Language Switcher

V2025

නව ආර්ථික වැඩපිළිවෙලක් ලබන සතියේ

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. 

වාර්තා වන ආකාරයට ජාතික ආර්ථික සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇත.

ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම කි‍්‍රයාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති බවද වාර්තා වෙයි.

එසේම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේදී ජාතික ආර්ථික සභාව පත්කරන ලද අතර එය මෙවර රැස්වූයේ 08 වන වරටය.

මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර, ජොන් සෙනෙවිරත්න, සජිත් පේ‍්‍රමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික‍්‍රම, ෆයිසර් මුස්තාෆා, නවීන් දිසානායක යන මැති ඇමතිවරුන් එක්ව සිටි බවද වාර්තා වෙයි.

එසේම ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.එන්. රුවන්චන්ද්‍ර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු නිලධාරින්ද ඊට සහභාගීවු බව වාර්තා වෙයි.