Language Switcher

V2025

පිතිකරුවන් 280ක් වත් ගහන්න ඕන - සංගක්කාර

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තීරණාත්මක සටනක් අද (ජුනි 11) එංගලන්තයේ බ්‍රිස්ටල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත අතර “ලෝක කුසලානයකදී පිතිකරුවන් අඩුම ගානේ ලකුණු 280ක් වත් ලබා ගත යුතු ” යැයි කුමාර් සංගක්කාර පවසයි.

එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ මෙතෙක් ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාව පරාජය කිරීමට අපොහොසත් වූ බංගලාදේශ කණ්ඩායමය.ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් මෙවර ජගත් කුසලාන තරගාවලියට අවතීර්ණ වූ බංගලාදේශ කණ්ඩායම, ඉන් පසුව නවසීලන්තය සහ එංගලන්තය සමග පැවති තරගවලින් පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මෑතදී පැවති තරගවලදී ශ්‍රී ලංකාවට ප්‍රබල තරගයක් දීමට බංග්ලාදේශය සමත් වූ අතර, පසුගිය වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව බංගලාදේශයේදී එක්දින තරගාවලියක් ජයගත්තේය. කෙසේ වෙතත් දෙරට අතර පැවති අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට බංගලාදේශයට හැකිවිය. ඒ ආසියානු කුසලාන මූලික වටයේ තරගයකදීය.

“ලෝක කුසලානයකදී පිතිකරුවන් අඩුම ගානේ ලකුණු 280ක් වත් ගහන්න ඕන. අපේ පන්දු යවන්නට අවස්ථාව ලබාදෙන්න. පිතිකරුවන් ඒ වගකීම භාරගන්න ඕන,” යැයි කුමාර් සංගක්කාර පවසයි.

“පන්දු යවන්නන් ඇෆ්ඝනිස්තාන් තරගය අපට දිනලා දුන්නා. නමුත් ඒ තරගයත් අපිට ලේසියෙන් දිනන්න තිබුණු එකක් – පිතිහරඹය මගදී කඩාවැටුනේ නැත්නම්.”

ක්‍රීඩාංගනයෙන් ක්‍රීඩාංගනයට, තණතීරුවෙන් තණතීරුවට කණ්ඩායමේ යම් වෙනස්කම් කිරීමට අවශ්‍ය වුවත් සමස්තයක් ලෙස “ලොකු වෙනසක්” කිරීමට අවශ්‍ය නැති බව ද කුමාර් සංගක්කාර සඳහන් කළේය.

ආරම්භක පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරා හා නායක දිමුත් කරුණාරත්න හැර අනිකුත් සියලු පිතිකරුවන් මේ දක්වා පැවති තරග දෙකේදී ම අසාර්ථක වී තිබේ.

“කුසල් මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස් ,ධනංජය ද සිල්වා,යන ක්‍රීඩකයන් තුන්දෙනා තව ටිකක් මානසිකතත්වය දැඩි කරගෙන, තණතීරුව හඳුනාගෙන ඒවගේම තරගයේ තියෙන වාතාවරණය හඳුනාගෙන ක්‍රීඩා කරන්න ඕන. මම දැක්ක එක දෙයක් තමයි – ඔවුන්ගේ ‘Body Language’ කියල අපි කියනවා, ඒක යම් අන්දමක මන්දගාමී බවක් පේනවා පිටියට එද්දී. ඒක වෙනස් කර ගන්න ඕනේ. තාක්ෂණය අතින් ලොකු වෙනසක් කරන්න දැන් වෙලාවකුත් නැහැ අවශ්‍යයි කියල මම හිතන්නෙත් නැහැ,” කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ අසාර්ථක වීම ගැන විශ්ලේෂණයක යෙදුනි.

“කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් කියන දෙන්නගෙම පළමු පන්දු දොළහ තුළ තමයි – හැමවෙලාවෙම ඔවුන් යම් කිසි අන්දමකට දැවී යන්නේ. ඒ පන්දු ප්‍රමාණය හරිහමන් ආකාරයට ක්‍රීඩා කරලා නොදැවී තණතීරුව සහ තරග වතාවරණය හඳුනාගැනීම තමයි ඔවුන්ගේ පළමු වගකීම.”

“ඒ ඕවර් දෙක පන්න ගන්න පුළුවන්නම් දැවී යන්නේ නැතුව – ඊට පස්සේ ඔවුන්ගේ පිතිකරණය ඉතාමත් හොඳ වෙනවා. අපි දැක්කා පුහුණු තරග දෙකේදී ඔවුන් හොඳින් ක්‍රීඩා කළා.” කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ගැන අවධානය යොමුකළ යුතු පන්දුවාර දෙකක් ගැන අදහස් දක්වමින් සංගක්කාර කියා සිටියේය.

මේ අතර අදත්(11) බ්‍රිස්ටල් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට වැසි පතිත වන බවට කාලගුණ අනාවැකි පළවී තිබෙන නමුත් එය සිකුරාදා දින මෙන් තරගය අවලංගු කිරීමට තරම් බාධාවක් නොවනු ඇති බවත් කාලගුණ අනාවැකිවල දැක්වේ.

(බීබීසී )