Language Switcher

V2025

රුපියල් මිලියන 60,000 ක මූල්‍යාධාර සමඟ “ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා” මාර්තුවේ ඇරඹේ

රැකියා දස ලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි කිරීම වෙනුවෙන් 2018 අයවැය හරහා යෝජනා කළ “ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා” වැඩසටහන එළඹෙන මාර්තු මාසයේ ආරම්භ කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

සහන ණය යෝජනා ක්‍රම 15ක්

මෙහිදී විශේෂයෙන් තරුණ හා කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ඔවුන්ගේ ව්‍යවසාය ආරම්භ කිරීම වෙනුවෙන් ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදීමට නියමිතව ඇත.

මේ පිළිබඳ මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් හා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පසුගිය 10 වනදා මහා භාණ්ඩාගාරයේදී පවත්වා ඇත.

සියළු බැංකු ප්‍රධානීන්ගේ සහය ස්ථීරයි

එහිදී අපනයනය ඉලක්ක කරගෙන ආර්ථිකය පුළුල් කිරීම තුළින් නව රැකියා බිහිකිරීමේ රජයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු බැංකුවල සහාය අපේක්ෂා කරන බව අමාත්‍ය මංගල සමරවීර දැනුම්දී ඇති අතර ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන්ද එකඟතාව පළකර ඇත.

ව්‍යාපාර ඇරඹීමට 75% ක මුදලක් සහන පොළීයට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වන අතර මෙම ව්‍යසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යාපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යාපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබාදෙන බවද එහි සඳහන්ව ඇත.

පොළියෙන් කොටසක් රජය දරණවා

මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එකී පොලිය ගෙවීම සඳහා රු. මිලියන 5,000 ක් භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇති බවද එහි සඳහන්ව ඇත.

සාර්ථක ව්‍යාපෘති සඳහා ඇප අනවශ්‍යයි

එසේම ස්වයං රැකියා ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශය පුළුල් කිරීම සඳහා ක්ෂේත්‍රයට පිවිසීමේදී ප්‍රාග්ධන පිරිවැය හා ණය ලබාගැනීම සඳහා ඇප තැබීමට නොහැකි වීම හේතුවෙන් බැංකු මගින් ණය ප්‍රතික්ෂේප වීමට මින් මතුවට රජය ඉඩ නොතබන බව ද එම සාකච්ඡාවේදී අමාත්‍ය මංගල සමරවීර බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

තවද ව්‍යාපාරිකයන්ගෙන් බැංකු අපේක්ෂා කරන ඇප රජය විසින් ලබාදීමට කටයුතු යොදා ඇති බැවින් මින් මතුවට ව්‍යාපෘති යෝජනාවේ ශක්‍යතාවය පමණක් සැලකිල්ලට ගෙන සහන පොලී පදනම මත ණය ලබා දීමට හැකිවන පරිදි රජය විසින් ණයකරුවන් වෙනුවෙන් ඇපකරයක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ.

කාන්තාවන්ට වැඩි සහන

ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වයද ලබාගැනීමේ අරමුණින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනට එක්වන කාන්තාවන්ට ණය ලබාදීමේදී 75% ක පොලී සහනයට අමතරව තවත් 10% ක අතිරික්ත පොලී සහනයක්ද, විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන්හට 15% ක අතිරික්ත පොලී සහනයක්ද රජය විසින් භාණ්ඩාගාර ඇපකර සමගින් ලබාදීමට තීරණය කර තිබේ.

එසේම කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි, අවම වශයෙන් කොටස්කරුවන් 10 දෙනෙකුගෙන් සමන්විතව එක් කොටස්කරුවෙකුගෙන් රු. 10,000 ක අවම ප්‍රාග්ධනය සමඟ ආරම්භ කරනු ලබන සමාගම් වලට මූල්‍ය නොවන තාක්ෂණික පහසුකම්ද රජය විසින් ලබාදෙනු ඇත.

තවද එවන් සමාගම්වලින් කල්බදු ක්‍රමයට ලබාගනු ලබන යන්ත්‍ර සූත්‍රවල කල්බදු පිරිවැයෙන් 75% ක් රජය විසින් දරනු ලබන බවත් ඒ සඳහා අවශ්‍ය ඇපකරයද භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත නිකුත් කරනු ලබන බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

View the embedded image gallery online at:
http://newstube.lk/economy/621-60-000#sigProId389dc255ca