Language Switcher

V2025

ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමෙන් වෘත්තිකයන්ට අසාධාරණයක් නෑ - අගමැති

 ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙරට කිසිදු වෘත්තිකයෙකුට අවස්ථා අහිමි වීමක් හෝ අසාධාරණයක් හෝ සිදු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

එසේම අදාළ ගිවිසුම හරහා මෙරට රැකියා වෙළඳපොළ විදේශිකයන්ට විවෘත කිරීමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇති අතර ඒ  ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ නියෝජිත පිරිසක් අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාව්දීය. 

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධව විවිධ වෘත්තිකයන්ට තිබෙන ගැටළු සහ දුරාවබෝධයන් විසදා ගැනීම සඳහා නිරන්තරයෙන් සාකච්ඡා වාරයන් පැවැත්වීමට ද මෙහිදී තීරණයවූ බවද වාර්තා වෙයි.

ගිවිසුම හා එහි උපලේඛණ සම්බන්ධයෙන් ගැටළු මතුවී ඇති තැන් පිළිබඳව, දැනුම් දෙන ලෙස ද, එවිට සත්‍ය තත්වය පැහැදිලි කර ගත හැකි බව ද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇති අතර ඒ අනුව  ගිවිසුම ක්‍රියාත්මක වීම නිරීක්‍ෂණය කිරීමේ කටයුතුවලට ක්‍රියාශීලීව සම්බන්ධ වීමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සහ ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ   නියෝජිතයන්ද එකඟත්වය පළ කර ඇත. ඒ නිරීක්‍ෂණ අනුව ගිවිසුම වාරානුකූලව සංශෝධනය කරලීමේ අවකාශ ඇති බව ද එහිදී  අවධාරණය වී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති  සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කර ඇත්තේ  වෙළඳ ගිවිසුම්වලට එළැඹිමේ පරමාර්ථය විදේශ ආයෝජන මෙරටට ඇද ගැනීමත්, ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ට විදේශ රැකියා අවස්ථා ඇති කිරීමත්, ලෝකයේ අනෙකුත් රටවල සමාගම් සමග මෙරට සමාගම්වලට ඒකාබද්ධව ව්‍යාපාර කිරීමට අවස්ථාව සැලසීමත් බව ය. 

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, ආගමන විගමන පාලක ජනරාල් එම්. එන්. රණසිංහ යන මහත්ම මහත්මීන් ද, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද  මේ අවස්ථාවට සහභාගීව ඇති බවද වාර්තා වෙයි.