Language Switcher

V2025

නිදහස් වෙළඳ ගිවිසුමේ විවේචනවලට අමාත්‍යාංශයෙන් පිළිතුරු

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා ඉන්දියානු, මැලේසියානු හෝ වෙනත් කිසිඳු රටක පුද්ගලයෙකුට මෙරට තුළ සේවය කිරීමට අවස්ථාව හිමි නොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.

අද (12) නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර එහි තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත අත්සන් කර බවයි.

මෙම ගිවිසුම හරහා සිංගප්පූරු ජාතිකයෙකුට හැර වෙනත් අන්‍ය ජාතිකයෙකුට මෙරට කුමන තරාතිරමක සේවාවක් සිදු කිරීමට වුවද අවස්ථාවක් හිමි නොවන බවත් සිංගප්පූරු ජාතිකයෙකුට වුවද එම අවස්ථාව හිමිවන්නේ වසර 05ක කාලයක් සඳහා පමණක් බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එසේම මෙම ගිවිසුම හරහා නිදහස් වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවස්ථාව හිමිනොවන බව අවධාරණය කරන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිංගප්පූරුව තුළ අවම වශයෙන් සියයට 35 ක අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු නොකරන කිසිඳු භාණ්ඩයක් මෙරටට ගෙන්වීමට අවස්ථාව හිමි නොවන බවය.