Language Switcher

V2025

ලංකාවේ විදෙස් සංචිතයේ වර්ධනයක් : ඩොලර් බිලියන 6, දැන් 8ක් වෙලා !

මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 6 සිට ඩොලර් බිලියන 8 දක්වා වර්ධනයවී ඇති බව මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කරයි.

‘ශ්‍රී ලංකා ජාතික මූල්‍ය අන්තර්ගත උපාය මාර්ගයේ සංවර්ධන ක්‍රියාවලිය‘ දියත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ ආරම්භක සැසියේ පිළිගැනීමේ කතාව සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ මේ වන විට රටේ ආර්ථිකය නිවැරැදි මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කර තිබෙන බව විශ්වාස කල හැකි බවත් ඒ නිසා සාර්ව ආර්ථික මූලධර්ම ශක්තිමත් කිරීමේදී මෙන්ම ආර්ථික වර්ධනය අතින් අපි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවද ඔහු පැවසීය.

එසේම මේ වන විට රටේ උද්ධමනය පහත අගයට පැමිණ ඇති බවත් ඒ අනුව මූලික උද්ධමනය සියයට 4ත් 6ත් අතර අගයක පවතින බවත් සමස්ත උද්ධමනයත් සියයට 4ත් 5ත් අතර අගයක වන බවද ඔහු පැවසීය.

තවද පසුගිය වසර අපනයනවලට වාර්තාගත වසරක් බවට පත්වු බවත් කොළඹ කොටස් වෙළෙඳපොළට පැමිණි ආයෝජන වැඩි වී තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාවය ගැන සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ලංකාවේ වැඩිහිටියන්ගෙන් 83%කට මුල්‍ය ආයතන වල ගිණුමක් ඇති බවය.

එසේම ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

එසේම මූල්‍ය නිෂ්පාදන හා සේවාවලට ප්‍රවේශවීමට තිබෙන අවස්ථා වැඩි කිරීමෙන් පමණක් මූල්‍ය අන්තර්ගතබව හෝ මූල්‍ය සේවා ක්ෂේත්‍රයට ඇතුළත් වූවා වෙන්නේ නැහැ. එසේ වීමට නම් මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු විය යුතුයි. ඒ වගේම මූල්‍ය සේවා ඵලදායී ලෙස භාවිත කළ යුතුයි. බැංකු ගිණුමක් විවෘත කළ පමණින් එය සිදුවෙන්නේ නැහැ. බැංකුව සමඟ ක්‍රියාකාරීව කටයුතු කරන්න ඕනෑ. මූල්‍ය සාක්ෂරතාව වැඩි කිරීමට මහ බැංකුව වැඩමුළු පවත්වනවා.