Language Switcher

V2025

2021 රාජ්‍ය ආදායම : දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% කට වඩා වැඩිකරන්න මංගල වැඩ

2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2018 ඔක්තෝබර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, පාර්ලිමේන්තුව වාර අවසාන කරන ලද බැවින්, එකී පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි විය.

ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව නව විසර්ජන පනත් කෙටුම්පත නැවත ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක් 2019 වර්ෂයේ මුල් මාස 4 ක කාලසීමාව වෙනුවෙන් වන රජයේ වියදම් ආවරණය කරගැනීම පිණිස අතුරු සම්මත ගිණුමකත් 2018 දෙසැම්බර් 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එදිනම එය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

ඒ අනුව අතුරු සම්මත ගිණුම මගින් ආවරණය කරනු ලබන 2019 වර්ෂයේ මුල් මාස 04 සඳහා වන වියදම්ද ඇතුළත් කරමින්, 2019 වර්ෂය සඳහා නව විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුවේ.

ඒ අනුව, 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය, දැනට සිදු කෙරෙමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් සහ 2021 වර්ෂය වන විට අත්පත් කරගැනීමට සැලසුම් කර ඇති පහත සඳහන් මධ්‍යකාලීන රාජ්‍ය ඉලක්ක සාක්ෂාත් කරගත හැකි වන පරිදි පිළියෙල කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.

1. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% කට වඩා වැඩි කිරීම.
2. රජයේ ප්‍රනරාවර්තන වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක ප්‍රතිශතයකට සීමා කිරීම.
3. රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5% ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම.
4. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට සීමා කිරීම.
5. නොපියවූ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම.