Language Switcher

V2025

ගෝල්කෝස්ට් හී ක්‍රීඩක ක්‍රීඩිකාවන් : "ගල්වෙන" ප්‍රශ්නයක් !

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිගින් දිගටම ක්‍රීඩා ගම්මාන වලින් අතුරුදහන්වීමට ගෙන තිබීම හේතුවෙන් එම රටවල් මෙන්ම සත්කාරක ඔස්ට්‍රේලියාවද දැඩි අර්බුදයකට පත්ව ඇත.

මේ ආකාරයෙන් අතුරුදහන් වෙමින් සිටින්නේ අප්‍රිකානු රාජ්‍ය නියෝජනය කරමින් එහි පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා බලධාරීන් මෙන්ම එරට පොලිසියත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් භාරව පැමිණි නිලධාරීන් සඳහන් කර සිටින්නේ ගෝල්කෝස්ට් හී සිදුවෙමින් තිබෙන්නේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අතුරුදහන්වීමක් නොව පලායමක් බවයි.

මේ වන විටත් කැමරූන් දේශය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක් අතුරුදහන්ව සිටින අතර බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් බොක්සිං 5ක් ඒ අතර වෙයි.

එසේම ලැබී ඇති පැමිණිලි මත රුවන්ඩා සහ උගන්ඩා යන රටවලින් පැමිණ සිටි අතුරුදහන් ක්‍රීඩකයන් කීප දෙනකු සහ සියරාලියෝන් නියෝජනය කර පැමිණි ස්කොෂ් ක්‍රීඩකයන් දෙදෙනකු සිටින තැනක් සොයා ගැනීමටත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායකයෝ උත්සාහ කරමින් සිටින බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් ඕස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කර සිටින්නේ අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වීසා කාලය මැයි මස 15න් අවසන් බවත් ඉන් ආතුරුව රැඳී සිටියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

2000 වසරේ පැවැත්වුන සිඩ්නි ඔලිම්පික් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සියයකට අධික පිරිසක් ඔවුන්ට නියමිත වීසා කාලය ඉක්මවා එරට ගත කළ බවද බලධාරීන් සඳහන් කරයි.

එසේම 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියට පැමිණි කැමරූන් ක්‍රීඩකයන් දොළොස් දෙනකු ද අතුරුදහන් වූ බව ඒ සමයේ මාධ්‍ය වාර්තා පළවිය.