Language Switcher

V2025

නොසන්සුන් දේශපාලනය නිසා රුපියල සුනේසුන්?

රටේ පවතින දේශපාලන අර්බුදය නිසා නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් ඇති බව මුල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහා බැංකුව ඊයේ (20) නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව විකුණුම් අගය 157.14 ක් වූ අතර ගැනුම් අගය 153.36 ක් වන බවය. නමුත් මහ බැංකුව ඊට පෙර දින (19) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 165.97 ක් ලෙස පැවතුණි

මේ බව දක්වමින් මුල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සහ රටේ දේශපාලන අස්ථාවරත්වය අතර පැහැදිළි සම්බන්ධයක් පවතින බවය.

මේ හේතුවෙන් කොටස් වෙළඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයදීම පහත වැටි තිබෙන බවද ඔවුන් පෙන්වා දෙන අතර රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබුණේ දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව ඇති බවය.

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද පසුගිය සතියේ ප්‍රකාශ කර සිටියේ වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළයුතු බවයි.

එසේම රජයේ නැවත ණය ගෙවීම් හේතුවෙන් මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කරයි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5න් පහළ වැටුණු අතර 2016 වසරේදී එම අගයට 3.9ක් විය.