Language Switcher

V2025

නව බදු පනත අප්‍රේල් 1 සිට වැඩ : වැඩේ වෙන්නේ මේ විදිහට

නව දේශීය ආදායම් බදු පනත අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නව බදු පනත ක්‍රියාත්මකවීමත් සමඟ මෙරට බදු ක්‍රමයේ සරලවීමක් මෙන්ම බදු ව්‍යුහයේ විශාල වෙනසක් සිදු වනු ඇත.

001

බදු ක්‍රමය සරල කරයි : බදු ව්‍යුහයේ වෙනසක්

නව බදු පනත හඳුන්වාදීමට පෙර ඒ පිළිබඳ විවිධ මිත්‍යා මත සමාජගතකර තිබුණත් මේ වන විට මුල්‍ය වෙළඳපොළ විශ්ලේෂකයන් මෙන්ම ආර්ථික විශාරදයින් ඒ සම්බන්ධව සුබවාදී දැක්මකින් යුතුව අදහස් දක්වන්නට ගෙන ඇත.

එහිදී මුලිකව ඔවුන් පෙන්වා දෙන්නේ නැති බැරි දුප්පත් ජනතාවට ඇතිකර තිබු බදු පීඩනය අවම කර ගෙන ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින් හඳුන්වාදී තිබෙන නව ප්‍රතිපත්තිය අතිශය වැදගත් බවය. මේ හරහා බදු ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුවනු ඇති බවත් රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීම තුළින් ක්‍රමවත් ආකාරයකට බදු ගෙවිය හැකි සහ එසේම බදු ක්‍රමය සරල කිරීම හරහා බදු ආදායමේ අපේක්ෂිත ප්‍රතිපලය ලැබීම සම්බන්ධව සුබවාදී අපේක්ෂාවක් මතුකරන බවද ඔවුන් පෙන්වා දෙයි.

Mangala 3"ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගෙන, අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමයි," මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

එසේම බද්දෙන් ඉවත්කරන ලද ආදායම් අඩුවී තිබීම, බද්ද ගණනය කරන විට අඩු කළ හැකි වියදම් අඩුව තිබීමත් , බදු අනුපාතවල සිදුව ඇති වෙනස්කම් ද කාලීන වැදගත්කමින් යුතු අතර බදු ව්‍යුහයේ වෙනසක් වෙනුවෙන් බලපෑමක් කරනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

 හැමෝටම ලිපිගොනු විවෘත වුවත් : හැමෝම බදු ගෙවිය යුතු නෑ

නව බදු පනත හඳුන්වාදීමත් සමඟ ගෙනා මුලික විවේචනයක් වුයේ 18 ට වැඩි සියළු දෙනාට බදු ලිපිගොනුවක් විවරවන බවත් ඒ හමුවේ නැති බැරි සහ රැකියා විරහිත පාර්ශවයන්ට පවා බදු ගෙවීම අනිවාර්යයක් වන බවය. නමුත් නව බදු පනතේ එවැනි කිසිවක් සඳහන් නොවන අතර එම කතා අමූලික බොරු බවටද පත්කර ඇත.

නව බදු ක්‍රමය තුළ අඩු ආදායම්ලාභීන් වෙත බදු පැනවීමක් සිදුනොවන අතර නමුත් ඉතා ඉහළ ආදායම් උපයන පාර්ශවයන්ට තම ආදායමට සාපේක්ෂව 24%ක් දක්වා බදු ගෙවීමට සිදුව ඇත.

ඒ බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ මේ ආකාරයටය.

"නව බදු ක්‍රමය අනුව බදු පිලිගොනු සියළු පුරවැසියන්ට විවෘත වුවත් ඒ සියළු දෙනා සෘජුව බදු ගෙවීමට සිදුවන බවක් සඳහන් වන්නේ නෑ. නමුත් ඉහළ ආදායම් ලබන පාර්ශව නව බදු ක්‍රමය තුළට ඇදගෙන තිබෙනවා. මාසයකට තමාගේ ආදායම මාසයකට ලක්ෂ 1ට වඩා වැඩිනම් ඔවුන්ට සිදුවෙනවා අනිවාර්යයෙන් බදු ගෙවන්න. නමුත් ලංකාවේ කීයෙන් කීදෙනාද මාසයකට ලක්ෂයක හෝ ආදායමක් ලබන්නේ? එවැනි වැටුප් ලබන අය රටේ ඉතාම සීමිතයි.

"ඒ වගේම මාසිකව රුපියල් 150, 000 ක වැටුපක් ලබන අයෙක් බදු ගෙවිය යුත්තේ අර වැඩිවන 50000 ට පමණයි. ඒකත් 4%ක් වගේ ඉතා සුළු මුදලක්."

මාසික වැටුප් ආදායම රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා 4%ක් ද රුපියල් 150,000 සිට රුපියල් 200,000 දක්වා සියයට 8%ක් ද රුපියල් 200,000 සිට රුපියල් 250,000 දක්වා සියයට 12%ක් ද රුපියල් 250,000 සිට රුපියල් 300,000 දක්වා සියයට 16%ක් රුපියල් 300,000 සිට රුපියල් 350,000 දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි. මාසික වැටුප් ආදායම 350,000 ට වැඩි නම් 24%ක් බදු ගණනය කෙරෙයි.

002

බදු දැලට වැටෙන අලුත්ම සෙට් එක !

"ඒ කියන්නේ ඉහළ ආදායම් ලබන වෛද්‍යවරුන් සහ නීතීඥවරුන් මෙන්ම ටියුෂන් ගුරුවරුන් වැනි සීමිත කොටසක් බදු ගෙවීමට එකතු වෙන්න පුළුවන්. ඒත් ඒ ආදායමට සාපේක්ෂව පමණයි. වර්ෂයකට රුපියල් මිලියන 25.5ක ආදායමක් උපයන වෘත්තිකයන්ට පෙර බලපෑ ඉහළම බදු අනුපාතය වුනේ 12% යි. දැන් ඒක 24% දක්වා වැඩිවෙනවා" ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

"නමුත් එතැනදී කාටවත් අසාධාරණයක් සිදුවන බව කියන්න බෑ. මොකද උපයන විට ගෙවීමේ (PAYE) බදු' සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් ලක්ෂ දොළහ දක්වා මෙම පනතෙන් වැඩි කර තිබෙන නිසා. එමගින් දැනට PAYE බදු ගෙවමින් සිටින පිරිස යම් දුරකට නිදහස් වන බව ඉතා පැහැදිළියි" ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

0003

විදෙස් ශ්‍රමිකයන්ගේ මුදලට බදු නෑ ! එහෙනම් ?

එසේම නව බදු පනත සම්බන්ධව බොහෝ දෙනෙකු අවධානය යොමුකළ කරුණක් වුයේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින්ද බදු අයකිරීමේ සුදානමක් පවතින බවය. මේ සම්බන්ධවද අප විද්වත් මතය විමසූ අතර එහිදී ඔවුන් සඳහන් කර සිටියේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන බවය.

නමුත් මෙහෙම දෙයක් තිබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා. ඔවුන් පොලිය එකතු වීමක් සිදුවන තුරු සිටින්නේ නෑ. ඒ නිසාම නව පනතෙන් මේ බහුතර ප්‍රජාවට කිසිඳු බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ"

හරියටම කියනවා නම් වැඩි ආදායම් ලබන විදෙස්ගත ලාංකික වෘත්තිකයෙක් ඔහු ශ්‍රී ලංකාවේ බැංකුවක මුදල් රඳවා තබන්නට තරම් හැකියාවක් සහිතව එම මුදලට පොළියක් ලබන්නේ නම් මුදලට ලැබෙන පොලිය මත 5% බද්දක් පැනවෙන බව විද්වත් මතයයි.

004

ගෙවල් විකුණුවට බදු නෑ ! එහෙනම් ?

මේ අතර අමතර නිවාස,ඉඩම් හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද බද්දක් හඳුන්වා දී තිබේ. ප්‍රාග්ධන ලාභ මත බද්ද වන එමගින් ලාභයෙන් සියයට 10ක් බදු ලෙස ගෙවිය යුතු නමුත් බදු ගණනය කරන්නේ එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළඳපළ වටිනාකම අදාළ කරගනිමින්ය.

මේ සම්බන්ධවද විවිධ අදහස් සමාජය තුළ තිබෙන බැවින් අප ඒ ගැනද විද්වත් මතය විමසුවෙමු.

"යම් කෙනෙක් තමන්ට තිබෙන දෙවැනි නිවස හෝ ඉඩමක් විකිණීමේදී මේ බද්දට යටත් වෙන්න පුළුවන්. යළිත් අවධාරණය කරන්න ඕන, වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් පදිංචි නිවාස නම් ඊට බදු ගණනය වන්නේ නෑ. මේ තමන් සතු එකම දේපල නම්, තෑගී දෙන අවස්ථාවක් නම් බදු ගණනය වන්නේ නෑ."

"උදාහරණයකට ආයෝජන වත්කමක් වන 'අපාර්ට්මන්ට් එකක්' යම් පුද්ගලයෙක් විකිණීමේදී එහි විකුණුම් මිල හා 2017 සැප්තැම්බර් මාසයේ වෙළඳපොලේ වටිනාකම අතර වෙනස 10% ක බද්දකට යටත් වෙනවා. අන්න ඒ විදිහටයි ප්‍රාග්ධන බද්ද ක්‍රියාත්මක වෙන්නේ. මෙතැනදී දුප්පත් බහුතර ජනතාවට කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රාග්ධන බද්ද බලපාන්නේ යම් පුද්ගලයෙක් ආයෝජන සඳහා ලබාගෙන තිබෙන වත්කම් සඳහා පමණයි."

මේ අතර මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා විවිධ භාණ්ඩ මත පනවා ඇති වැට් බද්ද, එම විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී එම මුදල නැවත ලබා දීම ද නව ප්‍රතිපත්තියේ විශේෂත්වයක් වන අතර එය එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබෙන අතර කොටස් වෙළඳපලෙහි කොටස් වැඩි මිලට විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවන බවද නව බදු පනතේ සඳහන්ය.