V2025

පුවත්

පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ලෝලීන් 500 ක් පළා ගිහින් !

වැලිකන්ද, කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 500-600ක් අතර ප්‍රමාණයක් ඉන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පවසයි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි රැඳවියෙකු ඊයේ (28) රාත්‍රියේ දී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් ඉන් පසුව එහි සිටි දහසකට ආසන්න පිරිසක් කඳවුර තුල කලහකාරී ලෙස හැසිරීමට ගෙන ඇති බවය.

මෙහිදී එම රැඳවියන් විසින් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිසියට සහ හමුදා සාමාජිකයින්ට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බවත් අද උදෑසන ආරක්ෂක වැටවල් කඩා බිඳ දමමින් රැඳවියන් 500-600ත් අතර පිරිසක් ඉන් පලා ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

මේ වන විට පලා ගිය පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මියගොස් ඇති රැඳවියා ගේ සිරුර අසල පොලිසියට හෝ ආරක්ෂක අංශ වෙත ලඟා වීමට එහි සිටින සෙසු රැඳවියන් ඉඩ නොදෙන බවත් පැවසීය .

හොඳටම කරපු හැටි : දත්ත සමග එළියට !

2022 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.6 කින් හැකිලී ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ “2022 වසරේ පළමු කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ සියයට 1.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2021 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව ආර්ථිකයේ සැලකිය යුතු හැකිලීමක් පෙන්නුම් කරයි.” යනුවෙන් පවසයි.

2020 සහ 2021 වසරවල කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු,2022 ආරම්භයේදී, ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ නව අපේක්ෂාවන් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකය සෙමින් වර්ධනය වීමට පටන් ගත් බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, උද්ධමනය, විදේශ විනිමය අවප්‍රමාණය වීම සහ ඩොලර් හිඟය වැනි සමහර සාධකවල අහිතකර බලපෑම් හේතුවෙන් 2022 පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 2021 පළමු කාර්තුවට සාපේක්ෂව මන්දගාමී බව වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලය තුළ රසායනික පොහොර හිඟය කෘෂිකාර්මික නිෂ්පාදනයට දැඩි බලපෑමක් ඇති කළ අතර විශේෂයෙන් සහල් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහත වැටුණි. “මේ අනුව, කෘෂිකාර්මික ආර්ථිකය 2015 වසරේ සිට මෙම කාර්තුවේ ඉහළම පහත වැටීමක් වාර්තා කළේය.”

මීට අමතරව, බොහෝ කර්මාන්ත හා සේවා සඳහා අත්‍යවශ්‍ය වන ඉන්ධන ආනයනය සඳහා පනවා ඇති සීමාවන්, ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු සියලුම නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදනය අඩු කර ඇත.

ඒ අනුව 2022 වසරේ පළමු කාර්තුවේදී කාර්මික අංශය ද සැලකිය යුතු පසුබෑමක් වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, රට තුළ පැවති සියලු අහිතකර තත්ත්වයන් මධ්‍යයේ වුවද, 2021 පළමු කාර්තුව හා සසඳන විට 2022 පළමු කාර්තුවේදී සේවා ක්‍රියාකාරකම්වල මෘදු වර්ධනයක් වාර්තා විය.

තවද, 2022 වසරේ පළමු කාර්තුව සඳහා වත්මන් මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 4,573,080 සිට රුපියල් මිලියන 5,368,465 දක්වා ඉහළ ගොස් ඇත්තේ සියයට 17.4ක ධනාත්මක වෙනසක් වාර්තා කරමිනි.

ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුන; ‘කෘෂිකර්මාන්තය’, ‘කර්මාන්තය’ සහ ‘සේවා’ වර්තමාන මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට තම කොටස පිළිවෙළින් සියයට 8.1, සියයට 31.1 සහ සියයට 55.6 කින් දායක කර ඇති අතර, ‘නිෂ්පාදන සඳහා බදු අඩු සහනාධාර’ සංරචකය 2022 පළමු කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 5.2 ක කොටසකට දායක වී ඇත.

මේ අතර, 2022 පළමු කාර්තුවේ දී කෘෂිකර්ම සහ කාර්මික අංශයන් පිළිවෙළින් සියයට 6.8 සහ සියයට 4.7 ක හැකිලීම් වාර්තා කළ අතර සේවා අංශය 2021 වසරේ පළමු කාර්තුව හා සසඳන විට සියයට 0.7 ක සුළු ප්‍රසාරණයක් වාර්තා කළේය.

IOC ඉන්ධන සදහා සීමාවක් !

ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා ඇති බව නිවේදනය කර ඇත .

ඊට අනුව IOC ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 1,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 2,500 ක සහ වෙනත් වාහනවලට රුපියල් 7,000 ක ඉන්ධන නිකුත් කරනු ඇත .

මීට පෙර IOC ඉන්ධන පිරවුම්හල්වලින් වරකට යතුරුපැදියකට රුපියල් 2,500 ක, ත්‍රිරෝද රථයකට රුපියල් 3,000 ක සහ වෙනත් වාහනවලට රුපියල් 10,000 ක් ලෙස ඉන්ධන නිකුත් කරනු ලැබිණ .

අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය !

"අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා," යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ඒ සැලැස්ම කුමක්ද යන්න ඔහු විස්තර කරනවා නම් හොඳය. එවිට බලයේ සිටින වෙනත් පාර්ශ්වයකට වුණත් එය කළ හැකිය.

කෙසේ වෙතත්, ජවිපෙ මතය තුළ පවා සර්ව පාක්ෂික ආණ්ඩුවක අදහස නොමැති වීම කැපී පෙනේ. එය වනාහි සර්ව පාක්ෂික නොව ජවිපෙ/ ජාතික ජන බලවේග ආණ්ඩුවකි. නැතිනම් ජවිපෙ කැමති පිරිස් තෝරාගෙන නිර්මාණය කරගනු ලබන සන්ධානයකි. අරගලයේ නායකයන් හෝ එයට ඇතුළත් වේද යන්න පැහැදිලි නැත.

අනුර කුමාර දිසානායක කියන මේ දෙයට අවස්ථාව ලබාදිය යුතු යයි මම සිතමි. එහෙත්, පුරවැසියකු ලෙස ඔහුට හෝ ඔහුගේ පක්ෂයට බලය ලබාදීමේ හැකියාවක් මට නැත. ඔහු ඉල්ලන්නේ ජනාධිපතිකම නොවේ. අගමැතිකමයි. ඔහු එය ලබාගත යුතුය. ජනාධිපතිවරයා හමුවී තම වැඩපිළිවෙල පැහැදිලි කර තමාට අගමැතිකම ලබාදෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලාසිටිය යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය වැනි පක්ෂවල ද සහාය අවශ්‍ය නිසා ඔවුන් සමග ද සාකච්ඡා කළ යුතුය.

ඔහු කැමති කැබිනට් මණ්ඩලයක් පාර්ලිමේන්තුවෙන් පත්කරගත යුතුය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා හැරුණු කළ තවත් ඇමතිවරුන් 12ක්වත් අවශ්‍ය වේ. ඒ සඳහා ඔහු කැමති පුද්ගලයන්ට ඇමතිකම් ලබාදීම සඳහා ඔහු පක්ෂ නායකයන් එකඟ කරගත යුතුය.

පාර්ලිමේන්තුවේ සිටින අය හොඳ නැති නම්, පිටත සිටින අය පාර්ලිමේන්තුවට පත්කරගත යුතුය. ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර ඔවුන් ඉල්ලා අස්වන්නට එකඟ කරගත යුතුය. ඔවුන් ඉල්ලා අස්වූ පසු එම මන්ත්‍රී තනතුරුවලට අගමැති අනුර කුමාර දිසානායක කැමති අය පත්කිරීමට එම පක්ෂවල ලේකම්වරුන් එකඟ කරගත යුතුය.

මේ කිසිවක් ජනතාවට කළ නොහැකිය. ඒ සඳහා අවශ්‍ය තත්වයන් ජවිපෙ/ ජාජබ විසින් නිර්මාණය කරගත යුතුය. කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායකගේ මෙම ප්‍රවේශය වැදගත්ය.

ඉන්පසු අනුර කුමාර දිසානායක ඔහු පවසන 'යම් ස්ථාවරය' වහා නිර්මාණය කළ යුතුය. එනම් ලංකාව ණය ආපසු නොගෙවූ බංකොළොත් තත්වය හේතුවෙන් මුහුණදෙන ආදීනවවලින් රට බේරාගත යුතුය. ඉන්ධන, ගෑස් ආදිය ආනයනය කරදිය යුතුය. පෝලිම් නැතිකළ යුතුය. ජනතාව වේදනාවට පත් නොකර ඔවුන්ගේ අවශ්‍යතා සපයා දිය යුතුය. නීතියේ පාලනය ඇතිකළ යුතුය. වැඩවර්ජන නැවැත්විය යුතුය. රජයේ සේවකයන්ගේ ඉල්ලීම් ලබාදිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සම්පත් සපයාගත යුතුය.

- අජිත් පැරකුම් ජයසිංහ,
Praja.lk

අනිත් අය ඉල්ලන මාස 06 : රනිල්ට නැත්තේ ඇයි ?

රට බාර දුනහොත් මාස 06 න්, අවුරුද්දෙන්, අවුරුදු පහෙන් තමන්ට රට හැදිය හැකිය කියන විපක්ෂ කණ්ඩායම් ඒ් කාලය අගමැති රනිල් වික්‍රමසිංහට ලබා නොදෙන්නේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රශ්න කරයි.

විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමඟ කොළඹදී අද (28) පැවැති සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව කීවේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය ගෙන තවමත් මාස දෙකක්වත් ගතවී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය නායකයා අවුරුදු දෙකක් විනාශ කළ රට දින කිහිපයකින් ගොඩගත යුතුයැයි පෙන්වන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරන පිරිස් මිස සැබෑ දේශප්‍රේමීන් නොවන බව ද කීය.

රට යළිත් පෙර තිබුණු තැනට ගෙන ඒ්මට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද සැලකිය යුතු කාලයක් ලබා දෙන්නැයි රුවන් විජයවර්ධන ඉල්ලා සිටියේය.

 

බයිඩන්ගෙන් ලංකාවට ඩොලර් මිලියන 20ක ආධාර !

ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28) නිවේදනය කළේය.

එම මුදල ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා යොදා ගනු ඇතැයි සඳහන් වෙයි.

මෙම මූල්‍ය සහාය පාසැල් ළමයින් ලක්ෂ 08 කට පාසැල් පෝෂණ වැඩසටහන යටතේ ආහාර සැපයීමටත් ගැබිණි මව්වරුන් 27,000 කට ඉදිරි මාස 15 සඳහා ආහාර වවුචර් පත් ලබා දීමටත් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගොවියන් 30,000 කට කෘෂි කාර්මික සහ මූල්‍ය සහාය ලබා දීමටත් යොදා ගැනෙනු ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත .

බස් ගාස්තු 30% කින් ඉහළට !

ජූලි මස 01 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට රජය තීන්දුවක් ගෙන ඇත .

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් ඉල්ලීමක් කළ බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා පැවසීය.

ජාතික ගමනා ගමන කොමිසම එම ඉල්ලීම පිළිබඳව සළකා හෙට (29) අනුමැතිය ලබාදීමට නියමිත බව ද ඔහු කීය.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස් සංගම් නිලධාරීන් අතර අද (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී එම ඉල්ලීම කළ බවත් ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් සඳහන් කළේය.

පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ - රජය : ජනතාව තවමත් පෝලිමේ !

අද (28)සිට ජූලි (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව ඊයේ (27) කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

ඒ අනුව ,සෞඛ්‍ය , ආරක්ෂක ,විදුලිබල, අපනයන කර්මාන්ත ආදී ක්ෂේත්‍ර සදහා පමණක් අද සිට ලබන 10 වැනිදා දක්වා ඉන්ධන නිකුත් කරන නමුත් පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමක් සිදුවන්නේ නැත.

ඒ බවත් අමාත්‍යවරයා ඊයේ පැහැදිලිව පැවසූ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංගම ඩිපෝ සහ ත්‍රිවිධ හමුදා ඉන්ධන පිරවුම්හලවලින් සිදුකරන බවද පැවසීය .

රට තුළ පැනනැගී ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඊයේ(27) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්,ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට එහිදී තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන හල් ඉදිරිපිට තවමත් පෝලිම් !

කෙසේ වුවත් අද දින කොළඹ තදාසන්න ප්‍රදේශ වල ඉන්ධන හල් ආශ්‍රිතව සංචාරය කළ අප වාර්තාකරුවන් පවසන්නේ පෞද්ගලික වාහන තවමත් ඉන්ධන අපේක්ෂාවෙන් පෝලිම් වල සිටින බවය.

කුමන හෝ අවස්ථාවක ඉන්ධන බව්සරයක් පැමිණ ඉන්ධන නිකුත් කෙරෙනු ඇති බව සහ ඉන්ධන ලැබෙන කුමන හෝ අවස්ථාවක ඒ ලබාගන්නට ටෝකන් පතක් ලැබෙනු ඇති බවට විශ්වාසයෙන් මෙසේ පිරිස රැඳී සිටින බවත් වාර්තාකරුවන් පවසයි .

ඒ හේතුවෙන් ඉන්ධන සැපයීම නැවත සිදුවන කාල වකවානුව පමණක් නොව , ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ජනගත කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් වාර්තාකරුවන් පවසයි .

 

කුඩා දරුවන් සිටින අම්මලාටත් : විදෙස් රැකියාවට අවස්ථාව !

වයස අවුරුදු දෙක හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇත.

ඒ අනුව ඉදිරියේදී අවුරුදු 05 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට බාධාවකින් තොරව රට රැකියා සඳහා පිටත්ව යාමට අවස්ථාවක් රජය විසින් සකස්කර දී ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ගෘහ රැකියා සඳහා විදේශගත වන කාන්තා විගමනිකයින්ගේ දරුවන් වයස අවුරුදු 05ට නොඅඩු බව තහවුරු කර ගැනීමේ අරමුණින් දැනට පවතින "පවුල් පසුබිම් වාර්තාවක්" ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව හේතුවෙන් කාන්තා අයිතිවාසිකම් කෙරෙහි බලපෑමක් සිදු කරන බව කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති අන්තර්ජාතික වාර්තා කිහිපයකම පෙන්වා දී ඇත.

එසේම ඇතැම් අවස්ථාවලදී එකී වාර්තාව ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා තිබියදී ද ඇතැම් නිලධාරින් විසින් විවිධ හේතූන් මත එකී වාර්තා ප්‍රමාද කිරීම මඟින් විදේශගත වීමට අපේක්ෂා කරනු ලබන කාන්තාවන් අපහසුතාවන්ට පත් කරනු ලබන බවට ද කරුණු ඉදිරිපත් වී ඇත.

එම වාර්තාව ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොමැති ඇතැම් කාන්තාවන් වෙනත් නීති විරෝධී මාර්ග ඔස්සේ කිසිදු අධීක්ෂණයකින් තොරව විදේශගත වී විවිධ ගැටලුවලට මුහුණපා ඇති බවත් වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, වයස අවුරුදු දෙක (02) හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී අනිවාර්ය පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

අධිකරණයට අපහාස කිරීමට එරෙහිව : අලුත් නීති එයි !

අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් අලුත් නීති හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීමට අදාළව මෙරට නීති පද්ධතිය තුළ නිසි නිර්චනයක් නොමැති බව සලකා බැලීමෙන් පසුවය.

මේ බව සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි .

ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය කරනු නොලබයි.

ඒ හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාවන් කොතෙක් ද යන්න පිළිබඳව තේරුම් ගැනීම අපහසු වී ඇත.

එසේම, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෑතකාලීනව දැඩි විවේචනයට ලක් වූ නඩු පිළිබඳව සලකා බැලීමේදී ඒ පිළිබඳ නීතිය නැවත සලකා බැලීම යෝග්‍ය බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, යෝග්‍ය නීති හඳුන්වාදීමේ අරමුණින් ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් මූලික කෙටුම්පතක් පිළියෙල කර ඇත.

එකී මූලික කෙටුම්පත මත පදනම්ව නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනයේ ගුවන යළිත් ජාත්‍යන්තරයට !

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් නැවත ලබන 01 වෙනිදා සිට ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි .

මූලික ජාත්‍යන්තර නියාමන අවශ්‍යතාවන් සහතික කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු 2019 නොවැම්බර් මස 11 දින ආරම්භ කර ලද නමුත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු 2020 මාර්තු මස 15 දින සිට තාවකාලිකව අත්හිටුවා තිබිණ .

මේ බව සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එම ගුවන් තොටුපොළේ සිට දකුණු ඉන්දියානු ගමනාන්ත දක්වා කුලී ගුවන් ගමන් සහ කාලසටහන්ගත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව ස්ථාපිත කර ඇති ගුවන් සමාගම් විසින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු 2022 ජූලි මස 01 දින සිට නැවත ආරම්භ කිරීම පිළිබඳව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

වලල්ලාවිට ගෝණව නම් බේරගත්තා : ඒත් අනිත් සතුන් ?

මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන සංවේදී පරිසර පද්ධතියක් වන කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාවලකන්ද පාරිසරික කලාපයට මායිම්ව පිහිටි හලවල්කැලේ ග්‍රාමසේවා වසමේ ගම්වාසීන්ට හට දඩයක්කරුවෙකුගේ බදින ලද තුවක්වකුවකට හසුව දරුණු ලෙස තුවාල ලබා අවතැන්ව සිටි ගෝණෙකු 2022.06.24 දින උදෑසන ප්‍රදේශයේ වනාන්තර කොටසක් තුල සිටියදී හමුවී තිබුණි.

අවතැන්වූ සත්වයා පිලිබඳව වාර්තා වූ පසු ඒ පිලිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කලද එදින වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සත්වයාට ප්‍රතිකාර ලබා දීම සඳහා පැමිණීමට නොහැකි විය.

03එම නිසාවෙන් ගම්වාසීන් එකතු වී අවතැන් වූ ගෝණා වනාන්තර ප්‍රදේශයෙන් පිටතට ගෙනවිත් හලවල්කැලේ ග්‍රාමනිලධාරී තුමන්ගේ කාර්යාලයේ තබා සත්වයාට අවශ්‍ය මූලක ප්‍රතිකාර ලබා දී වනජීවි නිලධාරීන් පැමිනෙන තෙක් ආහාර සහ රැකවරණය ලබාදෙන ලදී.

පසුදින එනම් 2022.06.25 දින වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තිඩිය වන සත්ව රෝහලේ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර වෛද්‍යතුමන් ඇතුළු කණ්ඩායම පැමිණ සත්වයා හට වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා වන සත්ව රෝහල වෙත රැගෙන ගියේය.

04

වෛද් යතුමන් සත්වයා හට පත් රිකාර ලබා දෙමින්වෙඩි වැදී තුවාල ලැබූ මෙම සත්ත්වයා හමුවූ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල දුර්ලභ වන සතුන් වාසය කරන යගිරල, නාවලකන්ද, මීගහතැන්න, හලවල්කැලේ, කලුගල, පැණියාවල මූකලාන, හේකොක් වනාන්තර වැනි වනබිම් අති විශාල ප්‍රමාණයක් පවතින අතර විශාල වන ජීවින් ප්‍රමාණයක් ඒවායේ ජීවත්වේ. ඒවායේ වෙසෙන වනජීවීන්ගේ රැකවරණය සඳහා වනජීවී කාර්යාලයක් නොමැති නිසාවෙන් දැනට අත්තිඩිය වන සත්ත්ව රෝහල සහ හික්කඩුව වනජීවී කාර්යාලය මෙම ප්‍රදේශය ආවරණය කරන අතර ඔවුන්ට ඇති විශාල සීමාව නිසාවෙන් ඉක්මනින්ම ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති අතර ඒ නිසා මෙසේ අවතැන්වන වනජීවීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට ඔවුනට අසීරුය.

මේ නිසා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී කාර්යාලයක් ස්ථාපනය කරන ලෙසට දිගින් දිගටම කල ඉල්ලීම් වලට අනුව 2022 වර්ශයේ මාර්තු මස සිට වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තු අනුමැතිය ලැබුන අතර ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි සොයා දීමට පවා ප්‍රදේශවාසීන් කටයුතු කරන ලදි.

07නමුත් අනුමැතිය ලැබුනු පසු කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි වැඩකටයුතු බස්නාහිර පලාත් කාර්යාලය වෙත යොමු කර ඇති අතර ඔවුන් මේ වෙනතෙක්ම කාර්යාලය ස්ථාපනය සඳහා කටයුතු කර නොමැත. ඔවුන් නිසියාකාරව ක්‍රියාත්මක වූයේනම් මේ වන විට වලල්ලාවිට වනජීවී කාර්යාලයක් ක්‍රියාත්මක වන අතර එය එසේ වූයේ නම් මෙලෙස අවාසනාවන්ත ලෙස වනජීවින්ට වේදනා විදීමකින් තොරව ඉක්මන් ප්‍රතිකාර යොමුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

ගම්වාසීන් පවසා සිටියේ මීට මාස 3කට පමණ පෙරද මෙම ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය ගෝනෙකු හමුවූ බවයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව වනසතුන් දඩයම් කිරීම බහුලව සිදුවන අතර වගකිවයුතු බලධාරීන් මේ පිළිබඳ මෙතෙක් අවධානය යොමුකර නොමැති අතර එමගින් වනජීවීන්ගේ ජීවිත වලට දැඩි තර්ජනයක් එල්ලවේ. මෙම ප්‍රදේශය තුල වනජීවි කාර්යාලක් නොමැති නිසා මෙවැනි වනජීවි අපරාධ බහුලව සිදුවන අතර වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමෙන් සතුන්ට සිදුවන හානි වලක්වා සතුන්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා දිය හැකි වේ. මේනිසා වලල්ලාවිටට අනුමත වූ වන ජීවි කාර්යාලය කඩිනමින් ස්ථාපිත කරන මෙන් අදාල බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

පරිසර ක්‍රියාකාරී

පේශල පසන් කරුණාරත්න

ජූලි 10 දක්වා රට කරවන හැටි : කැබිනට්ටුව ගත්ත තීන්දු මෙන්න !

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 දක්වා මෙරට ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් බලපෑම් සහගත තීන්දු කිහිපයක් කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇත .

මේ සම්බන්ධයෙන් යම් කරුණු ප්‍රමාණයක් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් අද මාධ්‍ය හමුවකදී දැනුම්දෙනු ලැබිණ .

ඊට අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සපයමින් සෙසු කටයුතු තාවකාලිකව සීමා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ.

එයින් අදහස් වන්නේ පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙනු ඇති බවය.

එසේම නගරික ප්‍රදේශවල පාසල් ජූලි 10 දක්වා වසා තැබීමටත් අන්තර් පළාත් ගගමනාගමනය බොහෝ දුරට අත්හිටුවීමට සිදුවනු ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය .

ඒ අනුව වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සිපෙට්කෝ වෙතින් ඉන්ධන සැපයෙනු ඇත.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .

“මේ දුෂ්කර අවස්ථාවේ දී ඛනිජ තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ට සහාය වන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් වෙන්නහොත් වෙන්නේ අපිට අත්‍යාවශ්‍ය සේවා ටික පවත්වාගෙන යාම සඳහා සංස්ථාව සතුව තිබෙන සීමිත තොග බෙදාහැරීමේ ගැටලු මතු වෙනවා.

ඒ නිසා තමයි ජුලි මස 10 වැනි දින තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනික් කටයුතු තාවකාලිකව වශයෙන් අත්හිටුවීමේ වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන බවට කැබිනට් මණ්ඩලය තීරණය කළේ. ඒ අනුව පාසල් ගත්තොත් ඒ සඳහා අධ්‍යාපන ඇමතිතුමා සඳහන් කළා තීරණ ගැනීමේ බලය ලබල දීලා තියෙනවා පාසල් ප්‍රධානීන්ට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට සම්බන්ධව තිබෙන පොදු ප්‍රවාහනය විශාල වශයෙන් යොදා නොගෙන පාසල් පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් පාසල් 10 වැනිදායින් පසුව පටන් ගන්නවා. දහ වැනිදා සිට අඛණ්ඩව ඛනිජ තෙල් සහ ගෑස් කැපවීම පිළිබඳ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදලා තිබෙන්නේ.

ඒ නිසා මේ ඇතිවෙන තාවකාලික දුෂ්කරතාවය පිළිබඳ අපි රජය වශයෙන් කනගාටුවට පත් වෙනවා. මොකද මේ අපේ රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ම රාජ්‍ය මූල්‍ය හා විදේශ විනිමය පිළිබඳ අර්බුදය යටතේ අපි විදේශවලින් කලින් ලබාගෙන තිබෙන ණය තුරුස් නිසියාකාරව නොගෙවීම කරණ කොටගෙන අපිට ආනයනය කරන්න අවශ්‍ය ණයවර ලිපි විවෘත කරවා ගැනීම යන ආදීන් ඇති වෙලා තිබෙන ප්‍රශ්න රාශියක් තමයි මේ. ලබන 10 වැනිදා සිට ඛනිජ තෙල් හා ගෑස් අඛණ්ඩව සැපයීම සඳහා වැඩපිළිවෙල වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන තෙක් මේ කාල පරිච්ඡේදය තුළ අද මධ්‍යම රාත්‍රී 12 සිට ජුලි 30වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවත්වාගෙන යන්න තීරණය කළේ. කෙටි දුර සඳහා පොදු ප්‍රවාහනයට ඉඳලා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අන්තර් පළාත් ගමනාගමය බොහෝ දුරට අත්හිටුවන්න සිද්ධ වෙනවා.”

තියෙන සල්ලිවලින් ඉන්ධන ගේන්න : ජනාධිපති දන්වයි !

දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .

ඒ දිගු කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

එසේම ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර ඇත.

එසේම මෙහිදී තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමග සාකච්ඡා කිරීමටත් තීරණයවී ඇති බවත් වාර්තා වෙයි .

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් දෙනු ලැබූ බවත් වාර්තා වෙයි .

මහ බැංකු අධිපතිවරයා හා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව මෙහිදී ඉන්ධන සැපයුම් නියෝජිතයින් විසින් පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි .

ඉන්ධන අර්බුදය ගැන : නීතිඥ සංගමයෙන් සැර නිවේදනයක් !

මෙම මොහොතේ දී, රටේ යහපත උදෙසා මහජනයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සහ අනෙකුත් අදාළ සියලු දේශපාලනඥයන් වගකීම භාර ගත යුතු බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත්කර ඇත .

සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් වී ඇති බවත් එහි සඳහන් කර ඇත .

එසේම ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම පිළිබඳ අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද නිවේදන මාලාව මගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තිබෙන අවුල්සහගත තත්ත්වය සහ නිල නිවේදන සම්බන්ධයෙන් තිබෙන මහජන අවිශ්වාසය නිරූපණය වන බවත් එහි සඳහන් ය.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මගින් සිදුවන බලපෑම අතිමහත් වන තත්ත්වයක් තුලදී රජය විසින් නිසි කලට නිවැරදි සහ විශ්වසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත .

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ඉන්ධන හිඟය සහ එමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ නිවේදනය !

වර්තමාන ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵල හේතුවෙන් නිර්මාණය වී තිබෙන, විශේෂයෙන්ම ඉන්ධන හිඟය ඇතුළු විවිධ හිඟයන් ශ්‍රී ලංකා රජය විසින් කළමනාකරණය කරනු ලබන ආකාරය සහ එමගින් ජන ජීවිතවලට ද, රටේ පරිපාලනයට ද, ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ අවසානයේදී ප්‍රජාවේ ස්ථාවරත්වයට ද සිදුවී තිබෙන අහිතකර බලපෑම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.

එමගින් රටේ නීතිය සහ සාමයද පිරිහීමට ලක් වී ඇත.

ඉන්ධන සැපයීම පිළිබඳ බලධාරීන්ගේ පුස් නිවේදන !

ඉන්ධන සැපයුම පිළිබඳ බලධාරීන්ගේ නිවේදන අනුපිළිවෙලින් පහත දක්වා තිබේ:

ජූනි 17දා: ඔක්ටේන් 92 ඉන්ධන බැරල් 300,000ක් ආනයනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 42.6ක ණයවර ලිපි විවෘත කර තිබෙන බව නිවේදනය කරන ලදී.

ජූනි 19: පෙට්‍රල් සහ ඩීසල් වෙනුවෙන් ඩොලර් මිලියන 90ක ණයවර ලිපි විවෘත කර ඇති බව ද එම තොග අනුපිළිවෙලින් ජූනි 23 සහ 24 දිනවල ලැබීමට නියමිත බව ද නිවේදනය කරන ලදී.

ජූනි 23: මෙට්‍රික් ටොන් 40,000ක ධාරිතාවකින් යුක්ත ඉන්ධන නෞකාවක් ළඟාවීම එක් දිනකින් ප්‍රමාද වන බව නිවේදනය කරන ලදී.

ජූනි 24: කලින් දිනයේ ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් රැගත් නෞකාව ළඟාවීම තවදුරටත් ප්‍රමාද වන බව සැපයුම්කරු විසින් ලංකා ඛනිජතෙල් සංස්ථාවට දැනුම්දී ඇති බව ද, එම නෞකාව පැමිණෙන දිනය එම දිනය ඇතුළතදීම දැනුම් දෙන බව ද නිවේදනය කරන ලදී.

ජූනි 25: ‘බැංකු සහ සැපයුම්’ හේතු මත ඉන්ධන සැපයුම සිදුකළ නොහැකි බව සැපයුම්කරු දැනුම් දී තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සන්නිවේදනය කළේය. ඉදිරි සතිය තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය නොකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. (ඔහු එම ඉල්ලීම සිදුකළේ ඒ හා සමානම ඉල්ලීමක් කර දින කීපයකට පසුවයි. කෙසේ වෙතත්, එම අතරතුර කාලයේදී ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සපයන ලදී.)

ඇමතිත් රැවටුනාද ?

ඉන්ධන රැගත් නෞකා නැවත පැමිණෙන දිනය ලංකා ඛනිජතෙල් සංස්ථාවට ස්ථිරව පැවසිය නොහැකි බව ද ඇමතිවරයා පැවසීය. මීළඟ බොරතෙල් තොග ළඟාවන තෙක් තෙල් පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ද නතර කරනු ලබන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන් අනතුරුව, 2022 ජූනි 26දා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් හෙළිදරව් කරනු ලැබූ තොරතුරු අනුව පැහැදිලිව පෙනී යන්නේ අර්බුදය පිළිබඳ මහජනයා නිසි පරිදි දැනුවත් කිරීමකින් තොරව ඔවුනට ව්‍යාජ බලාපොරොත්තු ලබාදී තිබෙන බවත්ය. ඊළඟ ඉන්ධන නෞකාව ළඟාවන්නේ කවදාදැයි නොදන්නා බව හෙළිදරව් වූ අතර, එවැනි අවිනිශ්චිත වාතාවරණයක් මැද රජය සතුව තිබුණු ඉන්ධන සංචිත ඊට වඩා විධිමත් ආකාරයෙන් කළමනාකරණය නොකළේ මන්දැයි ද පැහැදිලි කර නැත.

බලධාරීන් ජනතා අවිශ්වාසය වැඩි කළා !

බලධාරීන් විසින් නිකුත් කරන ලද නිවේදන මාලාව මගින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තිබෙන අවුල්සහගත තත්ත්වය සහ නිල නිවේදන සම්බන්ධයෙන් තිබෙන මහජන අවිශ්වාසය නිරූපණය වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මගින් සිදුවන බලපෑම අතිමහත් වන තත්ත්වයක් තුලදී රජය විසින් නිසි කලට නිවැරදි සහ විශ්වසනීය තොරතුරු මහජනයාට සැපයීමට අසමත් වීම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටියි.

ඉන්ධන හල් අසල අසහනය සහ ප්‍රචණ්ඩත්වය !

දවසින් දවසම දහස් ගණන් ජනයා පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලබාගැනීම සඳහා රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල රැස්වන්නට යොමුවෙති. ඔවුන්ට ඉන්ධන ලබාගැනීම සඳහා පැය 24කට වඩා කාලයක් බලාසිටීමට සිදුවන අතර එමගින් අති විශාල වශයෙන් කාලය හා ඵලදායීතාව නාස්ති වේ. ඉන්ධන පෝලිම් හේතුවෙන් මහජනයා අතර අසහනය සහ ප්‍රචණ්ඩත්වය නිර්මාණය වී තිබෙන අතර ප්‍රජාවේ විවිධ අංශ අතර අවිශ්වාසය වර්ධනය වී තිබේ. ඉන්ධන පිරවුම්හල් අසල කලබලකාරී තත්වයන් සහ මහජනයා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ නිළධාරීන් අතරද ගැටුම් නිර්මාණය වී තිබේ.

ඉන්ධන ජාවාරම් මඩින්න ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත්තාද ?

පෝලිම්වල රැඳීසිටියදී මියයන මිනිසුන් සංඛ්‍යවද වැඩිවී තිබේ. අධික මිලට ඉන්ධන අලෙවි කරන කළුකඩ පිළිබඳ වාර්තා පළවී තිබෙනමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් එවැනි ජාවාරම් මැඩලීම සඳහා එතරම් ප්‍රයත්නයක් දරා නැත.

ජුලි මාසයේ පළමු සතියේ ළඟාවනු ඇතැයි අපේක්ෂිත ගෑස් නෞකාවක් බලාපොරොත්තුවෙන් දීර්ඝ හිස් ගෑස් සිලින්ඩර පෝලිම් වීදි අයිනේ නිර්මාණය වී තිබෙනු දැකිය හැකිය.

ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම ඇතුළු ආර්ථිකයේ සියලුම අංශවලටද මේ මොහොතේ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන අපනයනවලට ද ඉන්ධන හිගය අහිතකර ලෙස බලපා ඇත. එමගින් යුක්තිය පසිඳලීමට පවා ඍණාත්මක බලපෑමක් සිදු වී ඇත.

සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් !

එසේම, සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් මහජනයා වෙත ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තහවුරු කිරීමට ද රජය අසමත් වී තිබේ.
කෙටි කාලීනව, අඛණ්ඩ ඉන්ධන සැපයුමක් තහවුරු කිරීම සඳහා සකස්කරන ලද සැලසුම් පිළිබඳව කාලීනව හා ප්‍රමාණවත් අන්දමින් මහජනයාට කඩිනමින් තොරතුරු ලබා දෙන ලෙස සහ රට ඉන්ධන අර්බුදයෙන් සහ සමස්ත ආර්ථික අර්බුදයෙන් මුදවාගැනීම සඳහා සිය සැලසුම්වල මාර්ග සිතියම මහජනයා වෙත ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලාසිටියි.

එසේම, අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් නිසි පරිදි ලබාගැනීමෙන් අනතුරුව, මහජනයා වෙත සාධාරණ සහ යුක්ති සහගත අන්දමින් ඉන්ධන බෙදාහැරීම තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම සැලැස්මක් සම්පාදනය කරන ලෙස ද, එහිදී පොදු ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවා සම්පාදනයට බාධා සිදු නොවන බව තහවුරු කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටියි.

වර්තමාන තත්වයේ බරපතළකම සහ එමගින් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික ස්ථාවරත්වයට අත්විය හැකි භයානක ප්‍රතිඵල තේරුම් ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන්, රජයෙන් මෙන්ම වෙනත් දේශපාලන පක්ෂවලින් හා ක්‍රියාකාරී කණ්ඩායම්වලින් ද ඉල්ලාසිටියි.

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සෑම පියවරක්ම වහාම ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම මොහොතේ දී, රටේ යහපත උදෙසා මහජනයා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සහ අනෙකුත් අදාළ සියලු දේශපාලනඥයන් වගකීම භාර ගත යුතුය.

ඡායාරූප අනුග්‍රහය - ලංකාදීප

රටෙන් බහුතරයක් කළුවරට : විදුලි බිල 57% කින් ඉහළට !

ඉතාම ඉහළ ප්‍රමාණයකින් විදුලි ගාස්තුව ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති බව වාර්තා වෙයි .

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි ගාස්තුව ඉහළ දැමීම සියයට 57 කට නොවැඩි වියයුතු බවත් එම යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට තීරණය කළ බවත් ය.

ලංකා විදුලිබල මණ්ඩලය සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැති ඉල්ලා ඇති බව පවසා ඇති මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා බහුතර ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57 කට නොවැඩි වියයුතු බව පවසා ඇත .

අග්‍රාමාත්‍යවරයාට ඇමරිකාවෙන් පොරොන්දුවක් !

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට ඇමරිකාව එක්සත් ජනපදය එකඟ වි තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙරට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියොජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග්(kelly keiderling) හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති අද(27) පැවැති සාකච්ඡාව අවස්ථාවේදී මේ බව සඳහන් වූ බවයි .

ඊට අනුව ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සදහා ද සිය සහායෝගය ලබා දෙන බවත් ඇමෙරිකානු රාජතාන්ත්‍රික කාණ්ඩයම ප්‍රකාශ කර ඇත .

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවති මෙම සාකච්ඡාව සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසියාව සදහා නි⁣යෝජ්‍ය සහාකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්රොත් (Robert kaproth) , මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලි චැන්ංග්( julie chung ) සහාභගිව ඇති බවත් වාර්තා වෙයි .

මිට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක සහා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් සමරතුංග ද සහාභගිව සිට ඇත .

IMG 20220627 WA0002

IMG 20220627 WA0003

අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න : රවීටත් ආරාධනයක් !

රටේ උද්ගත වී තිබෙන උග්‍ර දේශපාලන-ආර්ථික-සමාජ සහ සංස්කෘතික අර්බුදය හමුවේ අතිශය කලකිරීමට පත්ව සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු තරුණ තරුණියන් සිය දිවි පරදුවට තබා උත්සහ දරමින් සිටින්නේ කෙසේ හෝ සිය මව්බිම අත හැර විදේශ රටකට පැන ගැනීමට යැයි විශ්වවිද්‍යාල තරුණ තරුණියෝ අවධාරණය කර සිටිති.

මේ තත්ත්වය අතිශය භයානක සහ ඉතා ශෝක ජනක බව පෙන්වා දෙන එම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගෙන, අපේක්ෂා භංගත්වයට පත්ව සිටින තරුණ තරුණියන්ට නව බලාපොරොත්තුවක් ඇති කිරීමට දේශපාලන පක්ෂ, පාට, ජාති සහ ආගම් භේදයෙන් තොරව සියලු දෙනා එකට ඒකරාශී විය යුතු කාලය එළැඹ ඇතැයි ද තරයේ කියා සිටිති.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන විශ්ව විද්‍යාල තරුණ තරුණියන් මේ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග කොළඹ දී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

විදේශ විනිමය උපයා ගනිමින් රාජ්‍ය ආදායම ද වැඩි කර ගෙන රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ආසියාවේ හොඳම මුදල් ඇමති ලෙස සිය දැනුම, අවබෝධය, පළපුරුද්ද, අත්දැකීම සහ නායකත්වය රට-ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙස එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිටපු අමාත්‍ය රවී කරුණානායකගෙන් එහිදී ඉල්ලා සිටියේය.

එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් සහ යෝජනාවලට සාවදානව ඇහුම්කන් දුන් රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා , රට-ජනතාව වෙනුවෙන් ඕනෑම බරක් කරට ගෙන ඇපකැප වී ක්‍රියා කිරීමට තමා සූදානම් බව ද, රට-ජනතාව උදෙසා වන සිය වගකීම, යුතුකම සහ කාර්ය භාරය කිසිසේත් පැහැර හැරීමට ක්‍රියා නොකරන බව ද අවධාරණය කර සිටියේය.

මේ සාකච්ඡාවෙන් පසුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙසේ පැවැසූහ.

1994 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආචාර්ය සරත් අමුණුගම, කේ.එන් චොක්සි, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් මේ රටේ මුදල් අමාත්‍ය ධූර දරා තිබෙනවා.

එහෙත් රවී කරුණානායක මහතා හැරුණු කොට අනෙකුත් මුදල් ඇමතිවරුන් කිසිවෙකු සිය වගකීම, රාජකාරිය, කාර්ය භාරය සහ යුතුකම සාධනීය ලෙස රට වෙනුවෙන් ඉටු කළා කියා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නොමැති අතර ජාතික වශයෙන් ද ඇගයීමකට ලක් වී නැහැ.

කෙසේ නමුත් 2017 වර්ෂයේ දී ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගනිමින්, ජාත්‍යන්තර "The Banker" සඟරාව නිවේදනය කර සිටියේ, "ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්" ඔහුට එම සම්මානය ලබා දෙන බවයි.

රජයේ බදු ආදායම දෙස අවදානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355ක් දක්වා, රුපියල් බිලියන 305කින් එනම් 30%කින් පමණ ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2014 වර්ෂයේදී දී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා, රුපියල් බිලියන 241 කින් ඉහළ නංවා ගැනීමට සමත් වුණා.

රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එම අගය දිගින් දිගටම අඩු වෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය ගැටලු බොහොමයකට හේතු වී තිබුණා. මෙලෙස එම අනුපාතය දිගින් දිගටම පහළ වැටීමට හේතු වූයේ රජයේ ආදායම පහළ යාමයි.

2000 වර්ෂයේදී 17.2%ක් ලෙස පැවති එම අගය 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා පහළ වැටුණා. 2015 වර්ෂයේදී එම අගය 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2016 වර්ෂයේදී එම අගය 14.1%ක් දක්වා ඉහළට එසෙව්වා. අනතුරුව නව මුදල් අමාත්‍යවරයෙකු පත් කිරීමත් සමගම මෙම අනුපාතය නැවත පහළ යාම ආරම්භ වූ අතර 2020 වර්ෂයේදී එම අගය නැවතත් 9.6% දක්වා අඩු වුණා.

2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රුපියල් බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම ප්‍රමාණය රුපියල් බිලියන 105 ක් දක්වා ද, 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රුපියල් බිලියන 57ක් වූ අතර 2015 වර්ෂයේදී එම බදු ආදායම රුපියල් බිලියන 80 දක්වා වැඩි කර ගැනීමට ඔහුට හැකි වුණා. මේ ක්‍රියා මාර්ගවලින් රුපියල් බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා බදු දැල තාක්ෂණිකව එළා ප්‍රසාරණය කරමින් ධනවතුන්ගෙන් වැඩිපුර බදු ලබා ගෙන දුප්පතුන්ට විශාල වශයෙන් සහන දුන්නා.

මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන වත්මන් උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාත සහ බදු මුදල් තව දුරටත් වැඩි කර නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර සිටින බව අප කවුරුත් දන්නවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ කියන්නේ තාක්ෂණික සහ ප්‍රායෝගික උපාය උපක්‍රම භාවිතා කරමින් රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය එදා මෙහෙය වූ ආකාරයට මෙහෙය වන ලෙසයි. මහා බැංකු බැඳුම්කර චෝදනාවක් එල්ල කරමින් දේශපාලන වශයෙන් පරමාණු බෝම්බයක් ගැසුවේ රටේ ආර්ථිකය ගොඩනැගූ සහ ජාත්‍යන්තරයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ එහෙව් රවී කරුණානායකටයි.
ඇත්තටම මේ ක්‍රියාදාමය රවී කරුණානායක මහතාට එරෙහි කුමන්ත්‍රණයක් බව ඕනෑම ළදරුවෙකුට වුණත් තේරෙන අතර ඔහුට එරෙහිව පවරා ඇති මේ බැඳුම්කර නඩුව මේ වන විට පවත්වා ගෙන යාමටත් නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව කිව යුතුයි.

ශ්‍රී ලංකා මහා බැංකුව එවකට පැවතියේ රවී කරුණානායක මහතා යටතේ නොව තමා යටතේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පැහැදිලිවම ප්‍රකාශ කරමින් එම සත්‍ය පිළි ගෙන තිබෙනවා. එමෙන්ම සියලුම රාජ්‍ය සහ වාණිජ්‍ය බැංකු පැවැතියේ ද රවී කරුණානායක මහතා යටතේ නොව කබීර් හෂීම් මහතා යටතේයි.

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපති දප්පුල ද ලිවේරා රවී කරුණානායකට නඩු පවරමින් ඔහුට එළව එලවා ගැහුවේ හොඳම මුදල් ඇමති ලෙස පිදුම් ලැබීමත් සමග ද..?

මේ රටේ ජනතාව දැන්වත් මේ ප්‍රශ්න දෙස විචාර බුද්ධියෙන් බලා නිවැරදි තීන්දු තීරණ ගත යුතු අතර මේ ප්‍රශ්න සඳහා රට-ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ උත්තර ලබා දෙමින් රවී කරුණානායක මහතා ද සැබෑ හොරුන් කවුරුන්ද යන්න පිළිබඳව කරුණු හෙළි කළ යුතුයි.

Page 234 of 385