Language Switcher

V2025

ගෙදර බේක් කළ කේක් එක හෙවත් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම රාජ්‍යතාන්ත්‍රිකයා: ලක්ෂ්මන් කදිරගාමර්

"ආසියාවේ රිදී සීනුව" වශයෙන් විරුදාවලි ලැබූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක යනු විශිෂ්ට ගණයේ කථිකයෙකි. ඔහු දක්ෂ කථිකයකු වශයෙන් ඉදිරියට පැමිණියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේය. ඔක්ස්ෆර්ඩ් සංගමයේ (Oxford Union) භාණ්ඩාගාරික සහ ලේකම් ධූර 1922-23 කාලයේ දී ඔහු දැරීය. ඒ වකවානුවේ බණ්ඩාරනායකයන් ඔක්ස්ෆර්ඩ් සංගමයේදී පැවැති විවාදයන් හි විශිෂ්ට දායකත්වයක් දැක්වීය. විශ්වවිද්‍යාල කාලයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ කථිකයන් පසු කලෙක නැවත ඔක්ස්ෆර්ඩ් සංගමයේ විවාදයන්ට ආරාධිතයන් වශයෙන් සම්බන්ධවීම එහි සම්ප්‍රදායකි. එහෙත් බණ්ඩාරනායකයන් යළි ඔක්ස්ෆර්ඩ් සංගමයේ විවාදයන්ට සම්බන්ධවීමට පැමිණියේ නැත. ඔහු 1956 දී අගමැතිධූරයට පත්වීමෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරු කිහිපවිටක් එහි විවාදයන්ට සහභාගි වන ලෙසට ආරාධනා කළහ. එහෙත් අගමැති බණ්ඩාරනායක එම ආරාධනාවන්ට ප්‍රතිචාර  දැක්වූයේ නැත. එහෙත් එකවරම 1959 සැප්තැම්බර් මාසයේ ප්‍රතිචාරයක් දැක්වූ අගමැති බණ්ඩාරනායක ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ බ්‍රහස්පතින්දා තමන් විවාදයකට සහභාගීවීමට කැමැත්තෙන් සිටින බව ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයාට දන්වා යැවීය. එහෙත් ඒ වන විටත් එදිනට  අයර්ලන්ත ප්‍රශ්න ගැන විවාදයක් සඳහා අයර්ලන්ත අගමැති Sean Lemass ට ආරාධනා කර තිබිණ. 
 
මේ පිළිබඳ උපදෙසක් ලබා ගැනීම සඳහා සභාපතිවරයා ලක්ෂ්මන් කදිරගාමර් ඇමතීය. ලක්ෂ්මන් කදිරගාමර් ඔක්ස්ෆර්ඩ් සංගමයේ හිටපු සභාපතිවරයෙකි. ඔහුගේ උපදේශය වූයේ අයර්ලන්ත අගමැතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී තත්ත්වය පැහැදිලි කර දී ඔහුටම තීරණයක් ලබා ගැනීමට ඉඩ දෙන ලෙසය. " සිලෝන් හි අගමැතිවරයා සැතපුම් දහස් ගණනක් සිට මෙහි එනවා. මම ඉන්නේ අල්ලපු වැටේ. ඒ නිසා විවාදය ඔහුට දෙන්න" යන්න අයර්ලන්ත අගමැතිවරයාගේ ප්‍රතිචාරය විය. ඒ අනුව අගමැති බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් විවාදය පැවැත්වීමට කටයුතු සූදානම් විය. "සංවර්ධනය වෙමින් පවති රටවලට ප්‍රජාතන්ත්‍රවාදය නොසුදුසුය" යන්න විවාදයේ මාතෘකාව විය. එහෙත් විවාදයට සතියකට පමණ පෙර එනම් සැප්තැම්බර් 26 වන දා  අගමැති බණ්ඩාරනායක ඝාතනය කරනු ලැබීය. ඔක්ස්ෆර්ඩ් සංගමය යෝජිත විවාදය අවලංගු නොකළේය. අගමැති බණ්ඩාරනායක වෙනුවෙන් විවාදයට සහභාගීවීමට ඔක්ස්ෆර්ඩ් සංගමයේ හිටපු සභාපති ලක්ෂ්මන් කදිරගාමර්ට ආරාධනා කරනු ලැබීය.  විවාදයේදී ඔහු මාතෘකාවට එරෙහිව කරුණු ඉදිරිපත් කරමින් කථා කළේය. 
ගෙදර බේක් කළ කේක් එක...
---------------------------------------
වසර 2005 මාර්තු 18 වන දා ඔක්ස්ෆර්ඩ් සංගමයේ "මැක්මිලන්" ශාලාවේ ලක්ෂ්මන් කදිරගාමර්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් විවෘත කළ අවස්ථාවේදී ඔහු මෙම ඵෙතිහාසික සිද්ධිය හෙළි කළේය. එදා අගමැති බණ්ඩාරනායක වෙනුවෙන් තමා කළ කථාව තම ජීවිතයේ සිදු කළ විශිෂ්ටතම කථාව බව ලක්ෂ්මන් කදිරගාමර් කියාසිටියේය. එදින ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය සමඟ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුන් වන බ්‍රිතාන්‍ය අගමැතිවරුන් වූ William Gladstone, Herbert Asquith, Lord Salisbury, Harold Macmillan ගේ ආලේඛ්‍ය චිත්‍ර ද එදින විවෘත කිරීමට යෙදුනි. මෙවැනි ආලේඛ්‍ය චිත්‍රයක් එහි නිරාවරණය කිරීම විශාල පෞද්ගලික ගෞරවයකි. ලක්ෂ්මන් කදිරගාමර් නැමැති නිරහංකාර මිනිසා ඒ ගෞරවය සෑම ශ්‍රී ලංකිකයෙකු සමඟ බෙදා ගත්තේය. "මේ ගෞරවය මම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ බෙදාගන්න කැමැතියි. මම අධ්‍යාපන ලැබුවේ එහේ. මගේ පළමු විශ්ව විද්‍යාලය එහේ. නීති විද්‍යාලයට ගියේ එහේ. මම ඔක්ස්ෆර්ඩ් එනවිට මම පශ්චාත් උපාධි ශිෂ්‍යයෙක්. මම ඒ වන විට පරිණත පුද්ගලයෙක්. ඔක්ස්ෆර්ඩ් කියන්නේ කේක් එකට දාපු අයිසිං ටික, එහෙත් කේක් එක බේක් කළේ ගෙදර".
 
ලක්ෂ්මන් කදිරගාමර් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ එනම් 1958 දී ෆෙඩරල් පක්ෂයේ නායක S.J.V චෙල්වනායගම් ඔහුව ලන්ඩන් නුවර දී හමුවී සාකච්ඡා කළේය. එහි දී  චෙල්වනායගම් ඔහුට ෆෙඩරල් පක්ෂයට බැඳී පක්ෂයේ නියෝජ්‍ය නායකධූරය භාර ගන්නා ලෙසට ආරාධනා කළේය. ඒ පිළිබඳව ලක්ෂ්මන් කදිරගාමර් යාපනයේ ජීවත්වූ  සිය ඥාති සොහොයුරන්ගෙන් උපදෙස් පැතීය. කොළඹ පදිංචි දෙමළ භාෂාව කථා නොකරන ලක්ෂ්මන්ට උතුරේ දෙමළ ජනතාව සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම ඉතා දුෂ්කර බව ඔවුහු පෙන්වාදුන්හ. ඒ අදහස පිලිගත් ලක්ෂ්මන් කදිරගාමර් ෆෙඩරල් පක්ෂ නායකයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 
 
"දෙමළෙකු ලන්ඩන් යවන්නේ ඇයි?" 
---------------------------------------
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය  නිමා කළ ඔහු 1960 දශකය ආරම්භයේ දී සිය රට පැමිණියේය. ඔහු සිය පියාගේ සම්ප්‍රදාය වන නීති වෘත්තියට පිවිසියේ දේශපාලනයට එක්වන ලෙසට ෆෙඩරල් පක්ෂයෙන් සහ ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප  කරමින්ය. එහෙත් ඔහු S.J.V චෙල්වනායගම්, G.G පොන්නම්බලම්, T. තිරුචෙල්වම් වැනි ද්‍රවිඩ නායකයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්විය. කදිරගාමර් පවුලට එජාපය සමඟ සමීප සම්බන්ධතා විය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා, නීතිඥ සෑම් කදිරගාමර් ඩඩ්ලි සේනානායකගේ සමීප හිතවතකු විය. 1965 මහමැතිවරණයේදී එජාපයේ ප්‍රධාන ඡන්ද පොළ නියෝජිතයා වූයේ සෑම්ය. ඩඩ්ලි ඔහුට එවකට සෝවියට් සංගමයේ තනාපතිධූරය පිරිනැමූ නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. 1970 මැතිවරණයෙන් එජාපය ජය ගත්තේ නම් සෑම් කදිරගාමර් අධිකරණ ඇමතිවනු ඇති බවට රාවයක් කොළඹ  දේශපාලන ක්ෂේත්‍රයන්හි පැතිර ගොස් තිබිණ.
 
යාපනය සමඟ සම්බන්ධතා පැවතිය ද කදිරගාමර් පවුලේ පදනම කොළඹ විය. කොළඹ දෙමළ කතෝලිකයන් වූ බැවින් ඔවුන්ගේ මුල් බස ඉංග්‍රීසිය විය. 1956 දී ඇති වූ සමාජ, දේශපාලන පෙරළියත් සමඟ ඔවුන්ගේ පැවැත්ම දුෂ්කර විය. දෙමළ ජාතිකත්වයට ඉංග්‍රීසි භාෂා බාධකය ද එක් විය. ලක්ෂ්මන් කදිරගාමර්ගේ වැඩිමහල් සොහොයුරකු වන ලංකා හමුදාවේ මේජර්වරයෙක් වූ සෙල්වනාදන් කදිරගාමර් 1957 දී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙක් (ආරක්ෂක කටයුතු) වශයෙන් තෝරා ගනු ලැබීය. ඔහු හමුදාවේ ලාබාලම මේජර්වරයා වශයෙන් ප්‍රකටය. ඔහුගේ දක්ෂතා හේතුවෙන් හිමිවූ මෙම තනතුර සඳහා ලන්ඩන් බලායෑමට සියල්ල සූදානම් කර තිබියදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගෙන් එල්ල වූ දැඩි බලපෑම හේතුවෙන් සෙල්වනාදන් කදිරගාමර්ට එම තනතුර අහිමිවිය. "දෙමළෙකු ලන්ඩන් යවන්නේ ඇයි?" කියමින් ඔවුහු බණ්ඩාරනායක රජයට විරෝධය දැක්වුහ. ලක්ෂ්මන් කදිරගාමර්ගේ වැඩිමහල් සොහොයුරකු වන නාවික හමුදාවේ රියාර් අද්මිරාල් රාජන් කදිරගාමර් 1960 දී නාවික හමුදාපති ධූරයට පත්විය. ඔහුගේ වාසනාවට ඔහුට සම කළ හැකි සේවා පලපුරුද්දක් සහිත සිංහල බෞද්ධයකු නාවික හමුදාවේ නොවීය. ඔහු වසර 10 ක් නාවික හමුදාපති ධූරය දැරුවේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩිම කලක් නාවික හමුදාපතිධූරය දැරූ පුද්ගලයා රාජන් කදිරගාමර් ය.
 
පත්තරකාරයෙක් ලෙස වියට්නාමයට ඇතුළු වෙයි..
---------------------------------------
1960 සිය රට පැමිණ ලක්ෂ්මන් කදිරගාමර් නීතිවේදියකු වශයෙන් කටයුතු ආරම්භ කළේය. තිස්එක් හැවිරිදි තරුණයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් 1963 දී දකුණු වියට්නාමය බලා පිටත්ව ගියේ ඒ වකවානුවේ අලුතින් ආරම්භ වූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙනුවෙන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහාය. එය ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක් රටක් කේන්ද්‍ර කරගනිමින් ඉදිරිපත් කළ පළමු  වාර්තාවයි. දකුණු වියට්නාමයට ඇතුළු වීම සඳහා ඔහු එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්)  නිකුත් කළ ලිපියක් භාවිතා කළේය. එහි සඳහන් වූයේ ඔහු එම ආයතනයේ "විශේෂ වාර්තාකරුවෙක්" බවයි. තරුණ නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් දකුණු වියට්නාමයේ සමාජ හරස්කඩක් නියෝජනය වන අන්දමින් සියලු ජන කණ්ඩායම් මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් විමසීය. දකුණු වියට්නාමයේ ජනතාව සිය නිදහස සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කරන සටන ඔහු  ඉහළින් අගය කළේය. ඔහු  ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙනුවෙන් ඉදිරිපත් එම වාර්තාව අදටත් වියට්නාම්  අරගලය පිළිබඳ පර්යේෂණ කරන පර්යේෂකයන්ගේ අවධානයට යොමුවන මූලාශ්‍රයකි. 
 
ලක්ෂ්මන් කදිරගාමර්ගේ සමාජ, දේශපාලන සහ ආර්ථික අර්ථ දැක්වීමේ පදනම වුයේ පුද්ගල නිදහස සහ අයිතිවාසිකම්ය. තරුණ වියේ සිට ඔහු ඒ වෙනුවෙන් සටන් කළේය. ඔහු ජාතිය, ආගම, කුලය ඇතුළු සාධක අනුව බෙදා වෙන් කිරීම පිලිකුල් කළේය. කුඩා කල සිට ඔහුට  විවිධ ජාතීන්, ආගම් අදහන මිතුරන් විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දී මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීත් ඔහුට මෙම විවිධත්වය උරුම විය. ඔහු කිසිවිටෙක ආගම හෝ ජාතිය මුල් කරගත් අන්‍යතාවයක් මතු කිරීමට උත්සාහ ගත්තේ නැත. ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති වී නම ප්‍රචලිත වන විට පවා ඔහු ලාංකිකයෙක් වශයෙන් ආඩම්බරයෙන් පෙනී සිටියේය. 
 
ජාත්‍යන්තර රාජකාරිය අරඹයි; ගෝලීය පුරවැසියෙකු බවට පත්වෙයි.. 
---------------------------------------
එහෙත් සිය රටතුළ දී ඔහුට ලැබුනේ දෙවන පංතියේ පුරවැසියෙකුගේ සැලකිලිය. නව භාෂා ප්‍රතිපත්ති හේතුවෙන් ඔහුට සිය නීති වෘත්තීයෙහි නියැලීම ක්‍රමක්‍රමයෙන් දුෂ්කර විය. 1971 කැරැල්ලෙන් පසුව ඇතිවූ තත්ත්වය සමඟ ඔහු විදේශගතව රැකියාවක නිරතවීමට තීරණය කළේය. ඒ අනුව ඔහු නැවත සිය පවුල සමඟ  බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නගරයට පදිංචියට ගියේය. වසර තුනක් පමණ බ්‍රිතාන්‍යයේ නීතිඥයකු වශයෙන් කටයුතු කළ ඔහු 1974 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ට එක්විය. ලක්ෂ්මන් කදිරගාමර් සිය පවුල සමඟ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පදිංචියට ගියේය. ඔහු ILO හි උපදේශකයකු වශයෙන් සේවය කළේය. 1976 දී ඔහු එක්සත් ජාතීන්ට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපොල සංවිධානය (WIPO) ට එක්විය. 1983 දී ඔහු එහි අලුතින් නිර්මාණය කළ ආසියා සහ පැසිපික් අංශයේ පළමු  අධ්‍යක්ෂවරයා වශයෙන් වැඩභාරගත්තේය. 
 
ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකයකු වශයෙන් මෙන්ම නීති පර්යේෂකයකු වශයෙන් ලක්ෂ්මන් කදිරගාමර්ගේ ස්වර්ණමය යුගය සටහන් වන්නේ මෙම වකවානුවේය. බුද්ධිමය දේපොල නීතිය ලෝකයේ බොහෝ රටවලට හඳුන්වාදීමටත් අදාල නීති පිළිබඳව නීතිඥයන්, විනිසුරුවන් පුහුණු කිරීමටත් ඔහු මූලික විය. මේ අතරින් චීනයට බුද්ධිමය දේපොල නීතිය හඳුන්වාදී ඒ සඳහා විශේෂ අධිකරණ පද්ධතියක් සාර්ථක ලෙස එහි ස්ථාපිත කිරීම ඔහුගේ ජයග්‍රහණයක් වශයෙන් අදටත් සළකනු ලබයි. බුද්ධිමය දේපොල නීතිය ඇතුළු නීති සම්ප්‍රදායයන් පිළිබඳ ඔහුගේ ශාස්ත්‍රීය ලිපි Modern Law Review, South African Law Journal, Conveyancer and Property Lawyer ඇතුළු ලෝකයේ විශිෂ්ට නීති ශාස්ත්‍රීය සංග්‍රහයන්හි පලවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කරන අවධියේ දී ලක්ෂ්මන් කදිරගාමර් තුළ වූ ජාත්‍යන්තරවාදීයා ඉදිරියට පැමිණියේය. ඔහු දේශසීමාවලින් තොර ගෝලීය පුරවැසියකු බවට පත්විය. 
 
1957 වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති වූ ලලිත් ඇතුලත්මුදලි ඔහුගේ සමීප හිතවතෙකි. ලලිත් ඔක්ස්ෆර්ඩ් සංගමයේ පළමු ලාංකීය  සභාපතිවරයාය. 1977 දී එජාපය සමඟ එක්ව ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන ලෙස ලලිත් සිය මිතුරා වන ලක්ෂ්මන් කදිරගාමර්ට ආරාධනා කළේය. එවකට එජාප නායක ජේ.ආර් ජයවර්ධනගේ බාල සොහොයුරා වන නීතිඥ එච්.යු ජයවර්ධන ද එම ආරාධනය කළේය. එම ආරාධනා දෙකම කාරුණිකව ප්‍රතික්ෂේප කළ  ලක්ෂ්මන් කදිරගාමර් සිය කාලය බුද්ධිය ලෝක බුද්ධිමය දේපොල සංවිධානය වෙනුවෙන් ආයෝජනය කිරීමට තීරණ කළේය. එක්සත් ජාතීන්ගේ සේවයෙන් විශ්‍රාම ලබා 1989 දී ඔහු සිය රට පැමිණියේය. ඒ අවස්ථාවේදීත් ලලිත් ඇතුලත්මුදලි ඔහුට එජාප දේශපාලනයට එක්වන ලෙසට ආරාධනය කළේය. කදිරගාමර් පවුලම එජාප දේශපාලනයට සමීප සිටි නමුත් ඒ වන විට ජනාධිපති ප්‍රේමදාස යටතේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ ඔහු තුළ වූයේ දැඩි අප්‍රසාදයකි. එබැවින් එවර ද ඔහු ලලිත්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. 
 
තරුණ කාලයේ සිටම ලක්ෂ්මන් කදිරගාමර් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීයෙකි. ඔහුගේ දේශපාලන හරය එයයි. ජනවාර්ගික ප්‍රශ්නයට එක්සත් රටක් තුළ ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් පෙනී සිටියේය. දේශපාලන පොරපිටියේ අවලංගු වී ඇති වචනයක් වූ "ෆෙඩරල්" මත රැඳී සිටීමේ අවශ්‍යතාවයක් ඔහුට නොවීය. ඔහු පෙනී සිටියේ සැබෑ බලය බෙදීමක් වෙනුවෙනි. රටේ සිංහල බහුතරයේ මෙන්ම අසල්වැසි ඉන්දියාවේ අනුමැතියකින් තොරව ජනවාර්ගික ප්‍රශ්නයට සැබෑ ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව ඔහුගේ තක්සේරුව විය. රටේ සියළු ජනවර්ගවලට එකඟ විය හැකි ශ්‍රී ලාංකික විසඳුමක් ඔහුගේ සිහිනය විය. ගෝලීය පුරවැසියෙකු වූ ඔහු කිසිවිටෙක දෙමළ ජාතිවාදියකු හෝ ජාතිකවාදියකු නොවීය. තමාට සහ තම පවුලේ සාමාජිකයින්ට දෙමළවීම නිසාම විවිධ ආසාධාරණකම්, අකටයුතුකම් සිංහල සමාජයෙන් සිදුවුවද එම සිද්ධීන් මත පදනම්ව සිංහල සමාජයට වෙෙර කිරීමට හෝ එම සමාජය ප්‍රතික්ෂේප කිරීමට ඔහු උත්සුක වූයේ නැත. ඔහු සෑම විටම උත්සුක වූයේ අතීතය පසකින් තබා ඉදිරිගාමී විසඳුමකට යොමුවීමටය.
 
ලලිත්ට බෑ කියා චන්ද්‍රිකා සමග එක්වෙයි..
---------------------------------------
ශ්‍රිලනිපයේ සාම්ප්‍රදායික සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රවේශයෙන් ඉවත්වී ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදිරිපත් වූවාය. ඇය පක්ෂ ගණනාවකින් සමන්විත පොදු ජන එක්සත් පෙරමුණ නමින් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සමත් වූවාය. දෙවන දකුණු පලාත් සභා මැතිවරණ සටන මෙහෙයවූ ඇය එය විශිෂ්ට ලෙස ජය ගත්තාය. ඉදිරි මහ මැතිවරණයක ජය පෙනෙන මානයේ විය. මේ අතර ලක්ෂ්මන් කදිරගාමර්ට තමන් සමඟ එක්වන ලෙසත් නව රජයේ විදේශ ඇමති ධූරය භාරගන්නා ලෙසත් ඇය ආරාධනා කළාය. 
 
මේ ආරාධනය ලක්ෂ්මන් කදිරගාමර් එකවර පිලිගත්තේ නැත. ඔහු ඒ පිළිබඳව මිතුරන්, හිතවතුන්, සහ සහෝදර වෘත්තීයවේදීන් ගෙන් අදහස් ලබා ගත්තේය. ඇතැමෙක් ඔහු ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම ගැන කැමැත්තක් නොදැක්වූ අතර තවත් සමහරක් එම යෝජනාව පිළිගෙන සැබෑ වෙනසකට දායක වන ලෙසට ඉල්ලා සිටියහ. එහිදී ඔහුට වැදගත් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අවංකව ජනවාර්ගික ප්‍රශ්නයට බලය බෙදීමේ ෆෙඩරල් විසඳුමකට එකඟවේද යන්නයි. ඔහුගේ එම සැකය ඉවත් කිරීමට  ඉදිරිපත් වූයේ දෙමළ සමාජයේ විශිෂ්ට බුද්ධිමතකු සහ ව්‍යවස්ථා විශාරදයකු වූ නීලන් තිරුචෙල්වම්ය. ඔහු අවසානයේ පොදු ජන එක්සත් පෙරමුණ සමඟ එක්විය. 
 
1994 අගෝස්තු  මහ මැතිවරණයේ දී ජාතික රූපවාහිනියෙන් හිමිවන විකාශන කාලය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් කථාකිරීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ ලක්ෂ්මන් කදිරගාමර්ය. රැජිනගේ ඉංග්‍රීසියෙන් කථා කළ ඔහු තමා දේශපාලනයට  ප්‍රවේශ වූයේ මන්ද යන්නත් ඒ සඳහා පොදු ජන එක්සත් පෙරමුණ තෝරා ගැනීමට හේතුවත් අපූරුවට පැහැදිලි කළේය. එතෙක් කොළඹ ඉහළ සමාජයේ පමණක් දැන සිටි ලක්ෂ්මන් කදිරගාමර්ව මධ්‍යම පංතිය දැන නොසිටියේය. ඔහුගේ එම රූපවාහිනී කථාවට වශී වූ  මධ්‍යම පංතිකයෝ බොහෝ දෙනෙක් ලක්ෂ්මන් කදිරගාමර් කවුරුන් දැයි සෙවීමට උත්සුක වූහ. 
ඔහු යළි කිසිදා එල්ටීටීඊය විශ්වාස කෙළේ නැත..
---------------------------------------
පොදු ජන එක්සත් පෙරමුණ මහ මැතිවරණ ජයගත් අතර ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමති වශයෙන් දිවුරුම් දුන්නේය. එල්.ටී.ටී.ඊ සංවිධානය සහ රජය අතර සටන් විරාමයක් ඇතිවූ අතර දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා ද ආරම්භ විය. ලක්ෂ්මන් කදිරගාමර් සාම සාකච්ඡා පිළිබඳව ඉමහත් බලාපොරොත්තු තබා ගෙන සිටියේය. එහෙත්  එල්.ටී.ටී.ඊ ය සුපුරුදු ලෙස සටන් විරාමය කඩකරමින් යළි ඊලාම් යුද්ධය ආරම්භ කළේය. ලක්ෂ්මන් කදිරගාමර් ඉන්පසුව කිසිදිනෙක එල්.ටී.ටී.ඊ සංවිධානය  විශ්වාස කළේ නැත. ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අවශ්‍ය නම් එල්.ටී.ටී.ඊ ය යුධමය වශයෙන් අඩපණ කළ යුතු බව ඔහුගේ තක්සේරුව විය. 
 
විදේශ ඇමතිවරයා වශයෙන් ඔහු විදේශ අමාත්‍යාංශයට වෘත්තීයවේදීභාවය හඳුන්වා දුන්නේය. තානාපති සේවයේ දශක ගණනාවක් අත්දැකීම් ඇති ජේෂ්ඨයන් මෙන්ම දක්ෂ තරුණයන් ද එක් කර ගනිමින් ඔහු විදේශ අමාත්‍යාංශය මෙහෙයවීය. ඔහු සෑම මතයකටම ඇහුම්කන් දුන්නේය. ඔහු සියලු දෙනා සමඟ සිදුකරන දීර්ඝ සාකච්ඡා හරහා ප්‍රතිපත්ති තීන්දු කෙටුම්පත් කළේය. ඔහු විදේශ අමාත්‍යාංශය මෙහෙය වූ වකවානුවේ තානාපතිවරුන් වශයෙන් පත් කළ පුද්ගලයන් අතරින් සියයට 65 ක් ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකයන් විය. පහළ මට්ටමේ තානාපති කාර්යාල සේවකයෝ සියල්ලම මෙන් විදේශ අමාත්‍යාංශ සේවකයෝ වූහ. එවැනි මට්ටමේ වෘත්තීයවේදීත්වයක් ඔහුට පෙර හෝ පසුව දක්නට නොලැබිණි. 
 
එල්ටීටීඊ පරාජයට පදනම දැම්මේ ඔහුය..
---------------------------------------
අසල්වැසි ඉන්දියාව, චීනය සහ බටහිර ලෝකය අතර දුෂ්කර සමබරතාවයක් තබා ගනිමින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීමට විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් සමත්විය. ඔහුගේ ප්‍රධාන අවධානය යොමුවූයේ වෙළඳාම සහ ත්‍රස්තවාදය කෙරෙහිය. එල්.ටී.ටී.ඊ පරාජය කිරීමේ සටනට පදනම දැම්මේ ඔහුය. 
 
විදේශ ඇමති වශයෙන් ඔහු වැඩභාර ගන්නා විට බටහිර ලෝකයේ සම්පූර්ණ සහයෝගය එල්.ටී.ටී.ඊ සංවිධානයට හිමිවිය. ඔවුහු නිදහසේ මුදල් එකතු කරමින් අවි ආයුධ මිලදි ගනිමින් එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් කළහ. නිදහසේ ප්‍රචාරණ කටයුතු කළහ. රටතුළ සිය ගණනින් ළමා සොල්දාදුවන් බඳවා ගත්හ. අපේ තානාපති සේවයට වඩා එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ lobbying ජාලය ශක්තිමත්ව පැවතිණ. දශක දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති මෙම තත්ත්වය එක රැයකින් වෙනස් කළ හැකි තත්ත්වයක නොවීය. විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් තානාපති සේවයේ දශක ගණනාවක් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨයන් මෙන්ම දක්ෂ තරුණයන් ද එක් කර ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය මතවාදීව නිරාවරණය කිරීමට සහ පරාජය කිරීමට සාමූහික මෙහෙයුමක් ආරම්භ කළේය. එම මෙහෙයුමේ ප්‍රකාශකයා වූයේ විදේශ ඇමතිවරයාය. 
එල්ටීටීඊය “ද්‍රෝහී” ලේබලය අලවයි..
---------------------------------------
මේ මෙහෙයුමේ පළමු ප්‍රතිඵලය 1999 දී ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබිණ. ඇමරිකා රජය එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී  සංවිධානයක් වශයෙන් නම් කළේය. වසර 2001 දී බ්‍රිතාන්‍යය එම මග ගත්තේය. ඉන්පසුව යුරෝපා සංගමයේ බොහෝ රටවල් මෙන්ම කැනඩාව ද එල්.ටී.ටී.ඊය ත්‍රස්තවාදී  සංවිධානයක් වශයෙන් නම් කළේය. මේ තත්ත්වය එල්.ටී.ටී.ඊ ය ලැබූ දැවැන්ත පරාජයක් විය. එබැවින් එල්.ටී.ටී.ඊ ය සහ ඔවුන්ට සහයෝගය දැක්වූ සියඵ දෙමළ ජාතිකවාදීන්ගේ සහ ජාතිවාදීන්ගේ ඉලක්කය බවට ලක්ෂ්මන් කදිරගාමර් පත්විය. ඔහුට "ද්‍රෝහී" ලේබලය ඇලවූයේය. එහෙත් ඔහු එම ලේබලයෙන් සැලුනේ නැත. තමා දෙමළ ජාතිකයෙකු වීමට පෙර ශ්‍රී ලාංකිකයකු බව ඔහු දෙමළ ජාතිකවාදීන්ට සහ ජාතිවාදීන්ට පිළිතුරු දුන්නේය. 
 
එල්.ටී.ටී.ඊ ය ඔහුව ඝාතනය කිරීමට සියළු උත්සාහයන් දැරුවේය. බුද්ධි සේවාවන්ට අනුව ඒ වකවානුවේ ඉහළම තර්ජනය පැවතියේ ජනාධිපතිනියට සහ විදේශ ඇමතිවරයාටය. එල්.ටී.ටී.ඊ ය තමන්ව ඝාතනය කරන බව ඔහු දැන සිටියේය. එහෙත් එහි නැවත හැරීමක් තමන්ට  නොමැති බව එවකට විදේශ අමාත්‍යාංශයේ ලේකම් පලිහක්කාර සමඟ පවසා තිබිණ. වසර 2005 ජූලි 29 වන දා ඉන්දියාවේ "හින්දු" පුවත්පත සමඟ  පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා එල්.ටී.ටී.ඊ යට තමන්ව ඕනෑම මොහොතකදී ඝාතනය කළ හැකි බවයි. 
"දෙමළෙක් අගමැති කරන්නෙ ඇයි..?"
---------------------------------------
වසර 2004 පැවැති මහ මැතිවරණය සඳහා පොදු පෙරමුණ සහ ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් නව පෙරමුණකින් තරඟ කළේය. නව සන්ධානය මැතිවරණයෙන් ජයගත් අතර අගමැතිධූරය සඳහා ලක්ෂ්මන් කදිරගාමර්ගේ නම යෝජනා විය. ඒ සඳහා ජ.වි.පෙ සහයෝගය ලබාදුන් අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ එකඟතාව හිමිවිය. නියමිත දිනයේ ලක්ෂ්මන් කදිරගාමර් සිය නිවසේ සූදානමින් සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුරකතන ඇමතුම ලැබෙන තුරුය. ඒ දුරකතන ඇමතුම නොලැබුන අතර මහින්ද රාජපක්ෂ අගමැතිධූරයේ දිවුරුම් දුන්නේය. "දෙමළෙක් අගමැති කරන්න ඇයි" යන සිංහල බෞද්ධ ජාතිවාදී බලපෑමට හිස නැවීමට ජනාධිපතිනියට අවසානයේ සිදුවිය.
 
ස්නයිපර් ගොදුරක් වීමට පෙර දකුණේ ගොදුරක් විය.. 
---------------------------------------
එල්.ටී.ටී.ඊ මරණ වරෙන්තු අතේ තබා ගෙන ජාත්‍යන්තර වේදිකාවේ එල්.ටී.ටී.ය සහ ඔවුන්ගේ ඩයස්පෝරාව සමඟ අඛණ්ඩ සටනක නිරත වූ ලක්ෂ්මන් කදිරගාමර්ට දේශීයව දේශපාලන පෙරමුණක ද සටන් කිරීමට සිදු විය. ඔහු එල්.ටී.ටී.ඊ ස්නයිපර් තුවක්කුකරුවකුට ගොදුරු වීමට පෙර ඔහු පාර්ලිමේන්තුවේ  එජාපයේ සහ ටී.එන්.ඒ හි ගොදුරක් විය. දකුණේ ජනමාධ්‍යයේ ගොදුරක් බවට පත්විය. මේ තත්ත්වය වසර 2004 අප්‍රේල් මාසයේ සිට වඩාත් තීවෘ විය. එජාපය සහ දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ දී ඔහුට  පෞද්ගලික මට්ටමෙන් පවා ප්‍රහාර එල්ල කළේ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් "ලකුණු" දමාගැනීමටය. 
 
අගමැතිධූරය සඳහා ඔහුගේ නම යෝජනාවීම එජාපයට එල්ල වූ දේශපාලන තර්ජනයක් ද විය. ලසන්ත වික්‍රමතුංග සිය Sunday Leader පුවත්පතු හරහා සෑම සති අන්තයකම ලක්ෂ්මන් කදිරගාමර්ට එරෙහි ලිපියක් පල කිරීමේ සම්ප්‍රදායක් ගොඩ නගා තිබිණ. ලසන්ත එසේ දේශපාලන චරිතයක් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ප්‍රහාර එල්ල කරන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවයට බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. එජාපයට මේ සඳහා ශ්‍රිලනිප නායකයන් කිහිදෙනෙකුගේද සහය ලැබිණ. එහි ප්‍රසිද්ධ නියෝජනය වූයේ නියෝජ්‍ය විදේශ ඇමති මහාචාර්ය විශ්වා රත්නපාලය.
 
ලක්ෂ්මන් කදිරගාමර්ට තිබෙන කීර්ති නාමය පිළිබඳව ඔහුට නොනිමෙන ඊර්ෂ්‍යාවක් විය. ඔහු විදේශ අමාත්‍යාංශයේ ලිපි ගොනු හොර රහසේ එජාපයට ලබාදුන්නේය. මේ ප්‍රහාර සියල්ල ඉදිරියේ ඔහු කම්පාවට පත්වුවද නොසැලී සිටියේය. 
 
ප්‍රභාකරන් මරණ වරෙන්තුව සිය අතින් ලියා ගත් කදිරගාමර් ඝාතනය..
---------------------------------------
වසර 2005 අගෝස්තු 12 වන දා ඔහු එල්.ටී.ටී.ඊ ස්නයිපර් තුවක්කුකරුවකුට ගොදුරු විය. ඒ වන විට රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර නෝවීජියානු සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් පැවතිනි. මේ ඝාතනය එල්.ටී.ටී.ඊ නායකත්වය සිය මරණ වරෙන්තු සිය අතින්ම ලියා ගැනීමක් විය. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ලොව පුරා රාජ්‍ය නායකයන්ගේ දැඩි හෙලා දැකීමට ලක්විය. ඒ වන විට ඔහු ශ්‍රී ලංකාවේ සාමය වෙනුවෙන් පෙනී සිටින අවංක, ඒකාග්‍රතාවයක් සහිත රාජත්‍රාන්ත්‍රිකයකු වශයෙන් දැවැන්ත ජාත්‍යන්තර ප්‍රතිරූපයක් නිර්මාණය කර ගෙන තිබිණ. මේ ඝාතනය එල්.ටී.ටී.ඊ සංවිධානය රටවල් 32 ක් තුළ තහනම් කිරීමට සෘජුව බලපෑවේය. එය එල්.ටී.ටී.ඊ මූල්‍ය ජාලය බිඳ දැමූ  අතර එමගින්  එල්.ටී.ටී.ඊ අවිආයුධ සැපයුම් ජාලය දුර්වල වී ගියේය.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් කොෆී අනන් මේ ඝාතනය හෙළා දකිමින් කියා සිටියේ  "සාමය සහ ජාතික සමගිය වෙනුවෙන් ඉතා ගැඹුරින් කැපවූ ගෞරවනීය  රාජ‍තාන්ත්‍රිකයකු ශ්‍රී ලංකාවට අහිමි වූ බවයි". ඒ ඔහු පිළිබඳ වඩාත් සාධාරණ අර්ථ දැක්වීම බව අපේ විශ්වාසයයි. 
 
ලක්ෂ්මන් කදිරගාමර් යනු ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම රාජතාන්ත්‍රිකයාය. ඔහු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිදු කළ විශිෂ්ට මෙහෙයට කළගුණ සැලකිය හැක්කේ ඔහු සිය ජීවිතය පූජා කළ සිහිනය සැබෑ කිරීම මෙනි. එනම් මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ලබාදීමයි. 
 
මූලාශ්‍ර සඳහා The Cake that was Baked at Home: Lakshman Kadirgamar by Ajita Kadirgamar
(අප්‍රේල් 12 වන දා අදට යෙදෙන ඔහුගේ අසූ අට වන ජන්ම දිනය වෙනුවෙනි)
---------------------------------------
(මූලාශ්‍රය - lankaenews ෆේස්බුක් පිටුවෙනි )