Language Switcher

V2025

කුණු කූඩයට ගිය මහේලගේ ක්‍රිකට් සැලසුම !

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට නම් ශක්තිමත් පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහයක් අවශ්‍ය බවට ක්‍රිකට් ප්‍රවීණයෝ වසර ගණනාවක සිට හඬ නගමින් සිටිති.

දැනට පවතින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට විශාල කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි වීම හේතුවෙන් එහි තරගකාරිත්වය බෙහවින් අඩුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

එබැවින් ශ්‍රී ලංකාවේ දක්ෂම ක්‍රීඩකයන් ක්‍රීඩා කරන තරගාවලියක් අවශ්‍ය බව ඔවුන්ගේ යෝජනාවය.

මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ප්‍රතිවුහගත කිරීමේ සැලැස්මක් සකස්කිරීම 2015 දී පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනට භාර දුන්නේය.

තියුණු ක්‍රිකට් දැනුමක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන මහේල ජයවර්ධන දශක දෙකකට ආසන්න සිය ක්‍රිකට් අත්දැකීම් මුල්කරගනිමින් නව ක්‍රිකට් සැලැස්මක් සකස් කර 2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන්නේය.

කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් වැනි ශ්‍රී ලංකාව නියෝජනය කළ ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ අදහස් ද සහිතව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක්‍රීඩා විචාරකයන්ගේ අනුදැනුම ද ලබාගනිමින් ඔහු මෙම සැලැස්ම සකස් කළ බව ඒ අවස්ථාවේ නිවේදනය කෙරිණ.

එවකට ක්‍රීඩා සමාජ 14 ක් අතර හොඳම ක්‍රීඩකයන් බෙදීයාම නිසා තරගකාරි නොවන දේශීය ක්‍රිකට් ව්‍යුහය සංශෝධනය කිරීම "ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිවුහගත කිරීමේ සැළැස්ම" යනුවෙන් නම් කරමින් මහේල ජයවර්ධන සකස් කළ ක්‍රිකට් සැලසුමේ ප්‍රධාන අරමුණක් ලෙස දක්වා තිබුණි.

එම සැලැස්ම සකස්කරන අවදියේ 14ක්ව පැවති පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් සංඛ්‍යාව තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනය යටතේ 23 දක්වා වැඩි කෙරුණු අතර එමගින් එම තරගාවලියේ තරගකාරිත්වය තවත් දියාරු වූ බවට චෝදනා එල්ලවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමුඛත්වය දිය යුත්තේ "ගණනට නොව ගුණාත්මකභාවයට" බව මහේල ජයවර්ධනගේ ක්‍රිකට් සැලැස්මේ සඳහන් වෙයි. (Quality over Quantity).

මහේල යෝජනා කළ ක්‍රිකට් සැලසුම

1. අවුරුදු 24න් පහළ පළාත් තරගාවලිය, (අවුරුදු 20න් පහළ ක්‍රීඩකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සහිතව)

2. අන්තර් සමාජ එක්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකරයේ )

3. අන්තර් සමාජ තුන්දින තරගාවලිය (දැන් ක්‍රීඩා කරන ආකාරයේ)

4. අන්තර් පළාත් සිව්දින, එක්දින හා විස්සයි විස්ස තරගාවලි

අතීතයේ අවස්ථා කිහිපයකදී පළාත් තරගාවලි ක්‍රීඩා කළ නමුත් එහිදී සිදුවුයේ එම අවස්ථාවේ සිටි ක්‍රීඩකයන් කණ්ඩායම් හතරකට බෙදා ක්‍රීඩා කිරීමය. එහි කිසිදු ස්ථිර පදනමක් නොතිබූ අතර ක්‍රීඩකයන් පළාත් කිහිපයකට ක්‍රීඩා කිරිමත්, එම කණ්ඩායම් එම තරගාවලියට පමණක් සීමාවීමත් එහි තිබු ලක්ෂණ විය.

කෙසේ වෙතත් මහේල ජයවර්ධනගේ මෙම යෝජනාවේ සඳහන් වන ආකරයට ශ්‍රී ලංකාව පළාත් 5කට වෙන්කර ස්ථිර පදනම මත එම පළාත්වලට ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ වෙන්කිරීමක් සිදුවේ.

එම සෑම තරගාවලියක්ම සෑම වසරකම නිශ්චිත කාලසීමාවක් වෙන් කිරීමට එහි යෝජනාවී තිබුණි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පහක් වටා මෙම කණ්ඩායම් ගොඩනැගිය යුතුය.

1. බස්නාහිර පළාත - SSC ක්‍රීඩාංගණය, කොළඹ

2. දකුණු පළාත - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

3. ඌව පළාත - හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

4. මධ්‍යම පළාත - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

5. උතුරු පළාත - දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

මෙම සෑම පළාතකටම අන්තර් සමාජ කණ්ඩායම් දෙකක් හෝ තුනක් සමග එම පලාත්වල ඇති කණ්ඩායම හා එම පළාත්වල ඇති පාසල් කණ්ඩායම් අනුයුක්ත කළ යුතු බව ද යෝජනාවේ සඳහන් වේ.

රී ලංකාවේ අනිකුත් පළාත් මෙම යෝජනා කරන පළාත් පහටම එක්කර ප්‍රදේශ බෙදාගැනීමක් සිදුකළ යුතුය; ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් මෙන් එම පළාත් සඳහා තේරීම් කමිටු පත්කර එමගින් එම කණ්ඩායම් තෝරාගැනීම මෙන්ම එම පළාත් සඳහා ස්ථිර වෘත්තීය පුහුණුකරුවන් පත් කළ යුතු බවද එහි සඳහන් වේ.

ක්‍රීඩකයන්ට ගෙවීම්

ශ්‍රී ලංකාවේ ජාතික කොන්ත්‍රාත් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කට සීමා කළ යුතු බවට යෝජනා කරන මහේල ජයවර්ධන, ඇතැම් අවස්ථාවල ක්‍රීඩකයන් 100කට පමණ කොන්ත්‍රාත් ලබාදීමෙන් මෙම කොන්ත්‍රාත්තුව ලබාගැනීමේ "වටිනාකම" හා "දිරිගැන්වීම" අහෝසිවන බව පෙන්වාදී තිබේ.

පළාත් කණ්ඩායම්වලින් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රමයක් ද ඔහු යෝජනා කර තිබේ.

CATEGORY A: වසර 10කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කිරීම හෝ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 4ක්

CATEGORY B: වසර 5කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 3ක්

CATEGORY C: වසර 3කට වඩා ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට - වාර්ෂිකව රුපියල් ලක්ෂ 2ක්

CATEGORY D: අනිකුත් ක්‍රීඩකයකුට වාර්ෂිකව රුපියල් ලක්ෂයක්

1 3

වාර්ෂිකව ලබාදෙන මෙම මුදලට අමතරව මෙම ක්‍රීඩකයකු ක්‍රීඩා කරන සිව්දින තරගයකට - රුපියල් 80,000ක්, එක්දින තරගයකට - රුපියල් 25,000ක් සහ විස්සයි විස්ස තරගයකට - රුපියල් 15,000ක් ගෙවීමටද යෝජනා කෙරේ.

ශ්‍රී ලංකාවේ දක්ෂ දේශීය ක්‍රීඩකයන් විදේශගතවීම වලක්වා ඔවුන් දේශීය තරගවලට යොදවා වෘත්තීය ගෙවීමක් සිදුකළ යුතු බවට දිගින් දිගටම යෝජනාවී තිබුනි. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තරගාවලියේ ක්‍රීඩා කිරීමේ "පිළිගැනීමක්" ලෙස හා "දිරිගැන්වීමක්" මෙම ගෙවීම සිදුකළ යුතු බව මහේල ජයවර්ධනගේ යෝජනාවය.

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩාවද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව යෝජනා කරන ඔහු හැකිනම් පාසල් ක්‍රිකට් අවුරුදු 20න් පහළ දක්වා ගෙන ආ යුතු බව පවසයි.

එමගින් ක්‍රීඩා සමාජ වලට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන ක්‍රීඩකයන්ට තවත් වසරක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට අවස්ථාවක් හිමිවන බව ඔහුගේ අදහසය.

පාසල් ක්‍රිකට් පළාත් ක්‍රිකට් ව්‍යුහය යටතට පත්කිරීම මගින් පාසල් ක්‍රිකට් තවත් දියුණු කළ හැකි බව ද එම යෝජනාවේ සඳහන් වේ.

පාසල් තරග කාල සිමාවේ උපරිම තරග 16ක් ක්‍රීඩා කිරීම, 20න් පහළ තෙදින හෝ සිව් දින පළාත් තරගාවලියක්, 20න් පහළ එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමටද එහි යෝජනා කර තිබේ.

ක්‍රිකට් පරිපාලන ව්‍යුහය

මෙම පළාත් පරිපාලනය සඳහා එම පළාත් වලට සම්බන්ධ ක්‍රීඩා සමාජ සහ පාසල් අතරින් තෝරාගත් නිලධාරීන් පත්කළ යුතු බව තවත් යෝජනාවකි.

එයට අමතරව ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳව ද මහේල ජයවර්ධන සිය යෝජනාවේ කරුණු සඳහන් කර තිබේ.

රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කළ යුතුය. එම කමිටුවට පත්කළ යුත්තේ දේශපාලනයට සහ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නොවූ ස්වාධින පුද්ගලයන් බව ද මහේල ජයවර්ධන යෝජනා කරයි.

ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපත්තිමය තීරණ නිරික්ෂණය කිරීමට අමතරව ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ තීරණ සම්බන්ධයෙන් නිශේධ බලයත් එම කමිටුවට හිමිවිය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාමාජිකයන් 10 දෙනෙකුට සිමා කිරීම, සභාපති ධූරය සෑම වසර දෙකකට වරක් වෙනස් කිරීම, වසර අටකට වඩා විධායක කමිටුවේ කටයුතු කිරීමට නොහැකිවීම සහ පළාත් ක්‍රිකට් ව්‍යුහයේ සභාපතිවරුන් විධායක කමිටුව නියෝජනය කිරීම වැනි යෝජනා ද එයට ඇතුළත්ය.

ජන්ද, දේශපාලනය, බලය සහ පුද්ගලික න්‍යාය පත්‍ර සඳහා වැඩ නොකර විනිවිද පෙනෙන, වෘත්තීයමය සහ ගුණාත්මක භාවය මූලික කරගනිමින් කටයුතු කළ යුතුය.

සැලසුමට මොකද වුනේ ?

2015 වසරේ මහේල ජයවර්ධන සිය සැලැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දුන් අතර එය ක්‍රියාත්මක කරන බවට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි නිවේදනය කළේය.

123

ප්‍රථම අන්තර් පළාත් තරගාවලිය 2016 වසර මුලදී පවත්වන බවටත් නිවේදනය විය.

කෙසේ වෙතත් 2016 ජනවාරියේ තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් පත්වුණු නව ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව එම යෝජනාව ඉවත දමමින් ඒ වනවිටත් පැවැත්වීමට සැලසුම් කර තිබු අන්තර් පළාත් තරගාවලිය නවතා දැමීමට තීරණය කළේය.

පළාත් තරගාවලියක අවශ්‍යතාව තිබෙන නමුත් මහේල ජයවර්ධන සකස් කර තිබූ ව්‍යුහයේ සංයුතිය ගැන සහ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගැටළු පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ අවස්ථාවේ සඳහන් කළේය.

මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්වි සභාපති තිලංග සුමතිපාලගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

ලබන වසරේ පළාත් හතරකින් සමන්විත සුපිරි පළාත් තරගාවලියක් පවත්වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

(බීබීසී)