Language Switcher

V2025

බෞ.කො.ජ : කතරගම දෙයියන්ගේ දේ ගැන - මේ ප්‍රශ්නවලට උත්තර තියනවාද ?

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ දොන් පියතිස්ස කුමාරගේ ගේ සේවය වහාම අත්හිටුවීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර තීරණය කරනු ලැබූ බව වාර්තා වුයේ පසුගිය අප්‍රේල් 10 වනදා සිටය.

ඒ වෙනුවෙන් වන අමාත්‍ය විධානය ලබාදී තිබුණේ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් වන අතර අමාත්‍යවරයා ඒ බව 09 වනදා මාධ්‍ය වෙතද අනාවරණය කර තිබිණ.

කතරගම බස්නායක නිලමේ වූ දොන් පියතිස්ස කුමාරගේ (ඩී.පී.කුමාරගේ) ගේ සේවය මීට පෙරද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර විසින් අත්හිටවූවා අපට මතකය. ඒ 2017 අගෝස්තු මාසයේය. ඊට ආසන්නතම සිදුවීම වුයේ කතරගම මහදේවාලයේ යතුරක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබා ගත් බවට වන සිද්ධියක් ය.

තවත් වසර 2ක් ධුරය දැරීමට තියනවා

ඒ අනුව නැවත වරක් ඩී.පී.කුමාරගේ ගේ බස්නායක නිලමේ පදවියට තට්ටු වන්නට යන බවක් පෙනෙන්නට ඇත. ඒ ඔහුට එම ධුරය දැරීම සඳහා තවත් වසර දෙකක් තිබියදීය.

මෙවර සේවය අත්හිටුවීමට අදාළව අමාත්‍යවරයා සඳහන් කරන්නේ මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා රැසක් නිලමේවරයාට එල්ලවී තිබෙන බවත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයකදී අනාවරණයවී තිබෙන බවය. එසේම කතරගම මහ දේවාලයේ මූල්‍ය පරිපාලනය පිළිබඳව විධිමත් විගණනයක් ස්වාධීනව පැවැත්වීමේ අරමුණින් බස්නායක නිලමේවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් කරන බවත් එය විගණකාධිපති දෙපාර්තමේන්තුව කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ විගණන වාර්තාවට අනුව බස්නායක නිලමේවරයා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

කිසියම් පාර්ශවයකට මුල්‍ය චෝදනාවක් ඇත්නම් ඒ ගැන විමර්ශනය කළ යුතුවා මෙන්ම ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම ගැන වාදයක් නැත. එය අනිවාර්යයෙන් සිදුවීම ශිෂ්ට සමාජයක සිදුවිය යුත්තක්ය. එසේම මිනිස් සමාජය ඊට අදාළ නීති අණපනත් සම්මත කරගෙනද ඇත. ඒ අනුව වැඩේ කොතරම් හොඳ වුවත් සිදුකළ යුත්තේ ඒ අණපනත්, ව්‍යවස්ථා වලට අනුවය. දෙයියන්ගේ දේ කෙසේ වෙතත් මනුස්ස ක්‍රමයේ නියමය එයය.

ඒ නිසාම දෙයියන්ගේ පමණක් නොව බුදුන්ගේ දෙයක් වුවත් ඒ කරන්නේ කෙසේද යන්නට අණපනත් ඇත. ඒ නිසා මොකක් කළත් කලයුතු වන්නේ ඒ ක්‍රමයට මිස එයින් පරිභාහිරව නොවේය. පොතේ හැටියට වැඩේ යන්නේ නෑ කියන්නේ එතැන වෙන ගේමක් ඇති බවය.

ඇත්ත ප්‍රශ්නය ඇත්තේ මුදල් සම්බන්ධව

කතරගම සිදුවීම කාලයක පටන් නිරීක්ෂණයෙන් සිටි අපට මේ මොහොතේ කියන්න ඇත්තේද ඒ කතාවමය.

ඒ හැර මෙතනදී කතරගම දෙයියන්ගේද නැතිනම් අහවල් දෙයියාගේද කියා වෙනසක් අපට නැත. ඒ දෙයියලා සමඟ ගනුදෙනුවක් අපට නැති නිසාය. අප ගනුදෙනු කරන්නේ මිනිසුන් සමඟ නිසා "දේවාලයේ මිනිසුන්ගේ ප්‍රශ්නය" සමඟ බවද සිහිකළ යුතුව ඇත.

කතරගම සිදුවීමේ ඇත්ත ප්‍රශ්නය ඇමැතිවරයාද කියූ ලෙස තිබෙන්නේ මුදල් වලය. ඒ අනුව අපේ සුදානම දේවාලයේ මුදල් ප්‍රශ්නයේ බොහෝ දෙනෙකුට අත්හැරුණු කළාපයක් පෙන්වන්නටය.

ජන්දයෙන් පරාජයවූ අපේක්ෂකයා වැඩ බලන්න පත්කරලා

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට කුමාරගේ මහතා වෙනුවට වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස දිල්රුවන් රාජපක්ෂ මහතා පත් කර ඇත. එසේම එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ දිල්රුවන් රාජපක්ෂ මීට පෙර කතරගම බස්නායක නිලමේ ධුරය සඳහා තරග කළ අයෙකු බවය.

එසේම අදාළ පත්කිරීම සැකසහිත බවත් මේ සූදානම් වන්නේ කතරගම දේවාලයේ පරිපාලන අර්බුදයක් ඇතිකොට දිල්රුවන් රාජපක්ෂව බස්නායක නිලමේ කිරීමේ කූට සැළැස්මක් බවද දැනගන්නට ඇත.

ඒ බව පෙන්වා දෙන විශ්වාසවන්ත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මීට පෙර කතරගම දේවාලයේ කපුමහතුන් සහ බස්නායක නිලමේ අතර පැනනැගුණු ගැටළුවේදී බස්නායක නිලමේ වරයාගේ සේවය අත්හිටුවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙකු පත්කරන්නට තීන්දු කළත් මේ අවස්ථාවේ මීට පෙර නිලවරණයකට ඉදිරිපත්වුවකු ඊට යෙදවීම තුළ බරපතල සැකයක් මතුවන බවය.

15.1 පරීක්ෂණයක් ඕන නැද්ද ?

එසේම 1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් ආඥා පනත යටතේ බස්නායක නිලමේ සම්බන්ධව ප්‍රශ්නයක් ඇත්නම් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ එහි 15.1 කොටසේ පැහැදිළිව දක්වා තිබෙන බවත් නමුත් මේ කටයුතු සිදුවන්නේ ඒ ආකාරයට නොවන බවද වාර්තා වෙයි.

15.1 පරීක්ෂණය හරහා ඉතා පැහැදිළිව මේ ප්‍රශ්නය විසඳාගත හැකි බවත් ඊට අනුව බස්නායක නිලමේ වරයා වරදක් සිදුකර ඇත්නම් ඔහුව ධූරයෙන් නෙරපීමට, නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම රුපියල් 200.00 ක දඩයක් පැනවීමට පවා අවස්ථාව තිබෙන බව එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

මේ තුල තිබෙන සැබෑ ප්‍රශ්නය ඇත්තේ දේවාලය අරක්ගෙන සිටින කපුමහතුන් කිහිපදෙනෙකු සමඟ එකතුවූ පිරිසක් එහි ඇති ආදායම් වංචනිකව බෙදා ගැනීමේ සුදානම බවත් ඊට මැදිහත්ව සිටින පාර්ශවයට වත්මන් බස්නායක නිලමේ අනුගත නොමැති බැවින් ඔහුව ධුරයෙන් ඉවත්කරන්න ගන්නා උත්සාහයක් බවත් එම වාර්තා පෙන්වා දෙයි.

අමාත්‍යංශ නිලධාරියකුගේ මේ කතාවත් අහන්න

මේ සම්බන්ධව අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු සමඟ newatube සිදුකළ නිල නොවන කතා බහේදී වූ අනාවරණය මෙසේය.

"මෙතන තියෙන්නේ සල්ලි බෙදාගැනීමේ ප්‍රශ්නයක්. සොමිපාල රත්නායක ප්‍රධාන කපු තැන එක්ක ආව ගමන්ම දැන් ඉන්න බස්නායක නිලමේ ප්‍රශ්නයක් හදාගත්තා. ඒ දේවාලයේ කපුවන්ගේ තේවා කරන කාලයට තුණ්ඩු දාන ක්‍රමයක් හඳුන්වාදීලා.

එතැනදී දේවාලයේ ප්‍රධාන කපුවන් 5ක් හිටියා. මේ අය එක්කෙනෙක් එක මාසය ගානේ මාස 5ක් තේවා කරනවා. ඒ ඒ මාස වල ආදායම ඒ අයට. හැබැයි හැම කෙනාම ලක්ෂ 20ක් දේවාලයට දෙන්න ඕන. ඉතිරි මාස 7ට තුණ්ඩු දාලා ඒ ඒ අයට තේවා දුන්නා. ඇසල මාසයේ විතරක් තේවාව කරන කෙනා ලක්ෂ 30ක් දේවාලයට දෙන්න ඕන.

දැන් හිතන්න පුළුවන්ද මෙතන තියන ආදායම. ඔය විදිහට වැඩේ යනකොට එක පාරක් සොමිපාල රත්නායක ප්‍රධාන කපු තැන තුන්ඩු මාසයට අමතරව තවත් මාසයක් බලෙන් වගේ තේවාව බාරනොදී කරගෙන ගියා. අපිටත් ඒ ගැන වාර්තා වුණා. ඒත් ඒ වෙලාවේ මොකුත් වුණේ නෑ. පස්සේ ඊළඟ මාසයත් එයා බලෙන් කරන්න යනකොට තමයි බස්නායක නිලමේ අර යතුර ගත්තා කියන ප්‍රශ්නය ආවේ.

එතැනත් ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් බස්නායක නිලමේ බලෙන් යතුර ගත්තාද කියන එක. අනික මේ සිද්ධිය මුල් කරගෙන කපු පාර්ශවයේ මැරයන් පිරිසක් බස්නායක නිලමේ වලව්වට පැනලා බඩු මුට්ටු විනාශ කරලා තර්ජනය කලාය කියන එක.

ඔය බස්නායක නිලමේ වලව්වට පැනලා යකා නටපු සිද්ධිය ගැන තවමත් තිස්සමහාරාම අධිකරණයේ නඩුවක් යනවා. ඔය ප්‍රශ්නය තමයි මේ ඇදීඇදී යන්නේ.

ඔය කොයි අයියත් අන්තිමට කපු තැන් ශේප් කරගෙනයි ඉන්න බලන්නේ. දැන් දැක්කනේ මුවමස් කිලෝ 20ක් තිබිලා අහුවුණා. නීතියෙන් තහනම්, ඒත් කපුවා කියනවා පුජාවට ගෙනාවේ කියලා. හොඳම සිද්ධිය කියන්නේ පුජාවට ගෙනාව මස් තිබුණේ දේවාලයේ පුජාසනයේ නෙවෙයි, කපුවාගේ ෆ්‍රිජ් එකේ. ඔන්න ඕකයි තත්ත්වය."

ඒ ඔහුගේ කතාවය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගේ විමර්ශන වාර්තාව කෝ ?

අනතුරුව අප ඔබගේ අවධානයට යොමු කරන්නේ ඉහත යතුරු සිදුවීමට අදාළ අමාත්‍යංශ විමර්ශනය සිදුවූ ආකාරයය සහ ඉන් අනතුරුව වූ සිදුවීම් පෙළ ගැස්මේ තිබෙන බරපතල සැකසහිත කලාපයයි.
පළමුව යතුරේ - වලව්වේ සිදුවීම සම්බන්ධව අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට ඇමතිගේ පුතා (හෝ ඥාති) මෙන්ම,දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින්, බස්නායක නිලමේ, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිසිය, කපුමහතුන්ගේ පාර්ශවය සහභාගීව ඇත.

එහිදී දෙපාර්ශවයටම අදාළව චෝදනා ඉදිරිපත් වූ බැවින් ඒ ගැන සොයා බලන්නට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකුගෙන් යුතු කමිටුවක් පත්කරන බවට අමාත්‍යවරයා දැනුම්දී ඇත.

ඒ අනුව දැන් අමාත්‍යවරයා කියන්නේ අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන මෙම වැඩ තහනම සිදුකල බවය. කෙසේ වුවත් මේ සිදුවීම් පෙළ නිරීක්ෂණයෙදී මතුවන ප්‍රශ්න මෙසේය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමනි, මේ ප්‍රශ්න ඔබේ අවධානයට නොව පිළිතුරු අපේක්ෂාවෙන් බව සළකන්න

1. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ වාර්තාවේ සඳහන් කාරනා ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි ?

2. එය රහස්‍ය වාර්තාවක්ද?

3. එම විමර්ශනයේදී තුණ්ඩු ක්‍රමය උල්ලංඝණය කිරීම සම්බන්ධව ප්‍රධාන කපුතැනට චෝදනා නැද්ද?

4. බස්නායක නිලමේ වරයා ඔවුන් සම්බන්ධව එල්ල කරන චෝදනා විමර්ශනය කර නැද්ද?

5.නිදර්ශනයක් වශයෙන් ගිවිසුම් ගත ආකාරයට මාසිකව දේවාලයට ලක්ෂ 20 බැගින් ගෙවා තිබෙනවාද යන්න සොයා බැලීම වැදගත් නැද්ද?

6. දේවාලයට නියමිත පරිදි ගෙවිය යුතු මුදල් කපුතැන් විසින් ලබානොදෙන බවට වන පැමිණිලි කීයක් විභාග කර තිබෙනවාද?

7. ඒවා මුදල් ප්‍රශ්න නොවේද?

8. 1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් ආඥා පනත යටතේ , බස්නායක නිලමේ වරයාට 15.1 පරීක්ෂණයක් සිදුනොකරන්නේ මන්ද?

9. බස්නායක නිලමේගේ වැඩතහනමට අදාළව චෝදනා පත්‍රයක් නිකුත් නොකළේ ඇයි ?

10. වැඩබලන පදනමින් බස්නායක නිලමේ තනතුර සඳහා දිල්රුවන් රාජපක්ෂ පත්කිරීමේ විශේෂත්වය මොකක්ද?

11. ඔහු වෙනුවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වරයෙකු පත් නොකිරීමට ඇති විශේෂ කාරණය මොකක්ද?

12. බෞද්ධ කටයුතු අමාත්‍යංශයට අයත් 1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් ආඥා පනත යටතේ ගැනෙන වැඩිහිටි කන්ද, කිරිවෙහෙර මුදල් කටයුතු සිදුවන ආකාරය සහ එය විධිමත්ව සිදුවන බවට බලධාරීන්ට සහතික කළ හැකිද?

13. කතරගම මුලික විමර්ශනයක වාර්තාව පවා සඟවා එහි බස්නායක නිලමේ ඉවත්කරන පදනමින් රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ ඉවත් නොකරනේ ඇයි?

14. රත්නපුර මහා සමන් දේවාලයේ සිදුවූ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව නිකුත් කර ඇති විගණන වාර්තාව ගැන අමාත්‍යවරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් නොදන්නවාද?

මේ ප්‍රශ්න අපට මතුවුයේ කතරගම දේවාලයේ ගිණුම් පවා අත්හිටුවමින් එහි සේවක වැටුප් පවා ගෙවීමට නොහැකි වන ලෙස නටන විජ්ජුම්බරය දෙස බලා සිටින විටය. දැන් ඉතිං ඒ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ අයිතිය වගකිව යුතු පාර්ශව වන ඔබ සතුය. දුෂ්කර ප්‍රශ්න ඇත්නම් ඒවාට අවශ්‍ය උත්තර ඇමතිතුමා වෙතින් විමසන්නටද ඔබට අවස්ථාව ඇත. අවම වශයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ඒ කතරගම ගොස් වැඩියෙන් ඉල්ලා වැඩියෙන් පුදා කෙළවා ගන්නා මිත්‍යා දෘෂ්ටිකයන්ට යුක්තිය ඉටුකර දෙන්නට නොව. දෙයියන්ට කෙසේ වෙතත් රටේ නීතියට ඔබලා කොතරම් මහත්වරුන්ද යන්න ජනතාවට දැනගන්නටය. එසේම මිත්‍යා දෘෂ්ටිකයන්ටද හැදෙනවා නම් ඉගෙනගන්න දෙයක් මෙහි ඇත. මේ මල් වට්ටියට අපි අතගැසුවේද ඒ නිසාය.

හරෝ හරා .. කවුද හොරා..!!!

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found