Language Switcher

V2025

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අභූත චෝදනාවක් !

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ශාන්ත ලූසියා දිවයිනේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ (16) ඇතිවූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ, දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව අසාමාන්‍ය ලෙස ඔප දැමීමෙන් එහි හැඩය වෙනස්වූ බව පවසමින් එතෙක් ක්‍රීඩා කල පන්දුව මාරු කිරීමට විනිසුරුවන් තීරණය කිරීමත් සමඟය.

එසේම තරගයේ විනිසුරුවරුන් වූ අලීම් ඩාර් සහ ඉයන් ගෝල්ඩ් ශ්‍රී ලංකා පිලට දඩුවම් වශයෙන් කොදෙව්වන්ට අමතර ලකුණු 5 ක්ද ලබාදීමටද කටයුතු කර ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවේ හැඩය වෙනස් කළ බවට එල්ලවූ  චෝදනා දැඩි  ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර,පන්දුවේ හැඩය වෙනස් කිරීමට අදාළව කිසිඳු රූපමය සාක්ෂියක්ද තිබී නොමැති බවද අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් විනිසුරු තීරණයට විරෝධය පා ක්‍රීඩාගාරයේ රැඳී සිටීම හේතුවෙන් තරගය ආරම්භය කිරීමද පැය 2 කින් ප්‍රමාදවී ඇත.

අවසානයේ ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ  තරග තීරක ජවගල් ශ්‍රීනාත් අතර  පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිස ඇති නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින්  තම කණ්ඩායම තරගයට සහභාගී වුවත් ඒ විරෝධය පළ කරමින් බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය වෙනුවෙන් කණ්ඩායම තවදුරටත් කැපවී සිටින බවද සඳහන් කර ඇත.