Language Switcher

V2025

ක්‍රිකට් දූෂණ සොයන අයි.සී.සී ලොක්කා ලංකාවේ කරන මෙහෙයුම !  

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලිය ඇරැඹී ඇත. සෙනසුරාදා පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙකම ගත කරන්නේ නුවරය. පසුගිය දින කීපය පුරාම විශේෂ අමුත්තෝ පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සමඟම ගත කළෝය. ඔවුන් මේ සංචාරය පුරාම ක්‍රීඩකයන් අත් නොහැර ඔවුන් සමඟම ගතකිරීමට නියමිතය. මේ කණ්ඩායමට අයත් වන්නේ අයි.සී.සී. ක්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයේ ප්‍රධානි ඇලෙක්ස් මාෂල් ඇතුළු පිරිසය.

මේ සටහන තබන විට ඇලෙක් ඇතුළු කණ්ඩායම දඹුල්ලේය. ඔවුහු සිදුවෙමින් ඇති සියලුම දේ නිරීක්ෂණය කරමින් සිටිති. වාර්තා වන ආකාරයට මේ වන විට දඹුල්ල ක්‍රීඩාංගණයට බුකිකරුවෝ පැමිණ සිටිති. ඔවුන්ට ඔට්ටු දැමීමට ක්‍රීඩකයන්ම අවශ්‍ය නැත. ක්‍රිකට් ෆික්සින් සූදුපොළ ක්‍රියාත්මක වන ආකාරය අනුව ග්‍රවුන්ඩ් එකේ සුළු සේවකයන් වුවත් බා ගැනීම හොඳ ඔට්ටුවක් දිනා ගැනීමට ප්‍රමාණවත්ය.

මේ බුකිකරුවන් සොයා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් තවමත් අපට නැත. ඒ සඳහා ප්‍රමාණවත් නෛතික ආවරණයක් නැත. ලංකාවේ ක්‍රිකට් ගසන වකවානුවල ඇලෙක් මාෂල් ඇතුළු පිරිසට මෙහේට පැමිණ පදිංචි වන්නට සිදු වී ඇත්තේ මේ නිසාය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය සමඟ තරගයට ලෑස්ති වීම සඳහා කලින්ම දඹුල්ලට පැමිණියහ. මේ වන විට ඔවුන් ඉන්නේ හිත් වේදනාවෙනි. චකිතයෙනි. තරග පාවාදීමේ වරදට කවරෙක් නිශ්චිත චෝදනා ලබත් ද, කවරෙක් ගෑවී ඇත් ද, යන්න ගැන හැමෝම කල්පනා කරමින් සිටින බවක් පෙනේ. එහි දී මුලින්ම අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා හමුවූයේ එංගලන්ත කණඩායමය. ස්වකීය පුහුණු තරගය වැස්සෙන් හේ දී ගිය පසු හෝටලයේ ගත කළ ඔවුන්ව දකින්නට ඇලෙක්ස් ඇතුළු පිරිස පැමිණියහ.

ඇලෙක්ස් මාෂල් ලංකා ක්‍රීඩකයන් හමුවන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේදීය. ඔහු එහි දී විශේෂයෙන්ම ඔවුන්ව දැනුවත් කර තිබුණේ තරග පාවාදීම් සිදුවිය හැකි ආකාරය පිළිබඳවය.

“ ඔබ දන්නවා ඇති... මේ තරගාවලියටත් ඔය බුකී කරුවන් ඇවිත් තියෙනවා. ඒ අය ඔයගොල්ලන්ට තරග රටාව සම්බන්ධව හෝ වෙන ඕනෑම ක්‍රියාකාරකමක් කිරීම සම්බන්ධව හෝ කුමන ආකාරයක ආරාධනාවක් කළත් වහාම ඒ සම්බන්ධව දන්වන්න.” ඇලෙක්ස් ක්‍රිකට් දූෂණ සිදුවිය හැකි සෑම ආකාරයක්ම ආවරණය කරමින් සිය දේශනය පැවැත්වීය.

එවිට චන්දිමාල් ප්‍රමුඛ ක්‍රීඩකයන් විමසා සිටියේ සිය කණ්ඩායමේ කවුරුන් හෝ ක්‍රීඩකයකු තරග පාවාදීම්වලට සම්බන්ධ බවට අයි.සී.සී ය ප්‍රසිද්ධ කර ඇතිද යන්නය. අයි.සී.සී. උත්තරය වූයේ කිසිවෙකුගේ නම් තවමත් කොතැනක හෝ ප්‍රසිද්ධ කර නොමැති බවය.

තවත් සතියක් ගත වන විට අයි.සී.සී. දූෂණ විමර්ශන නිලධාරීන් ක්‍රිකට් පාවාදීමක් ගැන තවත් හෝඩුවාවක් දීමට ලක ලැහැස්ති වන බව ඔවුන්ගේ හැසීරීමන් ගම්‍ය වෙමින් ඇත. ඒ ඔවුන්ගේ රටාවය. අවසාන මොහොතේ සියල්ල සනාථ කරගෙන ප්‍රතිඵලය නිකුත් කිරීම මේ උදවියගේ රටාවය. වාර්තා වන පරිදි අයි.සී.සී.ය මේ ගතකරමින් ඇත්තේ තමන් ලද තොරතුරු ප්‍රමාණයක් තහවුරු කරගන්නා වකවානුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රත්තුව අනූව ‘ඒ’ ශ්‍රේණියේ ක්‍රීඩකයකුට වසරකට රුපියල් කෝටි එකහමාරකට වැඩිය ලැබෙයි. ‘බී’ ශ්‍රේණියේ ක්‍රීඩකයකුගේ ගාන ඊට පොඩ්ඩක් අඩුය. ’සී’ ශ්‍රේණියේ ක්‍රීඩකයකුට කෝටියට ආසන්න මුදලක් ලැබෙයි. මේ ආකාරයන් ක්‍රීඩකයන් සියයකට ආසන්න සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක් එක් වර්ගීකරණය අනුව වාර්ෂිකව කොන්ත්‍රාත්තුවක් ලබාදෙයි. මීට අමතරව තරග මුදල් වෙනම ලැබෙයි. දැන්වීම් සහ අයි.පී.එල්. වැනි ප්‍රිමියර් ලීග් ක්‍රීඩා කළහොත් සතියට දෙකට එක් ක්‍රීඩකයකුට කෝටියක් ඊට වැඩි ගාණක් ලැබෙයි.

එහෙත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ බංග්ලාදේශයට පසුව අඩුම වැටුප් ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බව මහේල ජයවර්ධන වරෙක පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ වැජඹෙන යුගයක් තිබිණි. ඒ කාලයේ දී ලෝකයේ අඩුම වැටුප් ලබන ක්‍රීඩයන් මෙරට සිටියේ නම් එය ක්‍රිකට් පාලකයන්ගේ දෝෂයකි. මන්ද අයි.සී.සී.ය සල්ලි බෙදන්නේ දක්‍ෂතාව අනුවය. මෙවැනි දෝෂ නිසා ක්‍රීඩකයන්ට කලකිරීම් ඇතිවන්නට පුළුවන. තරග පාවාදීම් නමැති දැලේ පැටලෙන්නට පුළුවන. එවැන්නෙක් ගැන හෝඩුවා තිබුණ ද ස්ථිර වශයෙන් කිසිවෙකුගේ නමක් අයි.සී.සී.ය කොතැනකවත් සඳහන් කර නැත.

එහෙත් ඇඟට නොදැනී තරග පාවාදිය හැකි ක්‍රම ඕනෑ තරම් නිර්මාණය වෙමින් ඇත. ඒවා එළියට එන්නේ කාලයාගේ ඇවෑමෙනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේත් එවැනි සැක මුසු තැන් ඕනෑ තරම් තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත තත්ත්වය වටහා ගැනීමට නොහැකි වීමෙන් තරග පාවා දුන්නේ යැයි වැරදි චිත්‍රයක් මවාගත හැකි අවස්ථා ද තිබේ. මේ දෙකෙන් කොයික හරිගියද වැරදුණද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් රැස්කර ගත් තොරතුරු අනූව ශ්‍රී ලංකාවේ කිහිප දෙනකු තරග පාවාදී ඇතැයි වාර්තාවේ. අයි.සී.සී.ය ඔවුන්ගේ නම් ආවාට ගියාට එළියට දමන්නේ නැත.

නමුත් අයි.සී.සී.යේ දූෂණ මර්දන ඒකකය විසින් ප්‍රශ්න කර ඇති ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් වේ. හිටපු ශ්‍රී ලංකා ආරම්භක වේග පන්දු යවන්නෙක් වේ. මීට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද අයි.සී.සී. දුෂණ මර්දන ඒකකයේ පරීක්‍ෂාවට ලක්වූහ. එහෙත් තවමත් තීන්දුව මඟය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියාව පසුගියදා අයි.සී.සී. නිලධාරීන් විසින් කුදලාගෙන ගොස් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය. එම ප්‍රශ්න කිරීම්වලට ශ්‍රී ලංකා පොලිස් දූෂණ විමර්ශන ඒකකයේද සහය ලැබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට්වල සේවය කරන සැක සහිත එකින් එකා අයි.සී.සී.ය විසින් පරීක්‍ෂාවට ලක් කරන රටාවක් තිබේ. ඉන් වැටහෙන්නේ ඔවුන්ගේ තීන්දුව නුදුරේහි ඇති බවය. පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා තරග පාවාදුන්නැයි කිසිවෙකුට සිතෙන්නට නැත. ඔහු පාවාදුන්නේදැයි අප දන්නේත් නැත. නමුත් කොතැනක හෝ ඔහු යම් දෙයකට කර තබා ඇති බවට සැකයක් ඉපදෙමින් ඇත.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මීට මාස කිහිපයකට පෙර පවසා සිටියේ 2011 ලෝක කුසලානයේ දී තරග පාවා දුන්නේදැයි පරීක්‍ෂණයක් කළ යුතු බවයි. ඊට පෙරළා එම කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාරද උත්තර සැපයීය. එවිට අර්ජුන සහ සංගක්කාර අතර වාචික සටනක් නිර්මාණය වී එය පසුව නිවී ගියේය.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඊට පසුව කට අරිමින් කියා සිටියේ අර්ජුන සහ අරවින්ද තරග පාවාදී ඇති බවය. අර්ජුන සහ අරවින්ද මාධ්‍ය හමුවක් පවත්වමින් එම පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුමතිපාල කීවේ මුසාවක් බව පැවසීය. එතැනදි අදාළ චෝදනාවට ලක්වූ අරවින්ද සහ අර්ජුන වෙනුවෙන් නීතිඥයන් විස්සක් පමණ කතා කරමින් ඔවුන්ව එම චෝදනාවෙන් නිදහස් කරගත් බව ද අර්ජුන පැහැදිලි කළේය.

2011 ලෝක කුසලානයට සිදුවූයේ කුමක් ද?

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට මුත්තයියා මුරලිදරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කැමැත්තෙන් සිටියද කුමාර් සංගක්කාර පළමුව පිතිකරණය තෝරා ගත්තේ නායකයාගේ ‘ප්ලෑන්’ එක නිසා දැයි දන්නේ නැත. එමෙන්ම 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී අර්ජුන රණතුංග කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහරදීම නුවණට හුරු බව අරවින්ද ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පවසද් දී අර්ජුන ඒකමතිකව පළමු පන්දු යැවීම තෝරා ගත්තේය.

නායකයන්ගේ හැටි එහෙමය. ඔවුන් විටෙක තනි තීරණත් තවත් විටක පොදු තීරණත් ගන්නේ ඔහු තුළ ඇති බලතල නිසාය.

දැන් තිබෙන තරග පාවාදීම් අනුව මෙවැනි සිදුවීම්ද තරග පාවාදීමේ සිද්ධියකට හුවා දැක්වීමට ඕනෑම කෙනෙකුට පුළුවන. සංගක්කාර ගත් තීරණය වැරදුනේය. අර්ජුන ගත් තීරණය හරි ගියේය. අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය අවසන් මොහොත දක්වා දෝලනය වන්නේය. තීරණයක් පසු පස පන්නමින් පාවාදීම් සෙවීම එක් අතකින් අතාර්කික ව්‍යසනයක් වන්නේ ඒ නිසාය.

මෙරට ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට ක්‍රිකට් එපා වූ තරගය 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයයි. ඒ ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගයක දී තුන්වැනි වරටත් පරාජය වීමය. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළේ නැත. ඒ ඔහුගේ පාදයේ ආබාධයක් නිසාය. කෙසේ වෙතත් මැතිව්ස් වෙනුවට ඉන්දියාවේ වෙන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගය ක්‍රීඩා කරන්න ගියේ චමින්ද වාස්ය.

‘වාසි ඔයා හෙට ගහන්නේ නැහැ.’ යැයි කණ්ඩායමේ ප්‍රබලයකුගෙන් පණිවුඩ තරගයට පෙර දිනයේ වාස්ට ලැබෙන්නට ඇත. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුව බංකුවේ තබන විට ඔහුට කලින්ම දැනුම් දීම ක්‍රිකට් සම්ප්‍රදාය ය.

වාස්ට හරියන තණතීරුවක් නොමැති වීම නිසා ඔහුට ස්ථානය අහිමි වූ බව කීවේය. අජන්ත මෙන්ඩිස් එම කණ්ඩායමේ සිටි හොඳම දඟ පන්දු යවන්නෙකි.

මෙන්ඩිස් 2011 ලෝක කුසලානයේ දී තරග හයක දී කඩුලූ හතක් බිඳ දමා තිබිණි. එහි දී ඔහුගේ ඕවරයකට ප්‍රතිවාදීන් ලකුණු ලබා තිබුණේ 3.14 ක වේගයෙනි.

මෙන්ඩිස්ටද වාස්ට සිදුවූ දෙයම සිදුවිය. තරගාවලියේ එකම තරගයක් හෝ ක්‍රීඩා නොකළ චාමර කපුගෙදර සහ සුරාජ් රන්දිව් අවසන් සටන ක්‍රීඩා කිරීමට භාග්‍ය වන්තයෝ වූහ.

මේ වෙනස් කිරීම් තරගය පරාජයට හේතු වූවාද?. ඉන්දියාව කඩුලූ හයක් ඉතිරි කරගනිමින් තරගය දිනා ගත්තේ වාස් සහ මෙන්ඩිස් යන දක්‍ෂතම පන්දු යවන්නන් බංකුවේ සිටියදීය. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව සංගක්කාර නායකත්වයෙන් ඉවත් විය. තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාද ඉවත් විය.

මේ කතාව තරග පාවාදීමට සම්බන්ධයක් නැත. නමුත් එහි ඇතැම් සිද්ධිදාමයන් අයි.සී.සී. පරීක්‍ෂණයට ලක්ව ඇත. අයි.සී සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහි පැමිණ ඇත්තේ අතීතයත් සමගය. ඔවුන් කොයි මොහොතේ හෝ වැඩේ පත්තු කරනු ඇත. පසුගිය දා හොංකොං ක්‍රීඩකයන් විෂයෙහි තරග පාවාදීමේ තීන්දුව ප්‍රකාශයට පත්වූයේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය. බොහෝ විට අපේ ක්‍රිකට් පිළිබඳ තීන්දුව ලබාදීම ලෝක කුසලානයට ප්‍රථම සිදුවන්නට පුළුවන. ක්‍රිකට් අහන බලන අපේත් බොක්ක රත්වී ඇත්තේ මේ තීන්දුව කුමක් විය හැකි දැයි සිතෙන විටය.

සිළුමිණ