Language Switcher

V2025

e-ෂෝර්ට් නෝට් :1 2017 ආර්ථික වර්ධන වේගය - කෘෂිකර්මය නිසා අතරමග

2017 වසරේ තුන්වන කාර්තුවට අදාළ ආර්ථික වර්ධනය පිළිබඳ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාව අනුව මේ වසරේ තුන්වන කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.3%කි.

එහෙත් 2017 වසරට අදාලව රජය අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය වුයේ 5.5%- 6% අතර අගයක් වන අතර ඒ අනුව මේ මේ ලැබී තිබෙන්නේ රජය අපේක්ෂා කළ දත්තය නොවේය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවට අනුව මීට හේතු වී ඇත්තේ රටේ කෘෂි කර්මාන්ත අංශයේ සිදුව ඇති බිඳ වැටීමය. ඒ අනුව තෙවන කාර්තුවේ කෘෂි කර්මාන්ත අංශයේ වර්ධනය වාර්තා වී ඇත්තේ -1.5ක් ලෙසය.

අවම වශයෙන් කෘෂි කර්මාන්ත අංශයේ තත්ත්වය .5ක අගයක හෝ පවත්වා ගන්නට හැකි වූවා නම් නිශ්චිතවම අපේක්ෂිත ඉලක්කයට යාමට හැකියාව තිබිණ. එහෙත් දැන් සිදුව ඇත්තේ 2017 වසරේ ආර්ථික වර්ධන වේගය 4% හෝ 4.2% වැනි ආසන්න අගයක නැවතීමය.

කෘෂි අංශයේ මෙම පසුබෑමට හේතුව පසුගිය සාමය පුරා අඛණ්ඩව එල්ලවූ අයහපත් කාලගුණයේ බලපෑමය.

අයහපත් කාලගුණය මත කෘෂි කර්මාන්තය අර්බුදයට යැවුණු විට ආහාර නිෂ්පාදනය අඩුවීම අනිවාර්යයක්ය. අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පසුගිය සමයේ ඉහල ගියේද ඒ කාරණය නිසාය.

කෙසේ වුවත් රජය මීට පිළියම් යොදනු ලැබුවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සහන මිලක් ක්‍රමයක් හඳුන්වා දෙමින්ය. ඒ අනුව සහල්, සීනි, අල, ළුණු, ටින් මාළු, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ 8 සඳහා මෙම මිල සහනය හිමිවේ.

සතොස වැනි රාජ්‍ය ආයතන මෙන්ම තොග වෙළඳාමේ සහ සුපර් මාර්කට් ක්ෂේත්‍රයේ නියුතු පෞද්ගලික සමාගම් හරහාද මේ සහනය නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.එසේම පොල් ඇතුළු තවත් නිෂ්පාදන කිහිපයක් ආනයනය කිරීමේ විශේෂ අවසරයක්ද රජය මීට පෙර නිකුත් කෙරින.

ආහාර නිෂ්පාදනය ඇතුළු කෘෂි අංශයේ පසුබෑම ජනතාවට බරක් නොවීම සඳහා තාවකාලික පිලියමක් ලෙස එය සාර්ථක වුවත් එයා දීර්ඝකාලීන උපායක් නොවිය යුතුය.

ගංවතුර, නියඟය, අධික වර්ෂාව වැනි ස්වාභාවික ආපදා මුළුමනින්ම වලකාලිය නොහැකි බවට විවාදයක් නැත. එහෙත් දේශගුණික රටාවේ වෙනස්වීම් සැලකිල්ලට ගෙන ඊට අනුව කෘෂි කර්මාන්තය ප්‍රතිසංවිධානය කිරීමට අවධානය යොමුකළ යුතුව ඇත. මෝසම් රටා වෙනස්වී ඇත්නම් මෝසම ඉලක්කකර වගා කිරීම වෙනුවට විකල්ප සොයා බැලීම ඊට එක නිදසුනක් පමණය.

එහෙත් මේ සියල්ලට වඩා වැදගත් වන්නේ කෘෂි කර්මාන්තය මත රටේ ආර්ථික වර්ධන වේගය නැවතීමට ඉඩ නොතැබීමය. විශේෂයෙන්ම කර්මාන්ත මෙන්ම සේවා අංශයේ සීඝ්‍ර වර්ධනයක් අත්කර ගැනීමට අවධානය යොමු කිරීමය. එය 2017 වසරේ තුන්වන කාර්තුවට අදාළ ආර්ථික වර්ධනයට අදාළ දත්ත ඇසුරෙන් අප උගත් පාඩම බවට පත්කර ගත යුතුව ඇත.