Language Switcher

V2025

කන්කසන්තුරේ වාණිජ වරායක් කරන්න ඉන්දියාවෙන් මිලියන් 45.27 ක ආධාර

ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක වියදමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ඉදිරිපත් වී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ඉන්දියාවේ අපනයන - ආනයන බැංකුව වන එක්සිම් බැංකුව මඟින් ලැබෙන අතර භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ඉන්දියාවේ එක්සිම් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක ඬේවිඞ් රස්කිංහ සමඟ පසුගියදා නවදිල්ලියේදී ගිවිසුමට අත්සන් කර ඇත.

එසේම කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම මඟින් ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ වෙළඳාම දිරිමත් කිරීම මඟින් ආර්ථික කටයුතු සඳහා දිරිගැන්වීමක් ලැබෙන අතර ඉන්දියාවේ නැගෙනහිර සියලූ‍ වරායන් මෙන්ම මියන්මාරය හා බංගලාදේශය සඳහා ද ආසන්නම වරාය ලෙස මෙම වරාය පිහිටා තිබීම හේතුවෙන් නුදුරු අනාගතයේදී කලාපිය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රටේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වීමක් මේ හරහා සිදුවෙයි.

දියකඩනය නැවත සැකසීම හා වාණිජ භාණ්ඩ හැසිරවීම සඳහා නව ජැටියක් ඉදිකිරිම, වරායට අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් ස්ථාපනය කිරීම ආදිය ඉන්දියාවේ මෙම ණය පහසුකම යටතේ සිදු කෙරේ.

ඒ අනුව ඇමරිකන් ඩොලර් මිලියන 45.27 ක නව ණය ආධාර මඟින් වරායේ දියකඩනය ප‍්‍රතිසංස්කරණය කිරීම හා පවතින ජැටිය පිළිසකර කිරීම ආදී වූ ඉතුරු අදියරයන් ද්විත්වයෙහි වැඩකටයුතු සඳහා යොදාගැනීමට නියමිතව ඇත.

ඉන්දියානු රජය 1973 සිට වසර 40කට අධික කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සංවර්ධන හවුල්කරුවා වෙයි. පසුගිය වසර කිහිපය තුළ ඉන්දියානු ඍජු විදේශ ආයෝජන සීග‍්‍රයෙන් ව්‍යාප්ත වී තිබේ. වර්තමානයේදී ඉන්දියානු සංවර්ධන ආධාර ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ආර්ථික යටිතල පහසුකම් දියුණු කිරීම, ජිවනෝපාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ධාරිතාව ගොඩනැංවීම හා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අලූ‍ත් කිරීම ආදී ක්‍ෂේත‍්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් දෙරටේම රජයන් විසින් 2017 ජුනි මාසයේදී ශ‍්‍රී ලංකාවේ දුම්රිය ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා ඇ.ඩො. මිලියන 318 ක නව ණය මාර්ගයක් සඳහා අත්සන් තබන ලදී.