Language Switcher

V2025

සිංහල අවුරුද්දට මිනිස්සු කන්නෙ බැඳුම්කර වාර්තාවද ?: පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරය

පොහොර නොමැතිවීම නිසා මෙම කන්නයේ අස්වැන්න අඩුවන තත්ත්වයක් මතුව ඇති බැවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළයාම නැවැත්විය නොහැකිවන අවධානමක් මතුව ඇති බවත් ඒ පසුබිමේ එළඹෙන සිංහල හින්දු අවුරැද්දට ජනතාවට කන්න සිදුවන්නේ බැදුම්කර වාර්තාවද යන්න රජයෙන් ඇසීමට සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රශ්නකර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වාර්තාව හිඟන්නාගේ තුවාලයක් බවට පත්කර ගන්නේ නැතිව එය ප්‍රසිද්ධ කර කඩිනමින් චූදිතයන් නීතිය හමුවට පැමිණවීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතු බවය.

එසේම ජනාධිපති ලේකම්වරයා පවසා ඇති ආකාරයට එළඹෙන 17 වනදා බැඳුම්කර වාර්තාවෙන් කොටස් 26 ක් පමණක් පාර්ලි‌‌මේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් ටෙලි නාට්‍යයක් නරඔනසේ බැදුම්කර කොමිෂන් සභා වාර්තාව බලා ගැනීමට ජනතාවට සිදුවනු ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එහෙයින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යමින් සහ ගොවියාට තම ගොවිතැන කර ගැනීමට පොහොර නැති පසුබිමේ බැඳුම්කරය රටේ ප්‍රධාන ප්‍රශ්නය කර නොගතයුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.