Language Switcher

V2025

දෙද්දූව සංචාරක කලාපය රටටත් ජනතාවටත් ආර්ථික ශක්තියක් - ඇමති සාගල

දෙද්දූව සංචාරක කලාපය ඇති කිරීමෙන් රටට නවමු අත්දැකීමක් එක්වන බවත් ඒ හරහා දෙද්දූව අවට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ බවත් නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍යය සාගල රත්නායක ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රතාශ කරන ලද්දේ දෙද්දූව සංචාරක කලාපය ඉදිකිරීමට නියමිත භූමියේ මූලික සැකසුම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මේක අක්කර 1800ක ව්‍යාපෘතියක්. එයින් 60% ක ප්‍රමාණය ජලය , 40% ක ප්‍රමාණය ගොඩබිම වශයෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය දියත් කරන්නේ. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි අපි පරිසරය ආරක්ෂා කරගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකිරීම. ඒ වගේම තමයි සංචාරකයන්ට ඔවුන්ගේ නිවාඩුව ගත කරද්දී විවිධ ක්‍රියාකාරකම් සමඟ ඒකරාශි වෙමින් ඒ කාලය තුළ මේ සංචාරක කලාපය තුළ ගත කරන්නට හැකි වීම.

මේ අක්කර 1800 ක භූමි ප්‍රදේශය තුළ ජල ක්‍රීඩා කරන්න, වාණිජ්‍ය කටයුතු, රෙස්ටෝරන්ට්, හෝටල් ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව ඇති කරනවා.

ඒ විතරක් නෙවෙයි මේ කටයුතුවලට මේ ප්‍රදේශයේ ජනතාවටත් එකතු වෙන්න පුළුවන් වෙනවා.

මේ ව්‍යාපෘතිය නිසා ප්‍රදේශයේ ජනතාවට අතිරේක ආදායම් මාර්ග විවෘත වෙනවා. ඔවුන් දැනට සිදු කරන කර්මාන්තත් සංචරක ව්‍යාපාරය සමඟ ඒකරාශී කරගෙන කටයුතු කරන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.

මේ අලුත් කර්මාන්ත , අලුත් රැකියා අවස්ථා පවා මේ නිසා ඇති වෙනවා. මේ සංචාරක කලාපය නිසා හැමෝටම ආර්ථික වශයෙන් ශක්තිමත් තත්ත්වයක් ඇති වෙනවා. මේ ව්‍යාපෘතියේ දී අපි පරිසර අධ්‍යයනයක් විතරක් නෙවෙයි ජලය සම්බන්ධ අධ්‍යයනයකුත් කරලා තමයි වැඩ කටයුතු ආරම්භ කරන්නේ.

ඒ නිසා තමයි ඉඩඩම් අත්පත්කර ගැනීමේ කටයුතු අවසන් කරලා වත් මාස කීපයක කාලයක් ඒ අධ්‍යයන සඳහා වෙන් කරලා මාර්තු මාසයේ දී මේකට හොඳම හොඳම වටිනාකම ගෙනැල්ලා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න සැලසුම් කර තිබෙන්නෙ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක , දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.