Language Switcher

V2025

e ෂෝර්ට් නෝට් 3: ඇමරිකානු GSP අහිමිවීම ඇඟලුම් කර්මාන්තයට ගැටළුවක් නොවේ

ඇමරිකානු GSP සහනය අහිමිවීම මෙරට ඇඟලුම් කර්මාන්තයට ගැටළුවක් නොවන බව වෙළඳපොල ආරංචිමාර්ග අවධාරණය කරයි.

ඒ ඇමරිකානු වෙළඳපොල වෙත මෙරටින් අපනයනය කරන ප්‍රධාන භාණ්ඩය ඇඟලුම් වුවත් එම සහනය ඇඟලුම් සඳහා කොහොමටත් නොතිබූ නිසාය.

ඒ අනුව ඇමරිකානු GSP සහනය ලැබීමට අදාලව මෙරට අපනයන අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී භාවිතා කෙරෙන අමුද්‍රව්‍ය, තෝරාගත් කෘෂිකාර්මික සහ මත්ස්‍ය නිෂ්පාදන, සහ තෝරාගත් රසායනික ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය හා කිරිගරුඬ පාෂාණ සහ බුමුතුරුණු වැනි භාණ්ඩ වන අතර සහනය අහිමිවීම හේතුවෙන් මෙම අපනයන සඳහා යම් බලපෑමක් ඇතිවිය හැකි බවද වෙළඳපොල ආරංචිමාර්ග පෙන්වා දෙයි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙරට සමස්ථ අපනයනයෙන් 27.5 % කට අධික ප්‍රමාණයක් ඇමරිකාව වෙත අපනයනය කරන අතර 2017 වසරේ පළමු මාස 10 තුළ පමණක් එක්සත් ජනපදයට සිදුකළ අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 2.4 ක් පමණ වෙයි. එසේම 2016 වසරේ දී ඇමරිකාවට සිදුකල අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක පමණ අගයක් ගෙන ඇත. 2016 වසරේ මෙරට සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10.3 ක් පමණ වූ අතර ඒ පසුබිම අනුව ඇමරිකානු වෙළඳපොල මෙරට අපනයන වෙළඳපොළට තීරණාත්මක වැදගත් කමක් ඇති බව ප්‍රතික්ෂේප කල නොහැකිය.

ඇමරිකානු GSP සහනය 1974 ඇමරිකා එක්සත් ජනපද වෙළඳ පනත හරහා බලාත්මක්ක කෙරුණක් වන අතර එය ක්‍රියාත්මක කෙරුණේ 1976 ජනවාරි 01 වනදා සිටය. එහි අපේක්ෂාව වුයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහය දැක්වීමය.

මෙම බදු සහන ක්‍රමය කාලාන්තරව කල් ඉකුත් වන අතර එය ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසින් එය යළි බලාත්මක කළ යුතුව ඇත. ඒ අනුව 2015 වසරේදී කරනු ලැබූ බලාත්මක කිරීම (එච්.ආර්. 1295) 2017 දෙසැම්බර් මස 31 වැනිදා කල් ඉකුත් වේ. නමුත් මේ වන විට මතුව ඇති ගැටලුව වන්නේ 2017 වසර සඳහා කොංග්‍රස් මණ්ඩලය කල් තැබීමට පෙර එය බලාත්මක නොකිරීමය.

එසේම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙන් GSP සහනය බලාත්මක කිරීම පමාවූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද එවැනි තත්වයන් මතුව ඇති අතර GSP සහනය නැවත බලාත්මක කල පසුව පමා වූ කාලය තුළ අපනයනය කරනු ලැබූ අදාල භාණ්ඩ වෙනුවෙන් අය කළ තීරුබදු, ආනයනකරුවන්ට නැවත ගෙවීම සඳහා අතීතයට බලපාන ආකාරයේ ප්‍රතිපාදනයක් GSP සහන වැඩසටහනේ ඇතුළත්ය.

ඒ අනුව ඇමරිකානු GSP සහන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන භාණ්ඩ 2018 ජනවාරි 01 වැනිදා සිට වරණීය නොවන තීරු බදුවලට යටත් වීමට නියමිත නමුත් අදාළ සහනය යලි ලබාදීමට එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය කටයුතු කළහොත් පමාවූ කාලයට අදාළ තීරුබදු නැවත ලැබීමේ අවස්ථාවද අපනයනකරුවන්ට ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට එයට ප‍්‍රතිචාර දැක්වීමට අදාළ පාර්ශ්වයට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.