Language Switcher

V2025

ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජනය ඇ.ඩො 1.9ක වාර්තාගත වැඩිවීමක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය 2017 වසරේ ලබාගෙන ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ එම අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිකුත් කළ නිවේදනයක් හරහාය.

ඊට අනුව 2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.9කි. එනම් රුපියල් බිලියන 290ක් පමණ වේ. මෙය 2016 වර්ෂයේ මෙරට ලද සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයට සාපේක්ෂව සිව් ගුණයක වර්ධනයකි.

එසේම මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේදී වන අතර ඒ ඇමරිකන් ඩොලර් බිලියන 1.7කි. ඊට අමතරව 2015 වසරේ මෙරට විසින් ඇමරිකානු ඩොලර් මිලියන 970ක සෘජු විදෙස් ආයෝජන ලබා තිබු අතර 2016 වසරේ එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 450ක් විය.

2017 වසරේ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඉහළයාම පිළිබඳ අමාත්‍යංශ නිවේදනය සඳහන් කරන්නේ හම්බන්තොට වරාය බදු දීම වෙනුවෙන් ලද ඇ.ඩො මිලියන 300ක පළමු වාරිකය මෙන්ම චීන ආයෝජන සහ හොංකොං, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල ආයෝජන හේතුවූ බවය.

රට තුළ ව්‍යාපාරයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරදීම, සරල බදු ක්‍රම හඳුන්වාදීම ස්ථිර කිරීම , ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවය වැනි වෙනස්කම් ඊට බලපෑ බවද නිවේදනයේ දැක්වේ.

එසේම ගෙවුම් ශේෂ ගැටලුව ස්ථිර ලෙස විසඳා ගැනීම සඳහා ඍජු ආයෝජන සහ අපනයන වැඩි කිරීමට ගෙන ඇති පියවර ද මෙම තත්ත්වය නිර්මාණය වීමට හේතුවූ බවත් 2018 වසර තුළ ශ්‍රි ලංකාවේ ආපනයනය 2017 වසර ජනවාරියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනය 11.6%න් එනම් ඇ.ඩො. 965.4 දක්වා වැඩි වී තිබෙන බවද අදාළ නිවේදනයේ දැක්වේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය