Language Switcher

V2025

ඔස්කාර් සම්මානය දිනූ පුංචි කෙල්ල

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ අවධානයකට ලක්වූ ශිල්පිනිය බවට පත්ව ඇත්තේ  සය හැවිරිදි මයිසි ස්ලයි නම් බිහිරි දැරිවියයි. 
 
 ඔස්කාර් සම්මාන උළෙලේ දී  හොඳම සජීව ක්‍රියාකාරී කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට  පාත්‍ර වූ  The Silent Child නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ මයිසි ස්ලයි එක රැයකින් සුපිරි තරුවක් බවටද  පත්ව තිබෙනවා. 
 
එසේම මයිසිගේ රංගනයද විචාරකයන්ගේ පැසසුමට ලක්ව තිබේ. 
 
විනාඩි 20ක් පුරා දිවයන මෙම චිත්‍රපටය තුළ කන් ඇසෙන  යුවළකට දාව ඉපදෙන බිහිරි දැරියක් වන ලිබී සමඟ ජීවත්වීමට දරන අරගලය සහ ඔවුන්ට  හමුවන තරුණියක් ලිබීට සංඥා භාෂාව පුහුණු කරවන ආකාරය නිරුපණය වේ. 
 
මෙම චිත්‍රපටයේ එම තරුණියගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ  රේචල් ශේන්ටන් විසිනුයි. 
 
ඊයේ පැවති සම්මාන උළෙලේදී හොඳම සජීව ක්‍රියාකාරී කෙටි චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ලබාගත්තේ රේචල් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් ඕවර්ටන් විසිනුයි. එසේම සම්මනය ලබාගත් රේචල් සංඥා භාෂාව භාවිත කරමින් සම්මනය ලබාගැනීම විස්තර කිරීමද විශේෂත්වයකි. 
 
 
 මෙම චිත්‍රපටය සඳහා  මයිසි තෝරාගෙන තිබෙන්නේ තවත් එවැනිම දැරියන් සියයක් පමණ දෙනා අතුරෙනුයි. ඇය ඔස්කාර් සම්මාන උළෙල සඳහා එක්වී සිට ඇත්තේ  ඇගේ මව සමඟයි. 
 
එසේම ඇගේ පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනාද ඇතුළුව මව සහ පියාද උපතින් බිහිරි වූවන්. ඔවුන් නිවසේදී අදහස් හුවමාරු කරගැනීමට භාවිත කරන්නේ බ්‍රිතාන්‍ය සංඥා භාෂාව බව පැවසේ.