Language Switcher

V2025

අමරවීර වට්ටක්කා ප්‍රශ්නය විසඳයි !

වෙළඳපොළ මිල පහළ වැටී විකුණාගත නොහැකිව ගොවීන් වෙත මහත් පීඩාවක්ව තිබෙන වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත  ලබා දී ඇති බව වාර්තා වෙයි.
 
ඒ අනුව අදාළ  මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් වෙත මුදා හැර ඇති බවත්  වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙළඳපළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් අරඹන ලෙස අමාත්‍යංශය එම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
 
එසේම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටින්නේ  අස්වනු අළෙවි කර ගැනීමට නොහැකිව  වට්ටක්කා ගොවීන් මුහුණදී ඇති දුෂ්කරතාව සලකා බලා ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන්  තමා භාණ්ඩාගාරයෙන් මෙම මුදල ඉල්ලා සිටි බවය.
 
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ නව ඇමති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ(08) එහි ගිය අවස්ථාවේය. 
 
එසේම වගා කටයුතු වලදී වෙළඳපොළ සහ කාළගුණික තත්වයන් සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ ගොවීන්ව  වගාකටයුතු සඳහා යොමු කරවීමට  ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගතයුතු බවත්  අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.