Language Switcher

V2025

ජනතාවාදී සංවර්ධනය සහ සොහොන් සංවර්ධනයේ වෙනස - ඇමති පාඨලී

ජනතාවාදී පාලනයක් කියන්නේ පියාගේ සොහොන හදන්න රජයේ අරමුදල් ලක්‍ෂ 900 ක් වියදම් කිරීම නොව රජයේ අරමුදල් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට වියදම් කිරීම බවත් පුද්ගල අපේක්ෂා මන්ද මානසිකත්ව හෝ උමතුකම්වලට රජයේ අරමුදල් වියදම් නොකළ යුතු බවත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ අද (15) බස්නාහිර මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන හා පුර්ණ අධික්‍ෂණය, සැලසුම් දායකත්වය යටතේ ඉදිකළ ගම්පහ බස්නැවතුම්පල දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා,

“ගොඩනැගිලි ඉදිකිරීම වේවා, සංවර්ධන කාර්යයන් වේවා ඒවා විනිවිද පෙනෙන ආකාරයට අවම මිලට, උපරිම ප‍්‍රමිතියට සිදු විය යුතුයි. එහෙම නැතිව වැඩිම මිලට අඩුම ප‍්‍රමිතියට ඒවා සිදු වෙනවා නම් එයින් ඇති පළක් නැහැ. රජයේ ආයතනයක් වූ සීසීබී ආයතන මගින් මෙම කටයුත්ත සිදු කළා. එහි ප‍්‍රමිතිය අපි සහතික කරනවා. ජනතාවට අවශ්‍ය පහසුකම් ඒ තුළ සහතික කර තිබෙනවා.

වලව් හදපු වාස්තු විද්‍යාඥයා

සමහර අවස්ථාවල මේ වගේ විනිවිද නොපෙනෙන ගණුදෙනු නිසා ප‍්‍රකෝටි ගණන් රටට ආදායම අහිමි වෙනවා. ඒවා සමහරුන්ගේ අවශ්‍යතා විය හැකියි. නමුත් ජනතාවට ඒවා අහිමි වී යනවා. අප හැදුවා ආරක්‍ෂක මූලස්ථානය, එය දෙවෙනි වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනයට විතරයි. ඒ සඳහා වියදම් කර තිබෙනවා මිලියන 62,000ක්. වියදම් කරන්න පටන් ගත්තේ ගෝල්ෆේස් පිට්ටනියේ ඉඩමක් විකුණලා මිලියන 8,000 කට අද ඒ වගේ 8 ගුණයක් ඒ සඳහා වියදම් කරන්න වෙලා තිබෙනවා. කොහොමද මේවා ලබාදුන්නේ. පුද්ගලයෙකුගේ නමක් දාලා, ඔහු තමයි මෙහි වාස්තු විද්‍යාඥයා, ඔහුට වියදමින් .5% ක් යා යුතුයි කිව්වා. ඒ වාස්තු විද්‍යාඥයා තමයි මේ පැත්තේ වලව් හැදුවේ, ගම්පහ ඔරුවල කාර්යාල හැදුවේ. ඒ සල්ලිවලින්. ඒවා තමයි සංවර්ධනය ලෙස ඔය උජාරුවෙන් කියව කියව යන්නේ. ඒවා සංවර්ධනය නෙමෙයි. ඒවාට වන්දි ගෙවන්න වෙනවා තව පරම්පරා ගණනාවකට. රටට ඔරොත්තු දෙන සංවර්ධනයක් නෙමෙයි කිසිම විනිවිද පෙනෙන සුළු භාවයක්, තරඟකාරීත්වයක්, අවම මිලක්, උපරිම ප‍්‍රමිතියක් ඒ සංවර්ධනයේ නැහැ. මේ සංවර්ධනයේ ඒ සියල්ලම ගැබ්වෙලා තිබෙනවා. එයයි මේ පාලනයේ වෙනස.

සංවර්ධනයේ ප්‍රතිලාභ කාටද

අප කරගෙන යනු ලබන සංවර්ධනයෙන් අපට ආදායම් ඉපදවෙනවාද, ජනතාවට පහසුකම වැඩිවෙනවාද?, රටේ ආර්ථිකයට එමගින් ප‍්‍රයොජනයක් ලැබෙනවද? ආර්ථික වාසිය කොපමනද කියා අප බැලිය යුතුයි. එහෙම නැතිව තැන තැන විශාල වාණිජ මධ්‍යස්ථාන, නගර ශාලා, වෙනත් බලාගාර, වරායවල්, ගුවන්තොටුපලවල් ඉදිකළා කියලා

රටට ආර්ථික වාසියක් නැතිනම්, රටට, ජනතාවට එමගින් මිල උපදවන්න බැරිනම් එතන සංවර්ධනයක් නැහැ. උදාහරණයක් හැටියට කොළඹ මහ නම්බුවෙන් හැදුවයි කියනවා. කොළඹ හැදුවා මාලූ ටැංකියක් ආකේඩ් එකේ. එහි වීදුරුව විතරක් ලක්‍ෂ 650 යි. විවෘත කිරීමේ උළෙල ලක්‍ෂ 500 යි ඉන්දියාවේ නිලියෝ ගෙන්වලා. මේවයින් ලැබෙන ආර්ථික වාසිය මොකද්ද? මේවයින් මහජනයාට ලැබිලා තිබෙන ආර්ථික වාසිය මොකක්ද? පරිප්පුවලට, සීනිවලට, කිරිපිටිවලට බදු වැදිච්ච එක විතරයි මේවයින් උනේ. ඒවයේ පව් අපට සහ අපේ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙනවා”

ඉස්සර කොළඹ සටන

“ඉස්සර කොළඹ තිබුණා ලොකු සටනක්, මිනිස්සු පාරට ඇවිත් ගෙවල් කඩනවා කියලා කෑ ගැහුවා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය අවුරුදු දෙක තුළ නිවාස 6000 ක් අයින් කර තිබෙනවා. එක පෙළපාලියක්, එක උද්ඝෝෂණයක් නැහැ. එක ප‍්‍රතිවිරෝධයක් නැහැ. අද වොක්ෂෝල් විදීයේ ගෙවල් 400 ක් කඩනවා. මිනිසුන්ගේ අත්වලින්. හමුදාවෙන් හෝ තුවක්කු ගෙනිහින් නෙමෙයි. වතුරවලට කෑගැසූ රතුපස්වල මිනිසුන්ට වෙඩිතිබ්බා වගේ නෙමෙයි අපි සංවර්ධනය ගෙනයන්නේ. අහිංසක හමුදා සෙබළු අපරාධ කාරයෝ කරගෙන නෙමෙයි, ජනතාවගේ කැමැත්තෙන්, නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් එකට ගෙන තමයි අපි සංවර්ධනය ගෙනයන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය

ඇමරිකා එක්සත් ජනපදය ධනවත් රටක් වෙන්න කලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී උනා. 1776 දී ඇමරිකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණා. ඇමරිකාව නිදහස් වෙළඳපලක් බවට පත් කළා, ලෝක බලවතා උනේ අවුරුදු 100 කට පස්සේ. අපේ රටටත් 1948 නිදහස ලබාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළා. 77 අපි නිදහස් ආර්ථිකයකට ගමන් කළා. ඉන්දියාවත් එහෙමයි. ඉන්දියාව 1948 අපිත් එක්ක නිදහස ගත්තා හැබැයි ආර්ථිකය විවෘත කළේ 1991 දී, ඒ නිසා මේ දෙකම එකට යා යුතුයි. සමහරු හිතනවා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කලින් යා යුතුයි කියලා, සමහරු හිතනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බල්ලට ගියත් කමක් නැහැ ආර්ථිකය ඉස්සරහින් ගෙනයායුතුයි කියා. නැහැ මේක ගහට පොත්ත වගේ එකට ගමන් කළ යුතුයි. එතකොට තමයි තිරසරව, ධරණීයව එම සංවර්ධනය ඉදිරියට යන්න පුළුවන්. එනිසා බලහත්කාරයෙන් තොරව, කැමැත්තෙන් හැමෝගෙම එකඟතාවයෙන් යමක් සම්මුතියෙන් යමක් කරනවාද, ඒවා ස්ථාවරයි. එම ස්ථාවර මාවතේ තමයි මේ නව පාලනය යන්නේ කියන එක ඔබට අවධාරණය කරනවා.

අලුත් යුගයක්

ඒ වගේම මේ හැමදෙයක්ම පරිසරයට එකඟ විය යුතුයි. පරිසරය නියඟය, ජලගැලූම්, කුනාටු ආදියෙන් ඉතාම භයානක විදිහට බැට දෙනවා. ඒ නිසා සෑම සංවර්ධනයක්ම පරිසරයට එකඟ විය යුතුයි. පරිසරයත් සමග එකට කටයුතු කරන්න. ඔබ කවුරුත් දන්නවා මෙම ස්ථානය කලින් ගම්පහ කුණුවල. අද මෙතන රමණීය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේදී දියුණු වෙයි. ඒ නිසා මේ බස් නැවතුමෙන් එහා සිටින ජනතාවගේ ජීවිතත්, එයත් සමග වෙනස් වෙයි. ඒ අය වෙනස් වෙලා අලූත් යුගයකට ගමන් කරයි. ඒ නිසා අපි මේ මාසයේ සිට ගම්පහ විතරක් නෙමෙයි මේ මුළු රටේම කසළ ගැටළුවට ස්ථිර, තිරසර විසඳුමක් දෙන වැඩපිළිවෙලක් අප දියත් කරනවා. ඒ වැඩපිළිවෙලට බාධා නොකරන ලෙස සෑම දේශපාලන පක්ෂයකින්ම ඉල්ලා සිටිනවා. රට තිරසරව යෑමට නම් තිරසර සංවර්නයට පරිසර ආරක්‍ෂණය ඉතාම අත්‍යවශ්‍යයි.

2020 ලැබෙන්නේ මොනවාද

ඒ නිසා මෙම කරුණු නොමැතිව මොනම සංවර්ධනයකින්වත් පළක් නැහැ. පවුල් හැදෙන සංවර්ධනය, පරිසරය වනසන සංවර්ධනය, රටේ ආර්ථිකයට බරක් වන සංවර්ධනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, මිනිස් නිදහසට බාධාවක් වන සංවර්ධනය අපට වැඩක් නැහැ. අපට ඕනේ ඒ සෑම කරුණක්ම එකට එකතු කළ වැදගත් සාමූහික සංවර්ධනයක්. එහි ප‍්‍රතිලාභ පවුලකට නෙමෙයි සෑම දෙනාටම බෙදා හදා දෙන සංවර්ධනයක්. ගම්පහ දැන උගත් ජනතාව කාපට් කළ පාරවල්වලටවත්, එතන මෙතන ඇති වූ වෙළඳපලවල්වලට නැතිනම් මායාමය සංවර්ධනයට යටත් නොවන ජනතාවක්. එය අපට 2015 මැතිවරණයේදී පැහැදිලි උනා. ජනතාවට අවශ්‍ය උනා නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කල්පවතින සංවර්ධනය, ජනතා අපේක්‍ෂාව ඉටුවන සංවර්ධනය එය දැන් ඔබට ලැබෙමින් යනවා. 2020 වන විට තවත් බොහෝ දෙවල් ඔබට ලැබෙනවා. මේ මග යමින් ආර්ථිකයට, අනාගත පරපුරට බරක් නොවන සංවර්ධනයක් අපි දියත් කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය රජයේ අරමුදල්වලට වඩා පෞද්ගලික ආයෝජන මගින් ආර්ථිකයට බරක් නොවන යෝධ සංවර්ධනයක් ඉදිරි කාලයේදී අපි කි‍්‍රයාත්මක කරන බව ඔබ හැමට පොරොන්දු වෙනවා යයි පැවසීය.