Language Switcher

V2025

“ක්‍රිකට් තරඟ පාවාදෙන්නෝ” අනාවරණයේ සාක්ෂි : ICC ය ඉල්ලයි !

“අල් ජසීරා” රූපවාහිනී සේවයෙන් විකාශය කරන ලද “ක්‍රිකට් තරඟ පාවාදෙන්නෝ” වැඩසටහනට අදාලව එම ආයතනය සතුව පවතින සියලු සාක්ෂි තමන්වෙත ලබා දෙන්නැයි  අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන්  නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිට ඇත.

“කිසිම කෙනෙකුට ගැලවෙන්න බැරිවෙන්න, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ පරීක්‍ෂණයක් කරන්න අපට පුළුවන්. මේ වැඩසටහනේදී කියැවෙන සෑම දෙයක් ගැනම අපි හොයනවා. ඒත් ඒකට ඔවුන් සතුව තියෙන සියලුම සාක්‍ෂි අපට ඕනෑ” එහිදී  රිචඩ්සන්  දන්වා ඇති බවද වාර්තා වෙයි.

අල් ජසීරා රූපවාහිනී සේවයේ පසුගිය සති අන්තයේ විකාශය වූ “ක්‍රිකට් තරඟ පාවා දෙන්නෝ” වැඩසටහන මගින් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතාව මත වෙනස් කරනු ලබන ආකාරය සාක්ෂි සහිතව විකාශය වූ අතර  ටෙස්ට් තරඟ සඳහා තණතීරු සැකසීමේදී සේවකයන් කිහිපදෙනෙකු යොදවා ක්‍රීඩාංගනයේ බලධාරීන් කිහිපදෙනෙකු හා හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විසින් එකඟවන ආකාරය මෙන්ම  විස්සයි විස්ස තරඟ සඳහා ද අවධානය යොමුකර ඇති බවද එහිදී අනාවරණය කෙරිණ.

ලංකාවේ පමණක් නොව එංගලන්තය සහ ඉන්දියාව අතර 2016 දෙසැම්බර් මාසයේ චෙන්නායිහිදී පැවැති ටෙස්ට් තරගයේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත ක්‍රීඩා කර ඇති බවත් 2017 දී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර රංචිහි පැවැති ටෙස්ට් තරගයකදී එවැනිම සිදුවීම් තිබෙන බවත් ‘අල් ජසීරා’ වැඩසටහනේ කියැවිණ.