Language Switcher

V2025

දෙසැම්බර් 09 අයවැය ඉවරයි ?

2018 අයවැය ඉදිරිපත් වුයේ අමුතු විදිහකටය. එතෙක් අප අසා දැක තිබුණේ වාර්ෂික මහ බැංකු වාර්තාවක් මෙන් දත්ත සහ වචන වෙනස්වූ නමුත් එකම රාමුවක සම්ප්‍රදායික අයවැය කතාය. 2018 අයවැය වෙනස් ආකාරයක් ගත්තේ එය සම්ප්‍රදායික රාමුව කඩාගෙන මෙරට ආර්ථිකයට අදාළ ඉතිහාස කතාවේ ඛේදවාචී වර්තමානය හරියට ලකුණු කර දක්වමින්ය. එය යළිත් සිහිපත් කරනවා නම් සිංගප්පුරුව ගොඩනැගූ ලී ක්වාන් යූ “එදා මෙරට හැඳින්වුයේ පොදුරාජ්‍ය මණ්ඩලය සතු ආදර්ශමත්ම රටක්” වශයෙන්ය. එසේම නිදහස ලබන මොහොතේ එංගලන්ත මාධ්‍ය මෙරට හඳුන්වා තිබුණේ “පෙරදිග ලෝකයේ ස්විට්සර්ලන්තය” බවට අනාවැකි සටහන් කරමින්ය.

මුල්‍ය අර්බුදයක්

එහෙත් 2018 අයවැය ඉදිරිපත් වුයේ රටේ ආර්ථිකය දරුණු මුල්‍ය අර්බුදයක් හමුවේ නිරාවරණයව පැවති අවස්ථාවකය. එහි බරපතලකම කියා පෑවේ ගෙවන්න තබා හිතාගන්නවත් බැරි ලෙස ගොඩගැසී තිබු රාජ්‍ය ණය කන්දරාවය. එයින්ද විදෙස් ණය ගෙවීම යන්න බරපතල අභියෝගයක් ලෙස දත් විලිස්සා තිබිණ. ධනවාදී වේවා , සමාජවාදී වේවා මේ කුමන දේශපාලන ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන පාර්ශවයකට මේ ණය උගුලේ අර්බුදයෙන් ගැලවීමට මඟක් තිබුණේ නැත.

වරද කාගේද?

සියලු දෙනා කරමින් සිටියේ ණයබරතාවයේ පංගුව සිය විරුද්ධවාදී දේශපාලන පාර්ශවයේ ගිණුමට බැර කිරීමය. එහෙත් රටක ආණ්ඩුවකට එසේ අනෙකාගේ ගිණුමට ණය බැර කළ පමණින් ණයට අදාළ පවෙන් ගැලවීමට නොහැකිය. ඒ ණය කාගේ පවෙන් ආවත් “ණය පව්” ගෙවීමට ගෝලීය රාජ්‍ය දාමයේ සාමාජික රටක් ලෙස මෙරටට වගවීමක් ඇත. ඒ කියන්නේ පරණ පව් පවා වර්තමාන පාලනය ගෙවීමට සුදානම් විය යුතු බවය.

ඒ අනුව 2014 වසර වන විට පැවැති මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,113 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක් විය. 2014 වසරේ පැවැති සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.3% ක් ලෙස සටහන්ව තිබිණ. ඒ තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.4% ක් ණය ගෙවීම සඳහා වැයකරන්නට නව පාලනයට සිදුවූ අතර තිබූ ආර්ථික තත්ත්වය අනුව රජයේ ආදායම ණය ගෙවීමටත් ප්‍රමාණවත් නොවිණ.

සාදය හමාරයි

2017 වසර දක්වාම රටේ ආර්ථිකය හසුරවා ගත්තේ ණය ගෙවීමට තවත් ණය ගනිමින් සහ වැඩිවන ණයබර පාලනය කර ගැනීමට විවිධාකාරයේ උපාය උපක්‍රම අත්හදා බලමින්ය. එහෙත් 2018 වසර එහි අවසානය සනිටුහන් කල අතර ඒ 2019 -2022 සමයේ මෙරට ඉතිහාසයේ ගෙවන්නට සිදුවන වැඩිම විදෙස් ණය පොළී වාරික ගෙවීමට සිදුවු පසුබිම නිසාය.

එනම් 2015 ට පෙර ලබාගත් විදේශීය ණය වෙනුවෙන් 2019 වසරේ ඇමරිකන් ඩොලර් මිලියන 3992ක්, 2020 - ඇමරිකන් ඩොලර් මිලියන 3463ක්, 2021 – ඇමරිකන් ඩොලර් මිලියන 3453ක් සහ 2022 - ඇමරිකන් ඩොලර් මිලියන 3842ක් ගෙවීමට සිදුව තිබිණ.

එනිසා තවදුරටත් කාටවත් නැළවෙන්නට හෝ හෙට දේශපාලනය ගැන සිතා පැද්දෙන්නට වෙලාවක් තිබුණේ නැත.

අයවැය කුඩු

එසේම 2015-2017 වසර වලදී මධ්‍ය කාලීන උපාය මාර්ග ඇතුළත් ආර්ථික වැඩපිළිවෙලක් තුළ පවතින අර්බුදය ජයගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කල හැකි බවට අග්‍රාමාත්‍යවරයා මැදිහත්වී ඉදිරිපත් කළා අපට මතකය. එහෙත් අවාසනාව වුයේ එම ඉදිරිපත් කල ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට තරම් එම කාලවකවානුවේ ඉදිරිපත්වූ අයවැය දායක නොවීමය. එය කොතරම් අභාවාචී තැනකට ඇද වැටුනාද කියනවා නම් අයවැය යෝජනා තරමටම ඒවා සංශෝධනය කරන්නට සිදුවිය. එය කොතරම් උග්‍ර විවේචනයකට ලක්වුවාද කියනවා නම් ලිබරල් උගතුන් පවා අයවැයට වැටෙන්න පහර ගැසුවේය.

2018 අභියෝගය

2018 අයවැය හමුවේ වූ ඊළඟ අභියෝගයද වුයේ එයයි. එහෙත් අයවැය ඉදිරිපත් විය. 2025 ආර්ථික ප්‍රතිපත්තිය අතේ තබාගෙන “දෙන්නම් බැටේ” පන්නයට අයවැය එනතෙක් කල් මැරූ උදවියට අලුත් කතාවක් කියන්නට ද සිදුවිය. එනම් “අයවැය හොඳයි -හැබැයි කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ” ලෙස ඒ අලුත් කතාව අපට සාරාංශ ගත කරන්නට පුළුවන.

එහෙත් ඒ මධ්‍යයේ “බියර් මිල පහල දැමීම නිසා සංස්කෘතිය උයියා වෙනවා”, වැනි දුප්පත් සහ පටු අර්ථ ගෙන අයවැය යෝජනා වලට එරෙහි ජනමතයක් සකසන්නට උත්සහ කලාද එය සාර්ථක වුයේ නැත. “නාවුක සහ භාණ්ඩ පරිවහනය සම්බන්ධ සීමා ලිහිල් කිරීම හමුවේ , ඩොලර් මිලියන 800ක් අහිමි වෙනවා” කියා ගජබින්න දෙසා බෑවද ඒ වචන භෞතික බලවේගයක් බවට පත්වුයේ නැත.

වචන පැහැදිළියි

අයවැය ඉදිරිපත් වුයෙම රටේ ආර්ථිකය හදන ප්‍රතිපත්තිමය කාරනා ඉදිරියට අරගෙන වීම ඊට හේතු විය. විශේෂයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා දේශීය ව්‍යවසායකත්වය ගෝලීය ආර්ථිකයට ගැලපෙන ලෙස නංවාලීම, ආර්ථික ලිහිල්කරණය සහ නීල හරිත ආර්ථිකයක් හරහා සංවර්ධනය හමුවේ එන පරිසර අර්බුදය විසඳාගනිමින් ආර්ථිකය හදන වැඩේට ජනතාව සිය සහය පලකරේය. මෑත ඉතිහාසයේ නොවූ ලෙස ආණ්ඩුවේම ඇතැමුන් කුමන හෝ පදනමකින් අයවැය විවේචනය කරමින් පාර්ලිමේන්තු විවාදයට එක්වුවත් අයවැය දෙවන වර කියවීම 2/3 වැඩි ජන්දයකින් සම්මත වුයේ වචන වලට වඩා දැන් අවශ්‍ය වැඩ කිරීම බවට ජනමතය තහවුරුව තිබු නිසාය.

සැබවින්ම ඉහලින් පටවන බරසාර යෝජනා වෙනුවට අයවැයේ තිබුණේ පවතින අර්බ්දයෙන් ගැලවීමට කල යුත්තේ කුමක්ද යන්න සහ ඉදිරි අභියෝගය ජය ගැනීමට අදාළ ප්‍රතිපත්තිය.ජනතාව ඉල්ලුවේද එවන්නක්ය. වචන වලින් නොකීවත් ජනතා ප්‍රාර්ථනය වුයේ හිඟාකන ආර්ථිකයක කොටස් කරුවන් වීමට වඩා හම්බකරන ආර්ථිකයක කොටස් කරුවෙකු වීමය. පෝසත් රටක් කියූවිට ජනතාව ඊට උසුළු විසිළු නොකර එය භාරගත්තේද එනිසාය.

වැඩ අවශ්‍යයි

එසේනම් දැන් ඇත්තේ වැඩ කිරීමය. ඒ ජනතා අපේක්ෂාව ඉටුකිරීමටය. අයවැය තුළ යෝජනා කළ ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ජනතාවට හිමිවිය යුතුව ඇත. රටේ ප්‍රධාන පක්ෂ දෙකෙහි එකමුතුවෙන් සහ ආශීර්වාදයෙන් ගෙන ආ මෙම අයවැයේ ප්‍රතිලාභ 2018 වසරේ සිට සමස්ථ සමාජයට කාන්දු විය යුතුව ඇත. ඒ අනුව newstube.lk වෙබ් අඩවියේ “ආර්ථික” කොටස මේ හමුවේ අවධාරණය කරන්නේ 2017 දෙසැම්බර් 09 වනදායින්, එනම් අයවැය තෙවනවර ජන්ද විමසුමෙන් “2018 අයවැය” අවසන් නොවන බවය. ජනතාව වෙනුවෙන් අප වැඩ පටන්ගන්නේ මෙතැන් සිටය. සිහිනය කීවාට සිහිනය සැබෑ වන්නේ අවධිවී වැඩ කිරීම තුළය. වචන ලස්සන වුවාට ඒවාට අර්ථ ලැබෙන්නේ ලස්සනට වැඩ කලොත් විතරය. එහෙනම් මහත්වරුණි, එන්න මේ ඔබේ වචන, වැඩ බවට පත්කරන්න ඇති සමයයි. newstube.lk “ආර්ථික” ය ඔබ දෙස අවධානයෙන් සිටින සමයයි.