Language Switcher

V2025

සහල්වලින් අරක්කු හදන්න අවසර දුන්නේ මහින්ද

මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදාගැනීමට අනුමැතිය ලබාදී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට 2006 වසරේදී නිපෝන් එක්ස්පෝ සමාගමට එම විශේෂ අවසරය ලබාදීමට රාජපක්ෂ පාලනය කටයුතු කර ඇත.

මේ බව අනාවරණය වුයේ වත්මන් ආණ්ඩුව මධ්‍යසාර වල යෙදවුමක් ලෙස සහල් යොදාගැනීමට අනුමැතිය ලබාදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකු වෙතින් කළ කරුණු විමසීමකදීය.

2018 අයවැයෙන් බද්දක්

එහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් මුදල් අමාත්‍යංශ නිලධාරියා සඳහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව 2018 අයවැය මඟින් එතනෝල් නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වලට බදු පැනවීමක් සිදුකළ බවත්, ඒ අනුව රා සඳහා ලීටරයකට රුපියල් 5.00 ක බදු මුදලක් සහ මොලෑෂස් ,ඉරිඟු , සහල් සහ පලතුරු සඳහා කිලෝග්‍රෑම් 1කට රුපියල් 10.00 ක බදු මුදලක් යෝජනා කර එය 2017 නොවැම්බර් 09 වනදා සුරාබදු ආඥා පනත යටතේ විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ක්‍රියාවට නැගූ බවය.

ප්‍රශ්නය අදාළ මහින්දට

mahindaඒ අනුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා යොමුකර ඇති ප්‍රශ්නය පැවති රාජපක්ෂ පාලනයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් මිස මේ වන විට මුදල් අමාත්‍යංශයට අදාළ ප්‍රශ්නයක් නොවන බවද එම නිලධාරියා පැවසීය.

සැබවින්ම ආසන්න වශයෙන් 2014 අගෝස්තු මාසය වන විටද සහල් මිල ඉහළයාමට හේතුව ලෙස එතනෝල් නිපදවීම සහ මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග සැඟවීම බවට රාජපක්ෂ පාලනයට චෝදනා එල්ලවිය.

විශේෂයෙන් පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරකීමේ සන්ධානය වැනි සංවිධාන මේ පිලිබඳ දිගින් දිගටම රාජපක්ෂ පාලනයට විවේචන එල්ලකළ අතර රටේ සහල් අතිරික්තයක් පැවතිය යුතු සමයේදී පවා සහල් මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි සහ අසාධාරණ ආකාරයට මිල ඉහළයාමට හේතුව ලෙස එම සංවිධාන පෙන්වා දුන්නේ ආහාර ලෙස පරිභෝජනයට සුදුසු සහල් තොග මහා පරිමාණයෙන් එතනෝල් නිෂ්පාදනයට යොදා ගැනීමය.

ජයටම ගිය බදු වංචාව

එසේම ඒ සමයේ මහා පරිමාණයෙන් එතනෝල් ආනයනය සඳහා රාජපක්ෂලාගේ දේශපාලන හිතවතුන් සහ මැති ඇමතිවරු ක්‍රියාකළ අතර එම දේශපාලන බලය යොදාගෙන ආනයනික එතනෝල් තොග වෙනුවෙන් රජයට ගෙවිය යුතු බදු මුදල්ද වංචා කල බව ප්‍රසිද්ධ රහසක්ය. ඊට එක් උදාහරණයක් වන්නේ 2014 වසරේ සහ 2015 වසරේ ආනයනික එතනෝල් වෙනුවෙන් මාසිකව රජය ලැබූ බදු මුදල් සංසන්දනය කිරීමය. 2014 වසරේ එහනොල් ආනයනය වෙනුවෙන් රජය ලැබූ මාසික ආදායම සාමාන්‍යයෙන් රුපියල් මිලියන 3400 ක් වුවත් 2015 වසරේ රජයේ මාසික එතනෝල් බදු ආදායම සාමාන්‍ය ලෙස සහටන් වුයේ රුපියල් මිලියන 9500ක් වශයෙන්ය. ඒ අනුව රාජපක්ෂ රෙජීම සමයේ මාසිකව රුපියල් මිලියන 6100 කට ආසන්න බදු වංචාවක් සිදුව ඇති බව පැහැදිලිය.