Language Switcher

V2025

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ ඇත්ත නැත්ත  

නිදහස් වෙළඳ ගිවිසුම්වලට ඇතුලත් වීමට අවශ්‍යද?

ලෝක වෙළඳ සංවිධානය යටතේ බහු පාර්ශ්වික වෙළඳාම ලිහිල්කරණය අඩපන වීම  හේතුවෙන් අවට ලෝකය, කලාපීය හා ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් සමග  වේගයෙන් ඉදිරියට යාම කැපී පෙනෙන ප්‍රවනතාවයක් වී ඇත. මේවනවිට කලාපීය වෙළඳ ගිවිසුම් 419 ක් දක්නට ඇත.

සාර්ක් කලාපයට අයත් දකුණු ආසියානු රටවල් දෙස බලන විට, වෙනත් රටවල වෙළඳපොලට තීරුබදු රහිතව හෝ වරණීයව ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව  අනෙක් රටවල් වලට වඩා බොහෝ සෙයින් පිටුපසින් සිටී. බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ඇෆ්ගනිස්ථානය යන සාර්ක් කලාපයේ ඌන සංවර්ධිත රටවල්, යුරෝපීය සංගමයේ හා ඉන්දියානු වෙළඳපොළ සඳහා තීරුබදු නිදහස් ප්‍රවේශය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත. සැබැවින්ම, සාර්ක් කලාපයට අයත් ඌන සංවර්ධිත රටවල් වල අපනයනවලින් 84% කට ආසන්න ප්‍රමාණයකට විශාල වශයෙන් ලෝකයට බදු රහිතව ප්‍රවේශවීමේ හැකියාව ඇත. 

පසුගිය දශකය තුළ ඉන්දියාව, විවිධාකාර ප්‍රඥප්ති සහ විස්තීර්ණ වෙළඳ ගිවිසුම් මගින් ආසියාන්, ජපානය, හා දකුණු කොරියාව සඳහා වරණීය වෙළඳපොල ප්‍රවේශයක් ලබා ඇත. පාකිස්ථානය ද  චීනය, මැලේසියාව සහ ශ්‍රී ලංකාව සමග නිදහස් වෙළඳ ගිවිසුම් වලට අවතීර්ණ වී ඇති අතර යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළ GSP+ ප්‍රතිලාභය ද ලබයි. සංසන්දනාත්මකව, ශ්‍රී ලංකාවට වරණීය වෙළඳපොළ ප්‍රවේශය ඇත්තේ ඉන්දියාවට සහ පකිස්ථානයට (සහ ඇප්ටා ගිවිසුම යටතේ ඉන්දියාව හා බංගලාදේශයටද හිමිව ඇති චීන හා කොරියානු වෙළඳපොල සඳහා වරණීය පිවිසුම)   පමණි. මේ අනුව බැලූ කළ සිය වෙළඳ පාර්ශවකරුවන් සඳහා වරණීය වෙළඳ ප්‍රවේශයක් ලබාගැනීමේදී පැහැදිලිවම, ශ්‍රී ලංකාව සිටිනුයේ සිය දකුණු ආසියානු අසල්වැසි රටවලට පවා පිටුපසිනි.

එසේ හෙයින් ශ්‍රී ලංකාව,  කළයුතු  වන්නේ   සාම්ප්‍රදායික ප්‍රධාන වෙළඳ පොළවල් දෙක වන එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සමග වන වෙළඳාමෙහි වේගවත් වර්ධනයක් සහතික කරන  අතරතුර ගෝලීය නිෂ්පාදන ජාලය සමග සම්බන්ධ වීම සඳහා නැගී එන දකුණු ආසියානු හා ඈත පෙරදිග රටවල් හා  අග්නිදිග ආසියානු කලාපයේ වෙළඳ හවුල්කරුවන් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළබීමයි. ඒ අනුව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලදී.

රජයට වෙළඳාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් පවතීද?

ඔව්

මෙම නව වෙළඳ ප්‍රතිපත්තිය වංචනික ලියවිල්ලක්ද ?

වෙළඳාමට අදාල ප්‍රතිපත්තිමය තීරණ ගැනීම විවිධ ආයතනවල අධිකාරිය යටතේ සිදුවීම හේතුවෙන් වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම් දිශානතියකින් තොරවී සිදු වී ඇති බව මෙම අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කරන ලදී. එවැනි තීරණ හිටි අඩියේ ගනු ලැබීම මෙම අක්‍රමවත් භාවයට හේතුවී ඇත. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තීරණ වල ව්‍යාකූලත්වයට හා දිශානතියකින් තොර වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළදාමේ කාර්යසාධනය දුර්වල වී ඇත. මෙම තත්ත්වය හඳුනාගනිමින් විවිධ දිශානතීන් කෙරෙහි එල්ලවී ඇති ප්‍රතිපත්තිමය තීරණ, පැහැදිලි දැක්මක් සහිත එක් තලයකට ගෙන ඒම අරමුණු කොට ගෙන නව වෙළඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට රජය විසින් තීරණය කරන ලදී.

වෙළඳ ප්‍රතිපත්තිය සම්පාදනය බහුපාර්ශවීය ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිදු කරන ලද අතර ඒ සඳහා 2016 මැයි මාසයේ සිට 2017 මැයි මාසය දක්වා වසරක පමණ කාලයක් ගතවිය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද එය “නව වෙළඳ ප්‍රතිපත්තිය” ලෙස නම් කරන ලද අතර මෙම ප්‍රතිපත්තිය මගින් අපැහැදිලිතාවයන්ගෙන් යුක්ක වූ විවිධ වෙළඳ ප්‍රතිපත්තීන් බොහෝ දුරට එක් තලයකට ගෙන එමින් රටෙහි වෙළඳ තන්ත්‍රයට පුළුල් රාමුවක් සහිතව නව මුහුණුවරක් සැපයීමට සමත් විය. මෙවැනි පසුබිමක් යටතේ රජයේ සංවර්ධන අරමුණු,  ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳාමේ ඇති සාපේක්ෂ වාසි, පසුගිය වසර වල කාර්ය සාධනය, වෙනත් රටවල ප්‍රතිපත්ති සම්පාදන අත්දැකීම් මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී.

මෙම ප්‍රතිපත්තිය කමිටු දෙකක් මඟින් සම්පාදනය කරනු ලැබූ අතර, එක් එක් කමිටු රජයේ විවිධ ආයතනයන්හි නියෝජිතයන්ගේ සමන්විත විය. අවසාන වශයෙන් සම්පාදනය කරන ලද ඉලක්ක ගත වාර්තාව අතිගරු ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක ආචාර්ය සරත් රාජපතිරණ මහතාගේ මූලිකත්වය ඇතිව සැදුම්ලත් කිහිපදෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් වෙත සකස් කිරීම සඳහා යොමු කෙරිණි. මේ සඳහා මහජන මත විමසීම සඳහා ද ප්‍රසිද්ධියට පත්කර අවස්ථාව සලසා දෙන ලදී.

ජාතික වෙළඳ ප්‍රතිපත්තියට එනම් නව වෙළද ප්‍රතිපත්තියට 2017 අගෝස්තු 1 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණ. කැබිනට් මණ්ඩලය විසින් නව වෙළඳ ප්‍රතිපත්තියේ අඩංගු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයට හා අදාල රේඛීය අමාත්‍යාංශ වලට නියෝග කොට තිබේ

මෙම ගිවිසුම හොර රහසේ කරන ලද්දක්ද ?

ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම 2016 වර්ෂයේ ජූලි 07 වන දා ආරම්භ කර, මාස 18 ක් පමණ කාලයක් පුරා සාකච්ඡා වට 8 ක් පවත්වන ලද අතර අවසන් සාකච්ඡා වටය 2017 නොවැම්බර් මස13 – 14 දිනයන්හි පවත්වන ලදී. මෙම සාකච්ඡාවන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ජාතික කමිටුව විසින් සහ අදාල සියළුම ක්ෂේත්‍රයන් හි ප්‍රධානත්වයෙන් යුතු එම සියළුම රාජ්‍ය ආයතනයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත උප කමිටු 12  විසින් මෙහෙයවන ලදී. මාස 18 ක් පමණ වූ සාකච්ඡා කාලපරිච්ඡේදය තුල වානිජ  මණ්ඩල, කර්මාන්ත, සංගම්, වෘත්තීය සංගම් යනාදී පුළුල් පරාසයක පාර්ශවකරුවන් සමඟඋපදේශන / මතවිමසීම් සාකච්ඡා 20 කට අධික ප්‍රමාණයක් පවත්වන ලදී. එම සාකච්ඡා සමහරක් දැනට පවත්නා නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ පොදු වශයෙන් සිදුවූ අතර සමහරක් අදාල භාණ්ඩ සේවා හෝ ආයෝජන ක්ෂේත්‍රවල නිදහස් කිරීම් පරිමාණ තීරණය කිරීමට අදාලව විවිධ සංගම් සහ වාණිජ මණ්ඩල සමඟ අදාල අනුකමිටු විසින් වෙන් වෙන් වශයෙන්ද සාකච්ඡා පවත්වන ලදී.

ගිවිසුමෙහි තත්ත්වය පිළිබදව වරින්වර වාර්තා කර ඉදිරිපත් කිරීම මඟින් සාකච්ඡා ක්‍රියාවලියේදී ගන්නා ලද  ස්ථාවරයන් පිළිබඳ කැබිනට් මණ්ඩලය නිරන්තරව දැනුවත් කරන ලදී. අවසානයේදී, ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ පළමු කෙටුම්පත 2017.12.22 වන දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය 2018.01.02 හා  2018.01.09 වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී අතිගරු ජනාධිපති තුමා ඇතුළු  කැබිනට් අමාත්‍ය වරුන් 14 දෙනෙකුගේ නිරීක්ෂණයන් සමග සාකච්ඡාවට බඳුන් කරන ලදී. එසේම නීතිපති තුමාගේ අනුමැතිය සමග 2018.01.16 කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවන ලදී. කෙසේ වුවද ප්‍රපාතන විරෝධී, ප්‍රතිතෝලන හා ආරක්ෂණ විධි පනත් සම්මත කර ගැනීමෙන් පසුව ගිවිසුම 2018.05.01 දින සිට බලාත්මක කරන ලදී.

මෙම ගිවිසුම අත්සන් කළ වහාම සියළුම  භාණ්ඩ සඳහා වෙළඳ තීරුබදු ඉවත් වන්නේද?

ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම තීරු බදු රේඛා 7,438 කින් සමන්විත වේ.

සිංගප්පූරුවට පමණක් නොව, වෙනත් සියළුම රටවලට ශ්‍රී ලංකාවේ තීරු බදු රේඛා සුළු ප්‍රමාණයක් හැර, තීරු බදු රේඛා 50% ක්  (භාණ්ඩ 3,719) දැනටමත් තීරු බදු රහිත ඒවා වන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. මූදල් හා ජනමාධ්‍ය අමාත්‍යාශයේ උපදේශනය හා එකඟත්වය මත සිදු කරනු ලැබු ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ තීරු බදු ලිහිල් කිරීමේ වැඩසටහන (TLP) , දේශීය කර්මාන්ත හා ආදායම එකතු කිරීම සඳහා අවම බලපෑමක් ඇති කිරීම සඳහා සැලසුම් සහගතව සකස් කරන ලදී.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව විසින් වසර 12 සිට 15 දක්වා කාලයක් තුළදී සිය තීරු ගාස්තු රේඛාවලින් 80% ක් ලිහිල් කිරීම සඳහා කටයුතු කර ඇත. මුලින් සඳහන් කල පරිදි එයින් සුළු ප්‍රමාණයක් හැර, තීරු බදු රේඛා 3,719 දැනටමත් තීරුබදු රහිත ඒවා වන බැවින්, මුළු තීරුබදු රේඛා වලින් 50% ක් මෙම ගිවිසුම බලාත්මක වන විටම ලිහිල් කරනය වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආදායම හෝ දේශීය කර්මාන්ත මත ක්ෂනිකව බලපෑමක් සිදු නොවනු ඇත. ඉන් අනතුරුව, තීරු බදු රේඛාවලින් 15% ක් හෝ අයිතම 1,116 ක් පළමුවන අවුරුද්දේ සිට හය වන අවුරුද්ද දක්වා වන කාල සීමාවේදී සමාන වාරික වලින් ඉවත් කරනු ලබන අතර තීරු බදු රේඛාවලින් 14.3% ක් හෝ අයිතම 1,064 ක් සමාන වන වාරිකවලින් හත්වැනි අවුරුද්දේ සිට දොළොස් වන අවුරුද්ද දක්වා කාලය තුලදී ඉවත් කිරීම  සහ, 0.7% ක් හෝ අයිතම 51 ක් එකොළොස් වැනිඅවුරුද්දේ සිට පහළොස් වසර දක්වා කාලය තුලදී ඉවත් කිරීම සිදු කරනු ලැබේ. එබැවින් මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ වහාම සියළුම  භාණ්ඩ සඳහා වෙළඳ තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් නොවනු ඇත.

මෙම ගිවිසුම නිසා දේශීය කර්මාන්ත  තර්ජනයට ලක්වේද? 

සිංගප්පූරුව සිය  වෙළඳ පාර්ශවකරුවන් සමඟ අත්සන් කරන ලද සියලුම වෙළඳ ගිවිසුම්වල පාහේ තීරු බදු නිදහස්  මට්ටම සියයට 90% ක් හෝ ඊට වඩා වැඩි මට්ටමක පවති. සන්සන්දනාත්මකව ශ්‍රී ලංකාවට තීරු බදු ලිහිල්කරණය 80% සීමා කිරීමට හැකි වී ඇති අතර එමඟින් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට හා ආදායම් පිළිබද අහිතකර තත්ත්වයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා තීරු බදු රේඛාවලින් 20% ක් වන අයිතම 1,487 ක් නිෂේධ ලැයිස්තුවේ තබා ඇත. ඉහළ MFN ගාස්තු ඇති පාවහන්, රසකැවිලි සහ වෙනත් බොහෝ අයිතමයන් නිෂේධ ලැයිස්තුවක තබා ගැනීමෙන් පාරිභෝගිකයින්ගේ විශාල කොටසකට වාසියක් නොවන බව කෙනෙකුට තර්ක කළ හැකි වෙතත්, දේශීය වශයෙන් ඇති සංවේදීතාවය හේතුවෙන් එම සංවේදී අයිතමයන් නිෂේධ ලැයිස්තුවේ තබා ඇත.

තවද වෙළඳ පිළියම් පරිච්ඡෙදයෙහි ද්විපාර්ශවිය ආරක්ෂණ ක්‍රියා විධි කොටස යටතේ,  ගිවිසුම ක්‍රියාත්මක කරන කාලයේදී තීරුබදු අඩුකිරීම නිසා දේශීය කර්මාන්ත වලට බලපෑම් ඇති කරමින් සිංගප්පූරුවෙන් සිදුකරන ආනයන ඉහළ  ගියහොත් නැවත MFN මට්ටමට තීරුබදු ඉහල නැංවීමට ප්‍රතිපාදන ඇතිකර ඇත. ඒ අනුව, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට මෙම ගිවිසුමෙහි ප්‍රතිපාදන ඇතුලත් කොට ඇත.  එයට අමතරව, තීරුබදු අඩුකළ පමණටම මෙරටට ඒ ඔස්සේ භාණ්ඩ ආනයනය කල නොහැකි අතර අදාල වරප්‍රසාද ලබා ගැනීම සඳහා ප්‍රභවය පිලිබඳ රීති සම්පුර්ණ කල යුතුය. එසේම  ආනයන බලපත්‍ර ලබාගත යුතු භාණ්ඩ ආනයනයට අදාළ ආනයන බලපත්‍ර ලබාගතයුතු අතර මානව,සත්ව හා ශාක ආරක්ෂණය සඳහා අදාල වන රෙගුලාසිද එලෙසින්ම බලපානු ඇත.
 
මෙම ගිවිසුම හරහා සිංගප්පූරුව හැර වෙනත් රටක ( ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි) ප්‍රභවය වන භාණ්ඩ ශ්‍රී ලංකාවට පැමිණිය හැකිද?

යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට අපනයන කිරීමට නම් එයට සිංගප්පූරුවේ සැලකිය යුතු අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු වන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් 35% අගය එකතු කිරීමේ සීමාවක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදුවිය යුතු බවට ගිවිසුම අනුව නියම කොට ඇත. ආසියාන් (ASEAN) රටවල් හි සමුච්චිතය (cumulative) මත පදනම්ව භාණ්ඩ ප්‍රභවය පිළිබඳ රීති ගණනය කිරීමේ සිංගප්පූරු යෝජනාවට ශ්‍රී ලංකාව එකඟතාවය පල නොකරන ලදී. එම නිසා ආසියානු සමාජීය රටවල් ප්‍රභවය කරගත් අමුද්‍රව්‍ය, 35% අගය එකතු කිරීමක් හෝ තීරු බදු ශීර්ෂ වෙනස් වීමකට  සිංගප්පූරුවේදී ලක් නොවේ නම් එවැනි භාණ්ඩ තීරු බදු සහන සඳහා සුදුසුකම් නොලබනු ඇත. ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමට අනුව සිංගප්පූරුවේ සැලකිය යුතු අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු වන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් 35% අගය එකතු කිරීමේ සීමාවක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදුවිය යුතු බවට නියම කොට ඇත. එම නිසා සිංගප්පූරුවේදී අනිවාර්යෙන්ම සිදුකල යුතු අගය එකතු කිරීමේ හා සැකසීම් මට්ටම් පනවා ඇති බැවින්, මෙම ගිවිසුමේ භාණ්ඩ ප්‍රභවය පිළිබඳ රීති හරහා වෙනත් රටක නිෂ්පාදිත භාණ්ඩ “ අන්තරාල වෙළදාම” (entrepot trade)  හරහා මෙරටට පැමිණීමට අවස්ථාව හිමි නොවේ. 

මෙම ගිවිසුම හරහා රාජ්‍ය බදු ආදායමට දැඩි බලපෑම් ඇතිවේද?

ගිවිසුම බලාත්මක වූ වහාම නිදහස් වන 50% පමණ වන තීරු බදු රේඛාවන් (3,719), මේ වනවිටත් , සියලුම රටවල් සඳහා (MFN) තීරු බදුවලින් නිදහස් කර ඇති  ඒවා බැවින්, ඒ ඔස්සේ සිදුවන බලපෑමක් නැති තරම්ය.

තවද, 2017 වර්ෂයේදී සිංගප්පූරුවෙන් ආනයන කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1,293 වටිනා භාණ්ඩ දෙස බැලූ කල ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක්ම (සිංගප්පූරුවෙන් සිදුකල මුඵ ආනයන වලින් 60%ක්ම) පෙට්ට්‍රෝලියම් හා ඒ ආශ්‍රිත භාණ්ඩ වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 228 ක් රත්‍රං ආනයන වේ. රත්‍රං තීරු බදු රහිත කාණ්ඩයේ අන්තර්ගත කොට තිබුනද ඉදිරියේදී පනවන නිෂ්පාදන බදු   - විශේෂ විධිවිධාන (Excise duty ) හරහා ආදායම සුරක්ෂිත වනු ඇත.පෙට්‍රෝලියම් භාණ්ඩ, දුම්කොළ, ස්ප්‍රීතු හා මධ්‍යසාර වැනි භාණ්ඩ මත  පනවා ඇති බදු රජයේ වැදගත් ආදායම් මූලාශ්‍රයක් බැවින් එම භාණ්ඩ නිශේධ ලැයිස්තුවේ රඳවා ගනිමින් ආදායම් සුරක්ෂිත කොට ගෙන ඇත එමෙන්ම මුදල් අමාත්‍යංශය මගින් කරන ලද විශ්ලේෂණයකට අනුව ගිවිසුම මගින් තීරු බදු අඩු කිරීම බලපානුයේ සිංගප්පූරු තීරු බදු මගින් 2017 දී ලැබූ වාර්ෂික ආදායම රුපියල් බිලියන 35 කි. මෙම වෙළඳ ගිවිසුමට එළඹීම හරහා ඉදිරි වසර 15 ටම රජයට අහිමි වන ආදායම රුපියල් මිලියන 733 ක් පමණ වේ. ඒ අනුව මෙම ගිවිසුමේ ඇති තිරුබදු නිදහස් කිරීම නිසා වසරකට රජයට අහිමි වන සාමාන්‍ය දළ ආදායම රුපියල් මිලියන 49 ක් පමණි. එසේම තීරුබදු නිදහස්කරණය වසර 12 -15 ක කාල සීමාවක් තුල සිදුවන බැවින් තීරුබදු එකවර ඉවත්වන ලෙස නොසැලකිය යුතු අතර ආදායම් ගිලිහීයාම වාර්ෂිකව ගණනය කලයුතුය. තවද මුදල් අමාත්‍යාංශ ගණනය කිරීමට අනුව කිරීමට අනුව 97.79% ක ආදායම් සුරක්ෂිත කොට ඇත.

ලාභදායී භාණ්ඩ දේශීය වෙළඳ පොල ආක්‍රමණය හරහා දේශීය නිෂ්පාදකයින්ට අහිතකර බලපෑම් ඇතිවේද?

මෙවැනි තත්ත්වයකට ඇති ඉඩකඩ මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද නව අණ පනත් (ප්‍රපාතන විරෝධී, ප්‍රතිතෝලන පනත හා ආරක්ෂණ පනත) නිසා වැලකී යයි. නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදෙන සහනාධාර මත පැනවිය හැකි ප්‍රපාතන විරෝධි හා ප්‍රතිගෝලන බදු, ගෝලීය හා ද්විපාර්ශවීය ආරක්ෂණ විධි  විධිවිධාන ක්‍රියාත්මක කිරිම සඳහා අදාල වන වෙළඳ පිළියම් මෙම ගිවිසුමට ඇතුලත් වේ. එම වෙළඳ පිළියම් වලට අදාල  අණපනත් 2018 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් සම්මත කරගත් බැවින් යම් හෙයකින් සිංගප්පූරුව එවැනි නීත්‍යානුකූල නොවන ආකාරයේ සහනාධාර ලබා දීම නිසා අදාල භාණ්ඩය අප රට තුල අනවශ්‍ය ආකාරයට ගොඩගැසීමක් සිදුවුවහොත් ඊට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකාවට දැන් හැකිය.එයට අමතරව, ගිවිසුම ක්‍රියාත්මක කරන කාලයේදී තීරුබදු අඩුකිරීම නිසා දේශීය කර්මාන්ත වලට බලපෑම් ඇති කරමින් සිංගප්පූරුවෙන් සිදුකරන ආනයන ඉහළ  ගියහොත් ද්විපාර්ශවිය ආරක්ෂණ ක්‍රියා විධි යොදා ගත හැක. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාවට නැංවීමේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවට මෙම ප්‍රතිපාදන යොදා එවැනි තත්ත්ව වැලැක්විය හැක.
 
මෙම ගිවිසුම හරහා කැලිකසළ, සායනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය රසායනික අපද්‍රව්‍ය වැනි විවිධ අපද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීමට ඉඩ සලසා ඇද්ද?
තීරුබදු නිදහස්කරණ වැඩසටහන යටතේ අපද්‍රව්‍යද  ඇතුලත් කර ඇති බැවින්, ඒවා ගිවිසුම හරහා මෙරට තුල ගොඩගැසීමට කටයුතු යොදා ඇති බවට මතවාද පවතී. තීරුබදු අඩුකළ පමණින්ම භාණ්ඩ මෙරටට ආනයනය කල නොහැකි බව අවධාරණය කලයුතුය. මෙරටට ආනයනය කරන සියලු භාණ්ඩ, අදාළ ආනයන බලපත්‍ර ලබා ගැනීමට, ප්‍රමිතීන් සපුරාලීමට හා මානව,සත්ව හා ශාක ආරක්ෂණය සඳහා අදාල වන රෙගුලාසි වලට යටත්ය. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව අත්සන් කර ඇති පාරිසරික ආරක්ෂා පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් මඟින් ඇති අයිතිවාසිකම් සහ දේශීය නීතිරීති හා යාන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිඳු නිදහස් කිරීමක් හෝ බලපෑමක් සිදු නොවේ. එමනිසා, අදාල නීතිරීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇත. ලෝක වෙළඳ සංවිධානයේ GATT ගිවිසුමේ 24 වන වගන්තිය වන පොදු ව්‍යාතිරේක (General exceptions) වගන්තිය යටතේ මානව, සත්ත්ව, ශාක සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත වන පරිදි ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතුය. මෙයට  අදාල ප්‍රතිපාදන  මෙම ගිවිසුමේ 17.1 වගන්තිය යටතේ අන්තර්ගත කොට මෙම අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු යොදා ඇත. එම නිසා අනාගතයේදී අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අදාල ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත.

ගිවිසුමෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට බලපෑමක් සිදුවේද?

වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇති අලි ඇතුන්, උරගයින් ආදී සතුන් සිංගප්පූරුවට අපනයනය කිරීමටත්, එවැනි සතුන් සිංගප්පූරුවෙන් මෙරටට ආනයනය කිරීමටත් හැකියාවක් ඇති බැවින් වන සත්ත්ව හා වෘක්ෂලතාදියට අහිතකර බලපෑමක් සිදුවිය හැකි බවට චෝදනා එල්ලවී ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳාමේදී වන ජීවි හා වෘක්ෂලතා සඳහා වන සම්මුතියට (CITES) සහ ජෛව විවිධත්වය සඳහා වන සම්මුතියේ පාර්ශවකරුවකු වන බව සඳහන් කළ යුතු අතර මෙම සම්මුතීන් හරහා හෝ වෙනත් අදාල සම්මුතීන් හරහා අයත් කොට ගෙන ඇති අපේ අයිතීන් කිසිසේත්ම සිංගප්පූරු ගිවිසුම මගින් අහෝසි නොවේ. ඉහත සඳහන් ආනයන බලපත්‍ර ලබා ගැනීම හා අදාල නම්කළ ආයතන වල අනුමැතිය ලබා ගැනීම යන කරුණු ඇතුළු අදාල සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ වලට මෙන්ම දේශීය නීති රෙගුලාසි වලටද යටත් වේ.     

එවැනි හානිදායක ද්‍රව්‍ය තීරුබදු නිදහස් ලැයිස්තුව යටතේ අන්තර්ගත කොට ඇත්තේ කුමක් නිසාද?

ජාතික වෙළඳ ගිවිසුමක් තුල 7,438ක් වූ සියලුම තීරුබදු රේඛා නිශේධ ලැයිස්තුව, වහාම නිදහස්කරණයට ලක්වන ලැයිස්තුව හෝ විශේෂිත කාලසීමාවක් තුල  නිදහස්කරණය වන ලැයිස්තුව යන කුමන හෝ ලැයිස්තුවක අන්තර්ගත කලයුතු  අතර කිසිඳු තීරුබදු රේඛාවක් ලැයිස්තුගත කිරීමෙන් මඟ හැරිය නොහැක.
මෙම භාණ්ඩ දේශීය නීතින්ට අනුගත නොවෙමින් කිසිලෙසකින්  ශ්‍රී ලංකාවට ආනයනය කල නොහැකි බැවින් ඒවා 80% නිදහස්කරණ ලැයිස්තුවට අන්තර් ගත කල අතර ඒ හරහා දේශීය වශයෙන් සංවේදී භාණ්ඩ වැඩි ප්‍රමාණයක් නිශේධ ලැයිස්තුව තුල රඳවා ගැනීමට හැකියාව ලැබුණි. තවද භාණ්ඩ නිදහස්කරණයට ලක් කල පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර මෙම භාණ්ඩ බොහොමයක් ඉන්දියාව හා පකිස්ථානය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් වලදීද නිදහස්කරණයට ලක්කර ඇති අතර එහිදී හානිදායක වන ලෙස මෙරටට එම භාණ්ඩ ආනයනය කල බවට කිසිදු සාක්ෂියක් නොමැත. එමනිසා මෙය සිංගප්පුරුවට පමණක් ලබාදුන්නක් නොවන අතර අදාල පාරිසරික නීති හා  ආනයන බලපත්‍ර ලබා ගත යුතු බැවින් මෙරටට ගිවිසුම හරහා ඇතුළුවීමට අවස්ථාවක් නොමැත.
වී ආනයනය අපගේ ආහාර සුරක්‍ෂිතතාව අනතුරට පත් වන ලෙස ගිවිසුම හරහා වසර 12 කට පසු නිදහස්කරණය කොට ඇත්තේ කුමක් නිසාද?
වී, ධාන්‍ය, සහ තිරිඟු වැනි භාණ්ඩ සඳහා "සම්පුර්ණයෙන්ම ලබාගත යුතු" ප්‍රභව රීතිය අදාල වේ.  "සම්පුර්ණයෙන්ම ලබාගත යුතු" ප්‍රභව රීතිය අදාල වන භාණ්ඩ අදාල රටෙහි එනම් සිංගප්පුරු භුමියෙන්ම ලබා ගැනීම සිදුකල යුතුය. එවැනි කෘෂිකාර්මික භාණ්ඩ නිදහස්කරණයට ලක් කලද අදාල ප්‍රභව රීතිය නිසා නිදහස්කරණ වරප්‍රසාදය ලබා ගැනීමට නම් එම භාණ්ඩ සිංගප්පූරු භුමියන්ම ලබා ගත යුතුය. සිංගප්පූරුවෙහි කුඹුරු නොමැති බැවින් අදාල තීරුබදු සහන ලබා ගැනීමේ හැකියාවක් සිංගප්පූරුවට නොමැත. කෙසේ වුවද සහල් පකිස්ථානය, වියට්නාමය හෝ තායිලන්තය හරහා ආනයනය කල හැකි බැවින් සහල් නිශේධ ලැයිස්තුවේ අන්තර්ගත කොට සුරක්ෂිත කර ඇත.

සේවා නිදහස්කරණය සඳහා මෙම ගිවිසුමේ ප්‍රතිපාදන අන්තර්ගත වේද?

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව යන දෙරටම ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම ව්‍යාපාරික අමුත්තන්ට හා සමාගම් අතර හුවමාරු වන්නට සීමා විය යුතුයැයි තීරණය කරන ලදී. එම නිසා ස්වාධීන පුද්ගල සංචරණය මෙම ගිවිසුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී. ( උදා:-  කොන්ත්‍රාත්තු ගත සේවා සපයන්නන් හා ස්වාධීන වෘත්තිකයන් ඉවත් කර ඇත). ඒ අනුව, සේවා වෙළඳාම පිළිබඳ ශ්‍රී ලංකාවේ බැදීම් පවත්නා නීති රාමුව තුළ දැනටමත් විවෘත කර ඇති මට්ටමට පමණක් සීමා වී ඇත. පවත්නා විනිමය පාලන නීති අනුව 1 වන මාදිලිය (සේවා දායකයා හෝ සේවා ලාභියාගේ දේශසීමා අතර සංචරණයකින් තොරව සිදුවන සේවා සැපයීම) හා 2 වන මාදිලිය (විදේශයන්හිදී සිදුවන සේවා පරිභෝජනය)  ප්‍රධාන වශයෙන් විවෘත වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ බැදීම් ලැයිස්තුගත කිරීමේදී ශ්‍රී ලංකාව මාදිලි 1ට හා 2ට අදාළව වෙළඳ ප්‍රවේශය සඳහා කිසිදු බාධාවක් ඇතුළත් කර නොමැත. එම නිසා එය පවත්නා නිස්සාරණ මට්ටම හා සැසදෙන අතර මෙයට අදාළව ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, නව වෙළඳ පිවිසුමක් ලබා නොදේ.

3 වන මාදිලියට (වාණිජමය වශයෙන් ස්ථානගත වීම හෝ ආයෝජනය) අදාළව ද, ගිවිසුමේ අන්තර්ගත කිසිදු බැදීමක් 2017 විදේශ විනිමය කළමනාකරණ පනත හරහා විවෘත කර ඇති මට්ටමෙන් ඔබ්බට ගොස් නොමැත. සත්‍ය වශයෙන්ම ඉදිකිරීම හා සේවා වැනි සමහර අවස්ථාවන්හිදී, දැනට පවත්නා රෙගුලාසි අනුව 100% ක්  විදේශ කොටස් හිමිකාරීත්වයට අවස්ථා සලසා ඇත. එහෙත් මෙම ගිවිසුම මගින් විදේශ කොටස් හිමිකාරිත්වය 40% කට සීමා කොට ඇත. එම නිසා ආයෝජන හරහා ලබා දී ඇති සේවාවන්ට අදාළව ද ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා නව නිදහස්කරණයක් සිදුකොට නොමැති අතර, වර්තමාන නීති රීති හරහා විවෘත කර ඇති මට්ටම පමණක් සිමා වී ඇත.

4 වන මාදිලියට අදාලව (පුද්ගලයන්ගේ සංචරණය), ව්‍යාපාරික අමුත්තන් හා සමාගම් අතර හුවමාරුවන්නන් සඳහා පමණක්ම ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ශ්‍රී ලංකාව සීමා සහිත බැදීම් ප්‍රමාණයක් ඇති කරගෙන තිබෙන අතර ස්වාධීන වෘත්තිකයන්ගේ සංචරනයට අවස්ථාව ලබා දී හෝ නිදහස් කරනය සිදුකොට නොමැත. මෙහිදී මූලික ප්‍රමුඛතාව වුයේ ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමය. සැලකිය යුතු විදේශ ආයෝජනයක් සිදුකරන ඕනෑම සමාගමක් එම ආයෝජනයෙන් ආපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගැනීම සහතික කිරීමට එහි ඉහල කළමනාකාරීත්වයෙන් කොටසක් පාර්ශවය ද ආයෝජනය සමඟ රැගෙන ඒමට කැමැත්තක් දක්වයි. ඒ අනුව තෝරා ගත් අංශ සඳහා සමාගම් අතර හුවමාරු වන ඉහළ කළමනාකාරීත්ව නිළධාරීන් සඳහා ශ්‍රී ලංකාව බැදීම් ඇති කර ගෙන තිබේ.

මෙම ඉහළ කළමනාකාරීත්ව කාණ්ඩය කළමනාකරුවන්, විධායකයන් හා විශේෂඥයින් ලෙස අර්ථකථනය කොට ඇති අතර සෑම කාණ්ඩයක් සඳහාම පැහැදිලි අර්ථකථයක් මෙම ගිවිසුමේ ලබා දී ඇත. උදාහරණයක් ලෙස විධායකයෙකු යනු සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු හෝ කොටස් හිමියන්ගේ පොදු ව්‍යුහයෙන් පමණක් අධීක්ෂණය වන සේවකයෙක් වේ.

එසේම, ආයෝජන හා බැදුණු  ඉහළ කළමනාකාරීත්වය යටතේ අර්ථගන්වා ඇති සමාගම් අතර හුවමාරුවන්නන්, සඳහා තොරතුරු තාක්ෂණ, මූල්‍ය සේවා, නාවික සේවා උප කාණ්ඩ (අලුත් වැඩියා කිරීම් හා කුලී සේවා) ඉදිකිරිම කර්මාන්තය (ශ්‍රී ලංකා සමාගමකට වැඩි හිමිකාරීත්වයක් ඇති), හෝටල් හා ආපනශාලා, සංචාරක නියෝජිතායතන (ශ්‍රී ලංකා සමාගමකට වැඩි හිමිකාරීත්වයක් ඇති) ප්‍රචාරණ සේවා, තාක්ෂණික පරීක්ෂා කිරීම් සේවා හා ක්‍රීඩා උත්සව සංවිධාන සේවාවන්ට අවස්ථාව ලබා දී ඇත.       

එවැනි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සමාගම් අතර හුවමාරු වීම සිදුවන්නේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ පවත්නා ආගමන නීති රීති වලට යටත්වය. තවද, ඔවුන්ට අවම වශයෙන් වසර 05 ක අදාල කර්මාන්ත ක්ෂේත්‍රයේ හෝ වෘත්තීය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබිය යුතුය. එවැනි පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුල ප්‍රථමයෙන් වසර 2 ක කාලයක් සේවය කළ හැකි අතර එම කාලය ආගමන පාලක වරයාගේ අනුමැතිය යටතේ වසර 05 ක උපරිමයක් දක්වා දීර්ඝ කල හැකිය. තවද, සමාගම් අතර හුවමාරු වන්නන් ඉහළ කළමනාකාරීත්ව තනතුරු වලට අනුයුක්ත කලයුතු අතර එම සමාගමේම සේවය කල යුතුය. වෙනත් සමාගමකට මාරුවීමට හෝ සේවය කිරීමට ඔවුන්ට නොහැකිය. දැනට පවතින්නාවූ නීති හා රෙගුලාසි වලට අනුව, ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් සඳහා අධ්‍යක්ෂවරුන්ට හා පුද්ගලික සමාගම් වලට, කුසලතා සහිත පුද්ගලයින් හිඟව පවතින අවස්ථා වලදී අදාල රේඛීය අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව විදේශ ශ්‍රමිකයන් වසර 02 ක කාලය සඳහා වීසා බලපත්‍ර ලබාගත හැක.

ජ්‍යෙෂ්ඨ කළමණාකරන කාණ්ඩය සඳහා දැඩි නිර්වචනයක් ලබාදී ඇති බැවින් සමාගම් අතර හුවමාරුවද, සිංගප්පූරු සමාගම් විසින් ශ්‍රී ලංකවේ ශාඛා කාර්‍යාල/ පරිපාලිත සමාගම් වෙත අනුයුක්ත කර ලැබිය හැක්කේ අතිශයින්ම අවශ්‍ය හා වඩා වැදගත් සේවකයන්ය. ශ්‍රී ලංකාව හා සිංගප්පූරු වැටුප් අතර සැලකිය යුතු පරතරයක් තිබෙන බැවින් සිංගප්පූරු සේවකයන් ශ්‍රී ලංකාවට පැමිණ  අඩු වැටුප් සහිත ශ්‍රී ලංකා රැකියා කිරීමේ සම්භාවිතයක් නොමැති තරම්ය.

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම මඟින් වෘත්තීය සේවා නිදහස් කර තිබේද?

කෙටියෙන්ම පිළිතුරු සපයන්නේ නම් එවැනි සේවා නිදහස් කිරීමක් සිදු කොට නැත. වෘත්තීය සේවා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බැඳීමක් පවතින්නේ පළමු හා දෙවන මාදිලි සඳහා පමණි සිංගප්පූරු ආයෝජන ලංකාවට ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන ලද තෝරාගත් වෘත්තීය සේවාවන්ගේ අනු  කාණ්ඩ සඳහා පමණි. මාදිලි 3 හා මාදිලි 4 යටතේ මෙම වෘත්තීය සේවා තවදුරටත් නිදහස් කිරීමක් සිදුකර නොමැති සේම සිංගප්පූරු වෘත්තිකයන් ශ්‍රී ලංකාවෙහි සේවයෙහි යෙදීම සම්බන්ධව කිසිදු ප්‍රතිපාදනයක් සිංගප්පූරු -ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම යටතේ සලසා නැත.

ශ්‍රී ලංකා නීතිය සම්බන්ධයෙන් හැර, නීති උපදේශන සේවා සඳහා මාදිලි 1 හා 2 යටතේ ශ්‍රී ලංකාව බැඳීමක් ඇති කොට ගෙන ඇති අතර සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරණයකින් තොරව සපයන සේවා පමණක් අදාල වන නිසා ශ්‍රී ලංකා නීතිය සම්බන්ධ කටයුතු වල යෙදවීමක් මෙහිදී සිදුනොවේ. මාදිලි 3 සහ මාදිලි 4 සඳහා ශ්‍රී ලංකාවේ බැඳීමක් නොමැත. එනම් කිසිඳු නිදහස් කිරීමක් හෝ බැඳියාවක් මාදිලි 3 හා 4 සම්බන්ධව සිංගප්පුරු ගිවිසුම යටතේ සිදු කොට නැත.

ඉංජිනේරු සේවා සඳහා ශ්‍රී ලංකාව බැඳීමක් ඇතිකරගෙන ඇත්තේ මාදිලි 1 (සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරනයකින් තොරව සපයන සේවා) හා 2 වන මාදිලියට (සේවා ලාභියාගේ සංචරණය මත පදනම්ව සපයන සේවා) යටතේ “අනුශාසකත්ව හා උපදේශන ඉංජිනේරු සේවා” උප කාණ්ඩය සඳහා පමණක් වන අතර ඉංජිනේරු ශිල්පයෙහි යෙදීම සඳහා ඉඩක් නොමැත. “අනුශාසකත්ව හා උපදේශන ඉංජිනේරු සේවා” සැපයිය හැක්කේද සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරණයකින් තොරවය. මාදිලි 3 (වාණිජ්‍ය පැමිණිම) හා 4 වන මාදිලිය (පුද්ගලයින්ගේ නිදහස් සංචරණය) සම්බන්ධව ශ්‍රී ලංකාව කිසිඳු බැඳීමක් ඇති කරගෙන නොමැත. එනම් කිසිදු නිදහස්කරණයක් “අනුශාසකත්ව හා උපදේශන ඉංජිනේරු සේවා” සඳහාද සිදුවී නොමැත.

වාස්තු විද්‍යාත්මක සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බැඳීම් ඇති කරගෙන ඇත්තේ “මුලික සැලසුම් උපදේශන හා උපදේශක” යන අනුකාණ්ඩය යටතේ 1 වන මාදිලිය හා 2 වන මාදිලිය යටතේ වන අතර, එයින් වාස්තු විද්‍යාත්මක ශිල්පයෙහි ශ්‍රී ලංකාව තුළ යෙදීමට ඉඩක් ලබාදී නොමැත. “මුලික සැලසුම් උපදේශන හා උපදේශක” සේවාද සැපයිය හැක්කේ සේවා දායකයාගේ හෝ සේවා සපයන්නාගේ සංචරනයකින් තොරව වන අතර මාදිලි 3 හා මාදිලි 4 සඳහා කිසිඳු බැඳීමක් ශ්‍රී ලංකාවට නොමැත. එනම් කිසිදු නිදහස් කරණයක් මුලික සැලසුම් උපදේශන හා උපදේශක සේවා සම්බන්ධයෙන්ද සිදු කර නැත.
 
නිදහස් වෙළඳ ගිවිසුමේ පවතින වාසිදායක තත්වය ප්‍රයෝජනයට ගනිමින් සිංගප්පූරු ජාතිකයන් නොවන වෙනත් පුද්ගලයින් හට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මඟින් අවස්ථාවක් සැලසේද?

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් ගිවිසුමෙහි “පුරවැසියා” යන්න සිංගප්පූරු පුරවැසිභාවය සහිත  හෝ සිංගප්පූරුවේ ස්ථිර පදිංචිකරුවා ලෙස අර්ථකනය කරනු ලබයි. 2017 වර්ෂය වන විට සිංගප්පූරුවෙහි මුළු ජනගහනය මිලියන 5.6 ක් වන අතර ස්ථිර පදිංචිකරුවන්ගේ ප්‍රමාණය මිලියන 0.53 ක් වේ. මෑතකාලීන වර්ෂවල වඩාත් තදබල අවශ්‍යතා සැපිරීම් වලට යටත් වීම හේතුකොටගෙන සිංගප්පූරුවෙහි  ස්ථිර පදිංචිය ලබාගැනීම දීර්ඝ හා දැඩි/දුෂ්කර ක්‍රියාවලියකි. නිදහස් වෙළඳ ගිවිසුම මඟින් මෙම සිංගප්පූරු පුරවැසිභාවය ලෙස ගැනෙන සමූහයට පමණක් එම වාසිය අත්වන අතර අනෙකුත් සියලු පුරවැසියන් වෙළඳ ගිවිසුමෙන් බැහැර කරනු ලබයි. සිංගප්පූරු වැටුප් ලබමින් සිටියද සිංගප්පූරුවෙහි ස්ථිර පදිංචිය ලබාගැනීමට අපහසු වූ යම් පුද්ගලයෙකු නිදහස් වෙළඳ ගිවිසුම අධාරකයක් / හස්තයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාවට ඇතුල් වී රැකියාවක් ලබාගැනීමට උත්සාහ කළද එය කෙසේවත් කළ නොහැකිය. සිංගප්පූරු පුරවැසියෙකුට සමාගම් අතර හුවමාරු වන්නෙකු ලෙස මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දී තිබුණ ද, ඔවුන්ට අවම වශයෙන් වසර 05 ක අදාල කර්මාන්ත ක්ෂේත්‍රයේ හෝ වෘත්තීය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබිය යුතුය. එසේම එවැනි පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුල ප්‍රථමයෙන් වසර 2 ක කාලයක් සේවය කළ හැකි අතර එම කාලය ආගමන පාලක වරයාගේ අනුමැතිය යටතේ වසර 05 ක උපරිමයක් දක්වා දීර්ඝ කල හැකිය. තවද, සමාගම් අතර හුවමාරු වන්නන් ඉහළ කළමනාකාරීත්ව තනතුරු වලට අනුයුක්ත කලයුතු අතර එම සමාගමේම සේවය කල යුතුය. වෙනත් සමාගමකට මාරුවීමට හෝ සේවය කිරීමට ඔවුන්ට නොහැකිය.

ලෝකයේ ඕනෑම තැනක සිටින කම්කරුවන් / සේවකයන් ඉවත් කිරීමට සිංගප්පූරු වෙළඳ ගිවිසුම මිනිස්බල හා බඳවා ගැනීමේ සේවා සමාගම් වලට බලය ලබාදෙනු ඇතිද?

“කාර්ය මණ්ඩල ස්ථානගත කිරීම හා සැපයීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යෝජනා මාදිලි 1,2 සහ 3 ට සීමාවේ. මින් අදහස් වන්නේ සිංගප්පූරු බඳවා ගැනීමේ සේවා සමාගමකට ශ්‍රී ලංකාවේ සමාගමක් ස්ථාපිත කළ හැකි බවයි. මේ වන විටද පවතින නීති හා රෙගුලාසි යටතේ එසේ කිරීමට හැකියාවක් ඇත.
මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ බැඳීමට කිසිදු ආකාරයකින් 4 වන මාදිලිය ඇතුලත් කර නැත - එය පූර්ණ වශයෙන් බැඳීමකින් තොරය.  4 වන මාදිලිය යටතේ වූ අනෙකුත් බැඳීම්වල මෙන් නොව මෙහිදී, එවැනි බඳවා ගැනීමේ සමාගම් හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන් සඳහා පවා මෙහි නිර්දේශයක් නොමැත. එබැවින් සිංගප්පූරු මිනිස්බල සමාගමකට ශ්‍රී ලංකාවේ,දැනට පවතින නීතිමය ව්‍යුහය තුල ඉඩ සලසා ඇති පරිදි, කාර්යාලයක් ස්ථාපිත කළ හැකි වුවත් 4 වන මාදිලිය සඳහා බැඳීමක් ඇති කොට ගෙන නොමැති බැවින් විදේශීය පිරිස්/ විදේශීය කාර්ය මණ්ඩල බඳවා ගත නොහැකිය. එවැනි ඕනෑම බඳවා ගැනීමේ සමාගමක්  විදේශිකයන්ගෙන් සේවා / වැඩ කුලියට ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් සංක්‍රමණ ක්‍රියාවලිය හරහා එය සිදුකල යුතු අතර, රේඛීය අමාත්‍යාංශ අනුමැතිය - දැනට පවතින (වත්මන්) නීති හා රෙගුලාසි අනුව සිදුකල යුතු අතර මේ සඳහා නිදහස් වෙළඳ ගිවිසුමෙන් කිසිඳු නව ලිහිල්කරණයක් ඇති කොට නැත.

ඇත්ත වශයෙන්ම කියතොත් ව්‍යාපාරික අමුත්තන් සහ අන්තර් සමාගම් අතර හුවමාරුවන්නන් සඳහා “කාර්යමණ්ඩල ස්ථානගත කිරීම හා සැපයීම” සම්බන්ධයෙන් සිංගප්පූරුව මාදිලි 1,2,3 සහ 4 ආවරණය කරමින් බැඳීම් ඇති කොට ගෙන තිබේ. ශ්‍රී ලංකාව 4 වන මාදිලිය සම්පූර්ණයෙන්ම බැඳීමෙන් තොරව තබා ඇති නිසා  ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ බැඳීම ශ්‍රී ලංකාවේ බැඳීම අභිබවා ගොස් ඇත. මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ බැඳීම එහි නිදහස්ව සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකීය සමාගමකට ලෝකයේ ඕනෑම තැනකින් සේවකයන් බඳවා ගත හැකිය යන්න අදහස් නොකරයි.