තාක්ෂණයෙන්. ඒ වගේම ඉන්දියාව Maharaja in Denims නිර්මාණය කරමින් සිටිනවා. එය ලංකාවටත් එනවා. අපත් මීට සූදානම් විය යුතුයි.

කෘත්‍රීම බුද්ධිය ලංකාවට හඳුන්වාදීම පිළිබඳ දැනට අප පත් කර තිබෙන කමිටුවට මම උපදෙස් ලබා දී තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර ගනිමින් ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒ සඳහා රජයෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි.

මේ අයුරින් අපි නොසිතන ලෙස චිත්‍රපට කර්මාන්තය වෙනසකට ලක්වෙමින් තිබෙනවා. චිත්‍රපට සංස්ථාව නවීකරණය කරමින් සහ පළමු AI චිත්‍රපටය නිර්මාණය කරමින් අපි අලුත් ගමනකට මුල පුරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ජේ. බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ප්‍රවීණ රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්, ගායක ගායිකාවන්, කලාකරුවන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සභාවනීය ආරාධිත පිරිසක් සම්මාන උළෙලට එක්ව සිටියහ.

 

තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව : සිරිසේනට තවත් නඩුවක් !

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (30) පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන පත්කර ඇති අතර භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ පත්කර තිබේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර වෙනුවට සරත් ඒකනායක පත්කර ඇත.

නාමල්ගේ පට්ටම ගැන පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් කලකිරීමක !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් බරපතළ කළකිරීමකට පත්ව සිටින බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , පසුගියදා පැවති පොදුජන පෙරමුණේ සම්මේලනය අවස්ථාවේ එම පක්ෂයේ ජාතික සංවිධායක ධූරය පුරප්පාඩුව තබා ඇත.

අනතුරුව පසුගිය දිනක බැසිල් රාජපක්ෂ විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දරන පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු අමතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරය ගෙන පක්ෂය ගොඩනැගීම සඳහා මැදිහත් වන ලෙස දැනුම්දී ඇත. එහෙත් එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර ඇති අතර ඒ තමන්ට මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් පවරා ඇති වගකීම් සමුහය පෙන්වා දෙමින් ය.

පසුව බැසිල් රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණේ තවත් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු අමතා ජාතික සංවිධායක ධූරය බාරගන්නා ලෙස ඉල්ලා ඇති අතර ඔහු ඊට එකඟතාව පළකර ඇත. ඔහු ලැබුණු තනතුර පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුව ඇති බවත් ඒ එම මන්ත්‍රීවරයා උග්‍ර බැසිල් වාදියෙකු ලෙස ප්‍රසිද්ධ නිසා බවත් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවසේ පසුගියදා පැවති පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීම අවස්ථාවේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ නම යෝජනා කර ඇති අතර පසුව එය සම්මත කරගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ද සැලකෙන්නේ උග්‍ර බැසිල්වාදියකු ලෙස බැවින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ පත්වීම රාජපක්ෂ පවුල විසින් පසුව ගනුලැබූ රහසිගත තීන්දුවක් බව කළකිරුණු මන්ත්‍රීවරුන් ගේ අදහස වී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙසේ අවසන් මොහොතේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරය අහිමිව ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තු කමිටුවක සභාපති ධූරය ලැබීම හේතුවෙන් විපක්ෂයේ විරෝධය පළවූ මන්ත්‍රීවරයා ය.

සාගල - ඉන්දීය විදෙස් ලේකම් හමුවක් !

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra) ගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක  ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගියදා නවදිල්ලි නුවරදී පැවැත්විණි.

මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සාගල රත්නායක  ඇතුළු කණ්ඩායම සාදරයෙන් පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය නැවතත් ධනාත්මක මට්ටමකට පැමිණෙමින් තිබෙන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපායමාර්ගික ආර්ථික වැඩපිළිවෙළ මත එකඟත්වයට පැමිණි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීමට දෙරටටම හැකියාවක් තිබෙන බවද පෙන්වා දුන්නේය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරිමේ දී ඉන්දීය රජය ලබාදුන් සහාය කෘතවේදීව අගය කළ සාගල රත්නායක  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් සාගල රත්නායක  එහිදී ඉන්දියාව සමඟ පවතින ආර්ථික ඒකබද්ධතාව වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාව ද මෙහිදී සිහිපත් කළ රත්නායක  සමීපතම අසල්වැසියන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

දෙරට අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ව්‍යාපෘති නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම අවධානය යොමු වු අතර සැම කාර්තුවකදීම එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.

IMG 20240330 WA0004

අමරවීර, දුමින්ද, ලසන්ත, ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට

අද දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති - මහින්ද අමරවීර, ජාතික සංවිධායක - දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික - ලසන්ත අලගියවන්න එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

මෙම යෝජනාව පක්ෂ සභාපති මෛත්‍රිපාලය සිරිසේන විසින් සිදු කර ඇති අතර විධායක සභාවේ සියලු දෙනා එම යෝජනාව ඒකමතිකව ස්ථිර කරන ලද බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.

පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ජාතික සංවිධායක ධූරයට මහියංගණය ආසන සංවිධායක ගුණවර්ධන , භාණ්ඩාගාරික ධූරයට හෙක්ටර් බෙත්මගේ, ජේෂ්ඨ උපසභාපති ධුරයට සරත් ඒකනායක ද පත් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නියමිත වෙලාවට ඡන්දය තියෙනවා :  මුලින්ම එන්නේ  ජනාධිපතිවරණයක් !

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබුණත්, රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව තම ස්ථාවරය බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පවසයි.

ජනප්‍රිය හා ප්‍රසිද්ධ තීන්දු මෙන්ම බොරු පොරොන්දු දේශපාලන සම්ප්‍රදාය අවසන් කළ යුතුව ඇති බවත් ඒ වෙනුවට රටට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්තිමය දේශපාලනයට මුල්තැන දිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

එක්සත් ජාතික පක්ෂය බලයේ සිටි සෑම අවස්ථාවකම රට සංවර්ධනය වී ඉදිරියට ගිය බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය දුර්වලවූ අවස්ථාවේ රට බංකොලොත් වූ බවද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා මෙසේද පැවසීය.

මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබෙනවා. මෙහිදී රට ගැන හිතලා කිව්වොත් රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් බව මගේ ස්ථාවරයයි.

ජනාධිපතිවරණයක් හරහා තමයි රටේ ඉදිරි අනාගතය කොයි ආකාරයට සකස් වන්නේ යන්න තීරණය වෙන්නේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එළඹෙන ඔක්තෝබර් 17 ට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුයි. එය නියමිත වෙලාවට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කරයි. නමුත් දිනය තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම විසිනුයි. ඒ නිසා මැතිවරණයක් පැවැත්වීම ස්ථිර ලෙසම සිදුවන බව කිවයුතුයි.

රට පසුගිය සමයේ තිබු තත්වයට සාපේක්ෂව හොඳ තැනකට පත්ව තිබුණත් ජනතාවට තවමත් දුෂ්කරතා තිබෙනවා. ඒ සත්‍ය අපි වසං කළ යුතු නෑ. නමුත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියත්කර ඇති රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සාර්ථක බව ප්‍රායෝගිකව ඔප්පුවී තිබෙනවා. ඒ අනුව මේ වැඩපිළිවෙල ඔස්සේ ඉදිරියට යාමෙන් මේ පවතින දුෂ්කරතා අවම කරගන්නට හැකියාව ලැබෙනවා.

යමක් කඩා බිඳ දැමීම පහසුයි. ඊට ගතවන්නේ ඉතාම සුළු කාලයක් පමණයි. නමුත් යමක් ගොඩනැගීමට කාලයක් ගත වෙනවා. එහිදී දුෂ්කරතා මතුවෙනවා. මේ තත්වය තමයි ආර්ථිකය සම්බන්ධවද මතුව තිබෙන්නේ. රට බංකොලොත්වීම පහසුවෙන් සිදුවුණා. ඇතැමුන් ජනාධිපතිවරයාට චෝදනා කරනවා. එතුමා කළ වැරැද්ද බංකොලොත් වූ රට යලි ගොඩනැගීමද කියලා ප්‍රශ්න කල යුතුයි.

මේ වන විට විවිධ සන්ධාන හැදෙනවා. ඇතැම් සන්ධාන බිඳ වැටෙනවා. එළඹෙන මැයි දින සැමරුම හරහා අපි එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම්. අපි පක්ෂයක් ලෙස මේ වන විට අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න සූදානමින් ඉන්නේ. පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ ආයෙත් පක්ෂයට එකතුවීමට සාකච්ඡා කරමින් සිටිනවා. මේක එක්සත් ජාතික පක්ෂය. හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වුණා. රට ඉදිරියට ගියා. නමුත් එක්සත් ජාතික පක්ෂය දුර්වලවූ අවස්ථාවේ රට බංකොලොත් වුණා. ජනතාව ඒ ගැන දැනුවත්. මේ මොහොතේ පවා රට ගොඩනැගීමට නායකත්වය දී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයායි. ඒ වගේම පුළුල් සන්ධානයක් අපිත් නිර්මාණය කරගෙන යන්නේ. ඒ නිසා ඔය දැන් හදන සන්ධාන ගැන කලබල විය යුතු නෑ. අපි වෙලාව ආවහම අපේ සන්ධානය පෙන්වන්නම්. එය වැඩ කරන සන්ධානයක්. රට හදන සන්ධානයක්. රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න විදිහක් නැති පාර්ශව සමඟ සන්ධාන හදලා තේරුමක් නෑ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලටද පිළිතුරු දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේද පැවසීය.

දැන් බලන්න අර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නින්දෙන් නැගිටලා වගේ පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ නිකුත් කරනවා. ඔහු දැන්ද මහ මොලකරු සොයාගෙන තියෙන්නේ ? පාස්කු ප්‍රහාරය කියන්නේ අතිශය මිලේච්ච වගේම ඉතාම සංවේදී කාරණයක්. ඇයි ඔහු බලයේ සිටින විට මේ මහ මොලකරු සොයන්න උනන්දු නොවුණේ ? ජනාධිපති ධූරයෙන් ගියාට පස්සේද මහ මොළකරු හොයා ගත්තේ ? මේ වගේ හිතුමතේ ප්‍රකාශ සිදුකිරීම කොච්චර අමානුෂිකද ? මගේ නම් අදහස මේ වගේ කාරනා සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන. අවුරුදු පහකට වඩා පහුවු සිදුවීමක් ගැන දැන් එකපාරට විවිධ කතා කියන්න අරගෙන., බෞද්ධ , හින්දු, කතෝලික , මුස්ලීම් ජන්ද වලට ආමන්ත්‍රණය කරන මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න ඕන.

මේ වෙනකොට රට ගැන ආයෝජකයන්ට සුභවාදී අදහසක් පැමිණ තිබෙනවා. ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් වර්ධනය වෙමින් තිබෙනවා. ණය හිමියන් පවා රට ගැන විශ්වාසය ඇතිකරගෙන තිබෙනවා. ඒ හමුවේ පළපුරුද්දක් නැති , දැක්මක් නැති උදවිය මේ ඇතිකරගන්නා එකඟතා , ගිවිසුම් සංශෝධනය කරන බවට විවිධ කතා කියනවා. නමුත් ඒවා කතා විතරයි. ඔය කවුරුත් කතා කළාද රට බංකොලොත් වෙන්න යනකොට. කවුද ඒ බව දැක්කේ. කිසිම කෙනෙක් ඒ ගැන කතා කරේ නෑ. රට බංකොලොත් වූ අවස්ථාවේ රට ගොඩනගන්න කලයුතු දේ කිව්වෙත් නෑ. දැන් රට ඔලුව ඉස්සුවට පස්සේ විවිධ කතා කියනවා. ඒ ගැන ජනතාව තීන්දුව අරගනියි.

පසුගිය සමයේ මහ බැංකුව පිළිබඳව මම සිදුකළ ප්‍රකාශ නිවැරදි බව මේ වෙනකොටත් ඔප්පුවී තිබෙනවා. ඒ ප්‍රකාශ සිදුකළේ කුහක කමින් නෙවෙයි. රටේ මූල්‍ය විනයක් අවශ්‍යයි වගේම ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන උදවියත් විනයක් ඇතුව කටයුතු කළ යුතුයි. රාජ්‍ය අංශයේ සියලු දෙනාට වැටුප් වැඩිවීමක් ලබාදීමට නොහැකි බව පවසා තිබියදී මහ බැංකුව විතරක් කොහොමද වැටුප් වැඩිකර ගන්නේ . එය අසාධාරණයක් වගේම අමානුෂික බවයි මම කිව්වේ. දැන් ඒ අයටත් ඒ බව පිළිගන්න සිද්ධවෙලා තිබෙනවා.

මහ බැංකුවේ විතරක් නෙවෙයි විශේෂඥ දැනුම ඇති අය ඉන්නේ , තවත් ආයතන වල එවැනි පිරිස් ඉන්නවා. ඔවුන්ටත් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. අනෙක් උදවියටත් අවශ්‍යයි . නමුත් මේක ඒ සඳහා වෙලාව නෙවෙයි නම් , මහ බැංකුවට කියලා විශේෂයක් තිබිය නොහැකියි . ඔන්න එතකොට පෙනෙනවා කවුද කුහක ලෙස වැඩකර තිබෙන්නේ කියලා .

මේ වෙනකොටත් රුපියලේ අගය ඉහළ ගිහින්. එය කෘතිම ලෙස පාලනය කිරීම නරකයි. මේවායේ ප්‍රතිලාභ ඉදිරියේදී ජනතාවට ලැබෙනවා. නමුත් තවමත් අවධානමක් තිබෙන නිසා , පරිස්සමෙන් කටයුතු කළ යුතුයි . ආදායම් ඉහළ දැමීමට වගේම වියදම් පාලනය කරගත යුතුයි. වසර කිහිපයක් තුළ මේ රට හොඳ තැනකට ගන්න පුළුවන් .

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි - ජනාධිපති

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි.

සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

 රාජකීය, ශාන්ත තෝමස්, වෙස්ලි වැනි පාසල්වලින් ක්‍රිකට් ක්‍රිඩාවට එක්වුණු සියලුදෙනාම අද මෙහි පැමිණ සිංහල ක්‍රීඩා සමාජය සමඟ සිය අනන්‍යතාව තහවුරු කර තිබෙනවා. ඒ වගේම තමයි, මගේ මීමුත්තණුවන් වූ මීදෙණිය අදිකාරම්, මගේ සීයා වුණු සී.එල්. වික්‍රමසිංහ ඇතුළු එම යුගයේ සිටි බොහෝ දෙනෙක් සිංහල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණේ ඔවුන්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය වූ නිසායි. නිදහස ලැබුණු පසු මගේ පියාත් මීට සම්බන්ධ වුණා.

 එදා අප මේ අයුරින් ක්‍රිඩා සමාජ ඇති කරගත්තා. දෙමළ ජනයා දෙමළ ක්‍රීඩා සමාජ නිර්මාණය කළා. ඒ ජනවාර්ගික ගැටුමක් උදෙසා නොවෙයි. නමුත් විවිධ කණ්ඩායම් මේ තුළින් තමන්ට අනන්‍යතාවයක් ලබා ගැනීමට උත්සාහ කළා. ඒ ආගම හෝ කුලය මත නොවෙයි, භාෂාව සහ සංස්කෘතිය මතයි. මැලේ ජාතිකයින්ට පවා ඔවුන්ගේම ක්‍රීඩා සමාජයක් තිබුණා. ඒ සමඟ සිංහල, දෙමළ, මැලේ, සියලුදෙනාම එක්වුණා වගේම පසු කාලෙක එම සියලුදෙනා එක්ව පොදු අනන්‍යතාවයක් ලබා ගත්තා.

සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන් අතර අප පක්ෂයේ නායකයන් ද කටයුතු කර තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ද එවකට මෙහි සභාපතිවරු ලෙස කටයුතු කළා. එය අපට විශාල ගෞරවයක් බව කිවයුතුයි. පසුව මමත් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වුණා. නමුත් දේශපාලනඥයකු ලෙස මම තීරණය කළා එයින් ඉවත්විය යුතුයි කියලා. අද පවතින දේශපාලනය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ හෝ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ පැවති දේශපාලනය නොවෙයි.

 '' දේශපාලනය සහ ක්‍රීඩාව වෙන්ව තබා ගත යුතුයි''

දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වළකිනවා නම්, එය අප සියලුදෙනාටම යහපත් තත්ත්වයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මොකද දේශපාලනයත්, ක්‍රීඩාවත් එකිනෙකට වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වගේම කාලෝචිත බව කිවයුතුයි.

ක්‍රීඩාවෙන් අප ඈත්ව සිටින බව ඉන් අදහස් වන්නේ නැහැ. අප ඔබගේ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙනවා. ඒ වගේම අපේ නායකයන් විසින් පවත්වාගෙන ආ සම්ප්‍රදායන් අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා සිංහල ක්‍රීඩා සමාජයට අයත් භූමිය 99 අවුරුදු බදු පදනම මත ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස මම ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට මම කැමතියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයෙකු වනු දැකීම මගේ අපේක්ෂාවයි.

මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනයක මුදලක් වෙන් කර තිබෙන අතර ලබන වසරේ ඊටත් වඩා වැඩි මුදලක් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි. එම මුදල් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු වන සිදත් වෙත්තමුණි මහතා යටතේ වන භාරයකින් පවත්වාගෙන යනු ඇති අතර ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් ක්‍රිකට් තරග පැවැත්වීමට වගේම ග්‍රාමීය මට්ටමින් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් ඇති කිරීමටත් එමඟින් කටයුතු කෙරෙනවා.

 අප පාසල් 1000-1500 අතර ප්‍රමාණයක ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. එවිට ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පුළුල් සංචිතයක් නිර්මාණය වෙනවා. ඒ වගේම රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම කටයුතුවලදී ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ක්‍රීඩා සමාජ සතුව මහඟු වගකීමක් පැවරෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව ප්‍රමුඛයෙකු බවට පත් කිරීමට අප සියලුදෙනා එක්ව කටයුතු කරමු කියා ඉල්ලා සිටිමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිංහල ක්‍රීඩා සමාජය ලබා දෙන දායකත්වයට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, සිංහල ක්‍රීඩා සමාජයේ සභාපති ඉඳුනිල් ද සිල්වා, ලේකම් වසන්ත විජේසේකර, භාණ්ඩාගාරික නිලංක පීරිස් ඇතුළු විධායක කමිටු සාමාජිකයන්, සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් ද හිටපු එංගලන්ත ක්‍රිකට් නායක නසාර් හුසේන්, අයිසීසි තරග තීරක රංජන් මඩුගල්ලේ ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට

වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ.

ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කර ඇත.

මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සද්ධාතිස්ස හිමියන් පැවසා ඇත.

"උන්වහන්සේ ඇත්තටම අපිට වැරදි නෑ. නමුත් අපි දන්නේ නෑ සමාජයට කොහොමද කියලා. අපි නීතියට ගරු කරන නිසා නීතියෙන් දෙන ඕනෑම දෙයක් අපි භාරගන්නවා."

HIV ආසාදිතයන් 14%කින් ඉහළට

2023 වර්ෂයට සාපේක්ෂව මේ වසර තුළ මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසයි.

ඊයේ (මාර්තු 28) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළා ය.

ඇය සඳහන් කළේ, HIV ආසාදනය යනු පහසුවෙන් වළක්වාගත හැකි රෝගයක් බව ත් මෙම වයිරසය යම් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළත් වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා වසර 8 ත් 10ත් අතර කාලයක් ගත වන බව ත් ය.

ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඇය තවදුරට ත් සඳහන් කළා ය.

ඇය සඳහන් කළේ, මෙම රෝගය ආසාදනය වන්නේ, HIV ආසාදිතයෙකු සමග අනාරක්ෂිත ලිංගික ආශ්‍රයක් පැවැත්වීම තුළින් බව ත් නිවැරදි ලෙස උපත් පාලන කොපු භාවිත කිරීම තුළින් රෝග ආසාදනය වළක්වා ගැනීමට හැකි බව ත් ය.

වැඩි අවදානම් කණ්ඩායම්වල යෙදෙන පුද්ගලයන් සඳහා ප්රේප් (PrEP) ඖෂධ භාවිත කිරීම තුළින් HIV අවදානම අවම කර ගැනීමට හැකියාව පවතින අතර HIV සහ වෙනත් ලිංගාශ්‍රිත රෝග සඳහා රජය මගින් සායන 41ක් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක ම පවත්වන බව වෛද්‍යවරිය සඳහන් කළා ය.

මෙම සායන සඳහා යන ඕනෑ ම පුද්ගලයෙකුගේ රහස්‍යභාව ආරක්ෂා කරන අතර KNOW4SURE.lk වෙබ් අඩවිය භාවිත කර HIV සහ වෙනත් ලිංගාශ්‍රිත රෝග සායනයකට සහභාගී විමට හැකියාව පවතී.

 මෙම වෙබ් අඩවිය ලිංගාශ්‍රිත රෝග පිළිබඳව ස්වයං පරික්ෂණ කට්ටලයක් නිවසට ම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

 දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා තීරු බද්ද හා බැඳුණු නව බද්දක් හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කළේය.

 අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කළ අවස්ථාවලදී රටේ භාණ්ඩවල මිල ගණන් නඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාගේ පැත්තට යොමුවීම වැනි කරුණු මෙම බද්ද අහෝසි කිරීමට හේතුවූ බව ඔහු කීවේය.

 නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන දියුණු රටවල මෙන් තීරු බදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වැඩ පෙන්නූ ජාතික පාපන්දු කණ්ඩායම ජනපති හමු වෙයි : 24 ජර්සිය ජනාධිපතිට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියේ භූතානයට එරෙහි තරගයේදී වසර 11කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වූ අතර එම ජයග්‍රහණය අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට සුබපැතුම් පිරිනැමීය.

ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය (SAFF) ජයග්‍රහණය කිරීම සඳහා මෙහිදී පාපන්දු කණ්ඩායම දිරිමත් කළ ජනාධිපතිවරයා පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවට ද පොරොන්දු විය.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයක් සිදුව තිබෙන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මේ වන විට ලෝකයේ විවිධ රටවල වෘත්තීය තරගාවලි සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ද සහිතව ශක්තිමත් ජාතික කණ්ඩායමක් ගොඩනඟා තිබේ.

මෙහිදී ක්‍රීඩකයන් සමඟ සුහද කථාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

DLB ජනාධිපති අරමුදලට හොඳටම සළකලා !

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා තිබේ. ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රු. 5,193,833,721 අගයක් බවට පත්ව ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ අභියෝගාත්මක කාලවකවානුව තුළ රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයක් තුළ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවයි.

මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වාදීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව පැවසීය.

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් !

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පැවසීය.

පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය සමනය කර ගනිමින් මේ වන විට අප රටක් ලෙස සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා.

ජනවාරි, පෙබරවාරි මාස දෙක තුළ පමණක් සංචාරකයන් ලක්ෂ 05ක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ වගේම අප රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා. මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙනවා.

ඒ වගේම ඇඟලුම් හා පේෂකර්මාන්ත ආයතනය විසින් ළමුන් 500කට ආසන්න ප්‍රමාණයකට ඩිප්ලෝමා පාඨමාලා සහතික පත්‍ර ලබා දී තිබෙනවා. IDB ආයතනය සමඟ ඒකාබද්ධව පාසැල් ව්‍යවසායක කව නිර්මාණය කර දරුවන් ඇගයිමට ලක් කිරීමට ද අපට හැකියාව ලැබුණා. පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද කිව යුතුයි. එමඟින් නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිය හැකියි.

දිළිඳු පවුල් ලක්ෂ 24ක් වෙනුවෙන් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදුකරමින් සිටිනවා. පළමු වන වසරේ සිට පහ වසර දක්වා පාසැල් ළමුන් ලක්ෂ 17කගේ පෝෂණ අවශ්‍යතාව සැපිරීමේ අරමුණින් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

තව ද මැටි, පිත්තල සහ වේවැල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාලිය, කැනඩාව මෙන්ම ජර්මනිය ඇතුළු රටවල් වෙත මෙරට නිෂ්පාදන අපනයනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආසියානු සංවර්ධන අරමුදල සමඟ එක්ව සහනදායී පොලී අනුපාතයකට ණය ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම වේවැල් ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී තිබුණා. අප විසින් ඒ සම්බන්ධයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමත්‍යාංශය සමඟ සාකච්ඡා කර වේවැල් 500ක් දක්වා ප්‍රවාහන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. තවද මැටි ප්‍රවාහන කිරීමේ දී කියුබ් 05ක උපරිමයක් සඳහා අවසර ලබාදීමට ජාතික ශිල්ප සභාව සමඟ සාකච්ඡා කර අවස්ථාව සලසා දී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපචාර සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් !

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් ( Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලැබේ.

මෙම මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 - 2 778911 දිගු අංක (269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ www.childprotection.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාකරීව කටයුතු කරන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකටද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

එම කමිටු වාර්තාව 2023 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර බහු පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශන ඔස්සේ සකස් කරන ලද එම වාර්තාවේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කටයුතු කරන විවිධ වූ ආයතන සඳහා නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පළමු පියවර ලෙස කමිටුව විසින් අදාළ අංශ සහ ආයතන ඉලක්ක කරගත් කෙටිකාලීන නිර්දේශ කිහිපයකට ප්‍රමුඛත්වය දී ඇති බවත්, එය මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමටත් එම ගැටලුවල බරපතලකම අනුව ඒවාට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවත්, ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ද, නීතිපති සංජය රාජරත්නම්, සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂණයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

දන්න දේ කියන්න සිරිසේනව අධිකරණයට කැඳවයි !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු පිළිබඳව ප්‍රකාශයක් සිදුකිරීමට ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (28) නියම කළාය.

මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා තිබිණ.

Page 8 of 385