Language Switcher

V2025

"ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව මාර්තු 02 සිංගප්පුරුවේ

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව මාර්තු 02 වන දා සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා පැවැත්වෙන මෙම සමුළුවට කලාපයේ මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිත බවද වාර්තා වන අතර ඊට සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (01) සිංගප්පූරුව බලා යෑමට නියමිතව ඇත.

වාර්තා වන ආකාරයට මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.

එසේම 2018 වසරේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇත.

සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහතා, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සමුළුවට එක්වීමට නියමිතය.