Language Switcher

V2025

නාවුක කර්මාන්තයට අයවැයෙන් අභියෝගයක් !

භාණ්ඩ මෙහෙයුම් සහ නාවුක කර්මාන්තය ආශ්‍රිත ආයතන වල හිමිකාරීත්වය වෙනුවෙන් විදේශීය සමාගම් සතු සීමා ඉවත් කිරීමට වන ප්‍රතිපත්තිමය යෝජනාව ඉදිරිපත් වුයේ 2018 අයවැය හරහාය. එහි එන 97 වන යෝජනාව එයයි. එනම්, නූතන භාණ්ඩ හුවමාරු සහ නාවික කර්මාන්තයේ ඉල්ලුමට මුහුණදීම පිණිස 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත සහ 1971 අංක 52 දරන වෙළඳ හා නාවික පනත සංශෝධනය කරනු ඇත. වඩා හොඳ තරගකාරීත්වයක් සහතික කිරීම සඳහා ස්වාධීන වරාය නියමකයකු හඳුන්වා දෙනු ඇත. නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතන වල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවල් ලිහිල් කරනු ඇත. මෙමගින් ජාත්‍යන්තර ප්‍රධාන නාවික සමාගම් සහ භාණ්ඩ හුවමාරු ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු වල නිරතවීමට උපකාරී වනු ඇත. යන්නය.

මේ වන විටත් ඊට එරෙහිව පිරිසක් අවි අමෝරාගෙන ඇත. ලිබරල් ආර්ථික ක්‍රියාවලිය, ලිහිල්කරණය, විවෘත වෙළඳපොල, ඒ තුළ වන තරගය, ජාතික අභිලාෂ, දේශීය කර්මාන්තකරුවා, දේශීය ආර්ථිකය ගැන කියන විකාර කතා රැසක් සමඟ මේ වන විට එම යෝජනාවට එරෙහි පිරිස් අදහස් පළකරන්නට ගෙන ඇත. එක්තරා මාධ්‍ය ආර්ථික ඔස්තාර්වරයෙකු මේ ගැන කියන්නේ අපූරු කතාවක්ය. එනම්,

“ලිබරල්කරණය සෝදාපාළුවක්‌ නොවිය යුතුය. ආර්ථිකය ලිබරල්කරණයට ලක්‌ කිරීම රටේ අභිලාෂයන් සිතේ දරාගෙන, දූරදර්ශීව සිදුකළ යුත්තකි. එසේ නොකිරීම තුළ රටක දේශීය කර්මාන්ත නිසැක වශයෙන්ම බරපතළ අනතුරකට හෙළන්නක්‌ විය හැකිය. “ ලෙසින් වන විකාර අදහසක්ය. මේ වචන සිදුකර ඇත්තේ තැනේ හැටියට අනා ජනතාව නොමඟ යවන්න පමණක් බවට තේරුම් ගැනීමටම ඉහත උපුටා දැක්වීම ප්‍රමාණවත්ය.
සැබවින්ම ඉන්දියන් සාගරය තුළ මෙරට පිහිටීම අනුවම නාවුක පරිවහණ අංශයේ පුළුල් වර්ධනයක් අත්කරගැනීමට අවස්ථා ඇත. ඓතිහාසිකවම මෙරට ආර්ථිකයට අදාළ ජාතික අභිලාශයන් අතර නිතර කියවෙන කතාවක් වන්නේ ‘ශ්‍රී ලංකාව ආසියාවේ නාවුක කේන්ද්‍රයක්” බවට පත්කරගත යුතු බවය. ආසන්නතම නිදර්ශන අනුව නම් පැවති පාලනයත් වත්මන් පාලනයත් සිය ආර්ථික උපායමාර්ග ප්‍රකාශන තුළ මේ කරුණ අවධාරණය කර ඇත. එහෙත් තවමත් නාවුක කේන්ද්‍රයක් බවට පත්වීමේ සේයාවක් වත් දක්නට නොමැත. දැන් ප්‍රශ්නය ඇත්තේ කොතැනද?

සැබවින්ම 1992 වර්ෂයේ සිට මෙරට නාවුක කර්මාන්තයේ නියැලීමට විදෙස් සමාගම් සඳහා සීමාවක් පවතී. ඊට අනුව විදේශීය සමාගම් වෙත නාවුක කර්මාන්තයේ නියැලීමට හැකියාව ඇත්තේ 40% ක කොටස් හිමිකාරීත්වයක් යටතේ පමණි. ඒ තුළ අනෙක් 60% ක කොටස හිමිවන්නේ දේශීය ඒජන්ත සමාගම් වෙතය.

පවතින තත්ත්වය වෙනස් කරන්න යන විට ඊට එරෙහිව දුන්න කඩුව ගෙන සටනට එන උදවිය කියන්නේ 1992 ට පෙර විදෙස් සමාගම් වෙත මෙරට නාවුක කර්මාන්තයේ නියැලෙන්න 100%ක අවස්ථාව තිබු බවත්, එහෙත් ඒ සමයේ එවැන්නක් සිදු නොවූ බවක්ය. අනුව දශකයෙන් පසුව ගෝලීය ආර්ථිකය වෙනස් වූ අන්දම ගැන සහ අවම වශයෙන් සෝවියට් කඳවුරේ බිඳ වැටීමෙන් පසුව ගෝලීය ආර්ථිකය වෙනස් වූ අන්දම මෙන්ම තිස් අවුරුදු සිවිල් යුධ සමයක මෙරට පසුවූ බවද ඒ අයට අමතකවී ගොස් ඇත.

අනෙක් අතට සිවිල් යුද්ධයෙන් නතුරුව යුද්ධය වමාරා අනුභව කිරීම සහ ලොවෙත් නැති ජාතික ආර්ථිකයක් ගැන මනෝ විකාර හේතුවෙන් නව තත්ත්වය ගැන පළල් සිතීමක් ඔවුන් වෙතින් අපේක්ෂා කරන්නටද නොහැකිය.

එහෙත් යුද්ධයෙන් පසුව මෙරට ඇත්තේ අලුත් තත්වයක්ය. එසේම මහා පරිමාණයේ භාණ්ඩ පරිවහනයට සම්බන්ධ සහ විශාල ප්‍රමාණයේ නවුකා සමාගම්ද අපට නැත. එවැනි සමාගම් සමඟ තරග කිරීමට සමත් ප්‍රාග්ධන හැකියාවක් හෝ ව්‍යාපාර සම්බන්ධතා ජාලයක්ද අපට නැත. ඒ වෙනුවට අප සතුව ඇත්තේ දේශීය ඒජන්තකම පමණය. එසේම නැව් සමාගම් ලෙස කොතරම් සමාගම් ලියාපදිංචිය ලබාගෙන සිටියත් ඒ සියලු සමාගම් එක සමාන ධාරිතාවයකින් යුතුව නාවුක කර්මාන්තයේ නියැලෙන්නේ නැත. ඒ වෙනුවට මෙරට පවතින්නේ සීමිත සමාගම් කිහිපයක් ගෝලීය වශයෙන් මහා පරිමාණයේ නිරත නාවුක සමාගම් වල දේශීය ඒජන්ත කම දරමින් මෙරට නාවුක කර්මාන්තයේ කතිපයාධිපතිත්වයක් පවත්වා ගෙන යාමක් පමණය.

msnඉතා පැහැදිලිව දේශීය ඒජන්ත සමාගම් කිහිපයක් මත මෙරට නාවුක කර්මාන්තය නැංගුරම්ලා ඇති බව ඔබට දක්නට හැකිය.

එසේම හේලීස් සමාගම අවුරුදු 139ක්, ජෝන් කීල්ස් අවුරුදු 147ක්, මැක්ලරන්ස් අවුරුදු 73ක්, එයිට්කන් ස්පෙන්ස් අවුරුදු 149 ක් සහ හේමාස් අවුරුදු 69 පැරණි පාලක නියෝජිත ආයතන ලෙස මෙරට කටයුතු කරයි. එම සමාගම් වලින් පැරණි සමාගම් ආරම්භයේ විදේශීයන් සතු වුවත් මේ වන විට එම සමාගම් වල හිමිකාරීත්වය දරන්නේ දේශීය කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින්ය. එසේම එම කෝටිපතියන් කවුද යන්න සහ ඔවුන් කී දෙනෙකු මෙරට මෙම නාවුක නියෝජිත ආයතන වෙත හිමිකාරීත්වය දරනවාද යන්න අප මෙහි සඳහන් කරන්නේ නැත. එහෙත් ඇත්ත කතාව වන්නේ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු මත මෙරට නාවුක කර්මාන්තය නතර වී ඇති බව පමණය. ඒ අනුව ඔවුන් මෙරට නාවුක කර්මාන්තයෙන් 74% ක් අත්කරගෙන තිබේ.
ඒ අනුව දැන් 2018 අයවැය යෝජනාවට එරෙහි පාර්ශව නොකියන එක් කතාවක් අප හමුවේ නිරාවරණය වීද ඇත. එනම් ඔවුන් කියන තරම් මෙරට දේශීය නාවුක කර්මාන්තය තුළ සමාගම් රාශියක් නොමැති බවත් ඒ වෙනුවට මෙරට ඇත්තේ සමාගම් කිහිපයක කතිපයාධිපතිත්වයට නතුවූ නාවුක කර්මාන්තයක් පමණක් බවත්ය. සමාගම් හී වයස් සාමාන්‍ය සලකා බලනවා නම් වසර 115 ක් තිස්සේ මේ සමාගම් මෙරට නාවුක කර්මාන්තය තුළ සිය අධිකාරය ගොඩනගා ගෙන ඇත.

ඒ අනුව පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ මෙම කර්මාන්තය වෙනුවෙන් විදෙස් සමාගම් වෙත පවතින සීමා ඉවත්කළ විට වෙළඳපොල තර්ජනයක් එනවා නම් ඒ එන්නේමේ ඉහත සඳහන් සමාගම් කිහිපයට පමණක් බවය. එහෙත් අයවැය යෝජනා අතර කොහෙත්ම දේශීය සමාගම් අර්බුදයට යවන බවක් හෝ විදෙස් ආයෝජන හමුවේ දේශීය නියෝජිතායතන අනාරක්ෂිත වන බවක් සඳහන් වන්නේ නැත. ඒ වෙනුවට අයවැය තුළ යෝජිත ප්‍රතිපත්තිය කියන්නේ “නැගී එන සමාගම් තරඟකාරිත්වයකින් ආරක්ෂා කිරීම රජය විසින් සිදුකරන” බවය. “එහෙත් පාරිභෝගිකයින්ට ප්රතිලාභ සඳහා ලාභ ලැබීමට සහ කර්මාන්තයේ වර්ධනය සඳහා තරග කරන සහ නව සොයාගැනීම් සඳහා තරඟ කළ හැකිය” යනුවෙන්ය.

ඒ අනුව රජයේ ප්‍රතිපත්තිය සහ ඊට එරෙහි පාර්ශව දක්වන ප්‍රතිපත්තිය අතර පැහැදිලි වෙනසක් ඇති බවය. එසේම වසර 115 කට ආසන්න ඉතිහාසය තුළ ඉහත සමාගම් සතු කතිපයාධිපතිත්වය හමුවේ නව සමාගම් කර්මාන්තයට ඇතුලත්ව නොමැති බවද ඔවුන් කියන්නේ නැත. එහෙත් ඉහත දත්ත දකින ඕනෑම අයෙකුට ඉතා පැහැදිලිව නාවුක කර්මාන්තය සමාගම් 5ක් මත නැංගුරම්ලා ඇති බව දැකීම දුෂ්කර නැත.

එසේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදය තුළ එන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මුලධර්ම සහ මුලික යුතුකම් හී 27. (2) ඊ කොටසේ “නිෂ්පාදනයේ, බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතලොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක්” ලෙස ඇතත් නාවුක කර්මාන්තය තුළ එවැනි නිදහසක් නොපවතින බවද මෙහිදී පෙන්වා දිය යුතුව ඇත.

අනෙක් අතට අදාළ යෝජනාවට විරෝධය පලකරන පාර්ශව එල්ලකරන විවේචනයක් වන්නේ දේශීය නියෝජිතායතන දුර්වල වීම තුළ වාර්ෂිකව ඩොලර් මිලියන 800 කට ආසන්න ආදායමක් රටට අහිමිවන බවය. ඒ තරම් අදායමක් මෙරට දේශීය නියෝජිතායතන හරහා රජය ලබනවා නම් තමන්ගේම කියා අලුත් වරායක් ඉදිකර ගන්නට එම සමාගම් කිහිපයට හැකියාව ඇත. මන්ද හම්බන්තොට වරාය ඉදිකිරීමට පළමු අදියරේ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 361 ක් සහ දෙවන අධියරේ ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 808ක් පමණක් වූ නිසාය.

එසේම නිශ්චිතව කියනවා නම් සමාගම් කිහිපයක, කතිපයාධිකාර බලය හේතුවෙන් ප්‍රසිද්ධ උපක්‍රමයක් වන්නේ වෙළඳපොල අල්ලා ගැනීම වෙනුවෙන් පාඩු ලබමින් වුවත් පහල මිල ගණන් ඉදිරිපත් කිරීමය. ඒ තුළ ඇති අනෙක් අපේක්ෂාව වන්නේ අඩු මිල මත තරගයට මුහුණදීමට නොහැකි සමාගම් බිඳ වැටීමෙන් පසුව එම සමාගම් වල කළමනාකරණය ලබා ගැනීම සහ අනෙක් සමාගම් තරගයෙන් ඉවත් කිරීමෙන් පසුව මිල තීරණය කිරීමේ තීරකයා බවට අදාළ සමාගම් පත්වීමය.එවිට අලුත් සමාගමකට වත් අලුතින් වෙළඳපොළට ඒමට හැකියාව ලැබෙන්නේ නැත. . වෙනස් කල යුත්තේ එම කතිපයාධිකාරයට සීමා වී ඇති කර්මාන්තය පුළුල් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය. ඒ හරහා ඉන්දියාව ඇතුළු ආසන්න වෙළඳපොල සතු බදු සීමා අතික්‍රමණය කල හැකි ආකාරයට මෙරට නාවුක කටයුතු සිදුකිරීමට විදෙස් සමාගමකට වුවද හැකියාව ඇති ලෙස මෙරට ප්‍රතිපත්තිය යළි සකස් කිරීමය.

ඒ හැර පවතින නීති රැකගෙන භාණ්ඩ පරිවහනය සහ නාවුක කර්මාන්තය මේ කුඩා දිවයිනේ වෙළඳ පොලට සීමා කර ගන්නට හිතනවා නම් කළයුතුව ඇත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ නාවුක කේන්ද්‍රයක් කිරීම වැනි සිහින නොදැක සිටීමය. මන්ද සිහින සැබෑ වන්නේ නින්දේදී නොව අවධිවු පසුවය. නිදිගැට හැර වැඩකළ විටය.