Language Switcher

V2025

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 675 ක ආයෝජනයක් !

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධානතම වැඩසටහන් අතුරින් එකක් වන අතර මෙහි සමස්ථ ආයෝජන පිරිවැය ඇ.ඩො. මිලියන 675 ක් වෙයි.

එයින් ඇ.ඩො. මිලියන 453 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මගින් බහුඅදියර මූල්‍යයන පහසුකම යටතේ සපයනු ලබන අතර ශ්‍රී ලංකා රජය මෙහි පළමු අදියර සදහා ඇ.ඩො. මිලියන 150 ක මුදලක් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ දැනටමත් ණය ගිවිසුම් දෙකකට එළැඹී ඇත.
 
ඉහල ඇළහැර ව්‍යාපෘතිය, වයඹ ඇල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇල පුනරුත්ථාපන වයාපෘතිය යන ප්‍රධාන ව්‍යාපෘති තුන මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ජලය ගෙනයාමේ සහ රදවා ගැනීමේ නව සහ වැඩිදියුණු කල යටිතල පහසුකම් ඉදිකරන අතර එය වයඹ, උතුරු මැද හා මධ්‍යම පළාත් වල කෘෂිකාර්මික ඉඩම් වල ඵලදායීතාවය ඉහල නැංවීමටත් හේතු වනු ඇත. මෙම වැඩසටහන යටතේ කිලෝ මීටර් 138 ක දිගින් යුතු උමං ජල මාර්ග ඇතුළුව ඇලමාර්ග ඉදිකරනු ලැබේ. ඊට අමතරව කිලෝ මීටර් 158 ක දිගින් යුතු ඝන මීටර් මිලියන 36 ක ධාරිතාවයකින් යුතු නව ජලාශ දෙකක් ඉදිකිරීම සහ කිලෝ මීටර් 74 දිගින් යුතු මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපනය කිරීම සිදුකරනු ඇත.
 
සම්පූර්ණ වැඩසටහන මඟින් ඉහළ ඇළහැර ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් 25,000 කටද, වයඹ ඇළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොවිපවුල් 40,000 කටද, මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගොවිපවුල් 15,000 කටද සෘජුවම ප්‍රතිලාභ හිමිවනු ඇත. මීට අමතරව ආරක්ෂිත පානීය ජලය සැපයීම මඟින් එම පෙදෙස් වල වෙසෙන ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවධානම වැලැක්වීමට හේතුවනු ඇත.
 
යෝජිත දෙවන අදියර යටතේ, පහත සදහන් සංරචක තුන මුල්‍යයනය කරනු ලැබේ.
 
i.    මොරගහකන්ද සහ හුරුළු වැව ජලාශ සම්බන්ධ කරන කිලෝමීටර් 62 ක් දිග ඉහළ ඇළහැර මාර්ගයේ කිලෝමීටර 28 ක් දිග උමං මාර්ගයේ කොටසක් ඉදිකිරීම
ii.   කළුගග හා මොරගහකන්ද ජලාශය සම්බන්ධ කරන කිලෝමීටර් 8.8 ක් පමණ දිග ඇළ මාර්ගයේ කොටසක් ඉදිකිරීම
iii   පළමු අදියරේදී ඉදිකිරීම ආරම්භකළ මහකිතුල හා මහකිරුල ජලාශ, මහකිතුල අභ්‍යන්තර ඇලමාර්ගය ඉදිකිරීම තවදුරටත් සිදුකිරීම