Language Switcher

V2025

ඉන්ධන සහනාධාරයේ පළමු ගෙවීම ජුනි මාසයේ

භූමිතෙල් පරිභෝජනය කරන විදුලිය සැපයුම් නැති සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ නිවෙස් වලට හා වතුකරයේ ජනතාවට මෙන්ම විදුලිය සැපයුම් නැති පෙදෙස්වල නිවෙස්වලටද භූමිතෙල් පැරණි මිලටම තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත. 

ඒ අනුව මැයි මස 10 වනදා සිට භූමිතෙල් සඳහා සහනාධාරය  ලබාදීමට නියමිත අතර, ඒ සඳහා වන ප්‍රථම ගෙවීම ජූනි මස සිදු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර 47,555 ක් පමණ වන විදුලිය නැති පවුල් ඒකක වලට, සමෘද්ධිලාභී සාමාජිකයන්ගේ පවුල් වලට, ඔවුන්ගේ සමෘද්ධි දීමනාවට අමතරව භූමිතෙල් සහනාධාර ගෙවීමට හැකිවන පරිදි මහා භාණ්ඩාගාරය විසින් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වෙත ඒ සඳහා වන ප්‍රතිපාදන නිකුත් කරන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එසේම බාහිර මෝටර් බෝට්ටු (Outboard Motors)භාවිත කරන ධීවරයින් 24,282 දෙනෙකු දිවයින පුරා සිටින බවට ගණන් බලා ඇති අතර එම ධීවර ප්‍රජාව සඳහාද අදාළ දීමනාව ජූනි මස සිට ගෙවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත. එමෙන්ම, කුඩා ප්‍රමාණයේ එක්දින ධීවර යාත්‍රා භාවිත කරන ධීවර ප්‍රජාවටද මෙම භූමිතෙල් සහන තවදුරටත් ලැබෙනු ඇත.

මිල සූත්‍රය නිසා ඕන කෙනෙකුට කළින්ම ඉන්ධන මිල දැනගන්න පුළුවන් 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් එසේම ඒ හරහා  ඕනෑම කෙනෙකුට ඉන්ධන මිල උච්ඡාවචනය පිළිබඳව  පූර්ව අවබෝධයක් ලබාගැනීමටද හැකිවනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

ඉන්ධන සඳහා මිල සූත්‍රය හඳුන්වාදීමත් සමඟ ඉදිරියට  සිංගප්පූරුවේ මිල දර්ශකය පාදක කර ගනිමින් සහ විනිමය අනුපාතයද සැලකිල්ලට ගෙන සෑම මාස දෙකකට වරක්ම ඉන්ධන මිල නිර්ණය කරනු ඇති බවත් ඒ අනුව විදේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම අනුව දේශීය වෙළෙඳපලේ ඉන්ධන මිලද අඩු වැඩි වනු ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.