Language Switcher

V2025

මේ වසර අවසානයේ විදේශ සංචිත : ඇ.ඩො. බිලියන 9.5ක් දක්වා ඉහළට

මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර්  බිලියන 9.5ක්  දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

මේ පිළිබඳ සඳහන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර  2016 වසර අවසාන වන විට ඇමරිකානු ඩොලර්  බිලියන 6ක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය, 2017 වසර අවසාන වන විට ඇමරිකන් ඩොලර්  බිලියන 7 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම තත්ත්වය තවත් වර්ධනය වෙමින්  මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර්  බිලියන 8.7ක් වන බවද එහි සඳහන්ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දීර්ඝ කරන ලද අරමුදල් පහසුකම් යටතේ ඇ.ඩො. බිලියන 1.5ක ණය මුදලක් වසර තුනක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට 2016 වසරේ ජූනි මස 03 දා එකඟ වූ බවත්  එහි තවත් වාරිකයක් ලෙස ඇ.ඩො. මිලියන 252ක් පසුගිය දා අනුමත වූ බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

එම මුදලත් සමග මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති මුදල ඇ.ඩො. මිලියන 1014ක් වන බවද එම නිවේදනයේ  සඳහන්ය.

ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය : IMF ප්‍රශංසාවට 

පසුගිය සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කළ අතර මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමග ද ඔවුහු සාකච්ඡා පැවැත්වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාව ආර්ථික ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කල බවද එහි සඳහන්ව ඇත.

ජාතික ආදායම වැඩි කරමින් මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමක් කිරීමට මෙම රජය විසින් ගනු ලැබූ පියවරයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව ඇති බවත්  රාජ්‍ය ආදායම් වැඩි කිරීම සඳහා සාධනීය පියවර රැසක් ගෙන ඇති අතර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම ද ආර්ථිකය ශක්තිමත් කිරීමේ සාධනීය වැඩසටහන් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනාගෙන තිබෙන බවද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

එසේම වසරේ ඉදිරි කාලය තුළ දී ශ්‍රී ලංකාව වෙත තවත් මුදල් ලැබීමට නියමිත බවත්  හම්බන්තොට වරාය බදු දීමේ  අවසන් වාරිකය වන ඇ.ඩො. මිලියන 585ක් සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා ඇ.ඩො. බිලියනයක ණය මුදල ද ඒ අතර වෙයි. තවත් ඇ.ඩො. මිලියන 250ක මුදලක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දීමට නියමිත අතර ඒ අනුව  මෙම වසර අවසන් වන විට තවත් ඇ.ඩො. බිලියන 02කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතව ඇත.

ඒ සමගම විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 9.5 දක්වා වැඩි වීමට නියමිත අතර  වසර ගණනකට පසු ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි වීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයක් බවද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

එසේම එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ඉදිරි වසර හතර - පහ තුළ වසරකට ඇ.ඩො. බිලියන 3.9ක පමණ මුදලක් ණය වාරික වශයෙන් ගෙවිය යුතු වේ. ඉතා සංයමයෙන් යුතුව විදේශ සංචිත හැසිර විය යුතු බැවින් එයට සරිලන අයුරින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ සංචිත ක්‍රමිකව ගොඩනගමින් පවතින අතර මෙය ඉදිරි වසරවල දී ණය කළමනාකරණය සඳහා බෙහෙවින් උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය.

පසුගිය රජය විසින් 2007 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් වාණිජ පොලිය මත ලබා ගත් ණය එකවර කල් පිරීම හේතුවෙන් සහ එම කාලය තුළ අපනයනය වැඩි කිරීම සඳහා දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙසේ ණයබරතාව උග්‍ර වී ඇතැයි ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.