Language Switcher

V2025

GDP ඇස්තමේන්තු වෙනස් කරපු කතා බොරු : මහ බැංකුව අවධාරණය කරයි !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නො මග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශයන් මාධ්‍ය වෙත  නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇති බවත් මෙම චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ පවසයි.

2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. එ සේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නො මග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකාශයන් මාධ්‍ය වෙත  නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.

2006 වසර දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුව ද දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කර ප්‍රකාශයට පත් කිරීම සිදු කළේ ය. එ සේ වුව ද, ස්වාධීන ආයතනයක් විසින් දත්ත සම්පාදනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලදී.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමට අමතර ව පාරිභෝගික මිල දර්ශක, ශ්‍රම බලකාය, දරිද්‍රතාව ආදී ක්ෂේත්‍රවලට අදාළ දත්ත අන්තර්ජාතික ව පිළිගත් ක්‍රමවේදවලට අනුකූල ව ගණනය කිරීමේ වගකීම දරමින් දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් මෙ වැනි දත්ත පරිශීලනය කරන ප්‍රධාන ආයතනයක් ලෙස එම දත්ත ආර්ථික විශ්ලේෂණ සහ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගනී.

එහෙයින්,  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැ යි කරනු ලබන චෝදනා මුළුමනින් ම පදනම් විරහිත වේ.