V2025

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාට නාගරාජා පෙනේ පුප්පයි : ලොක්කා අල්ලස් දැලේ

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම (ඔව්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා) සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක (ඔව්, හිටපු ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා)  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

රුපියල් කෝටි දෙකක පමණ මූල්‍ය අල්ලසක් ලබා ගනිමින් සිටියදී මෙම  රාජ්‍ය නිලධාරීන් දෙදෙනා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගත්බව එහි ආරංචිමාර්ග තහවුරු කර සිටියි. 

මෙම අල්ලස් ගැනීම සිදුව ඇත්තේ කොළඹ පිහිටි ටාඡ් සමුද්‍රා  හෝටලයේදී ය.

දිසාගේ පුතා එජාප ප්‍රබලයකුගේ බෑනා 

එසේම සංස්ථාවේ සභාපති පී.දිසානායක  පුත්‍ර‍යා ද මෙම අල්ලස්  ( ඔහු කුරුනෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ අලවතුවලගේ ගේ බෑනා ය) ගැනීමේ කාර්යයට සම්බන්ධ බවට වාර්තා වී ඇති බව අල්ලස් කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනුණු අයි.කේ.මහානාම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෑතදී පත්වීම් ලද රාජ්‍ය නිලධාරියෙකු වන අතර ඊට පෙර ඔහු ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය.

කැෆේ  කීර්තිගේ අනාවරණය 

ගෙවී යන්නේ වෙසක් සමයයි. "ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාට  නාගරාජා පෙනේ පුප්පයි : ලොක්කා අල්ලස් දැලේ" යන ශීර්ෂයට "නාගරාජා කතා වස්තුව" කීවාද වරදක් නැත. ඒ මේ අත්දැකීම අපේ කාලයේ ජාතක කතාවක් ලෙස අපට ඉගෙන ගන්න දෑ බොහොමයක් එක්කරන නිසාය.

"කන්තලේ මගඩියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ගැන කැෆේ ප්‍රධානියා කියන කතාව" යන ශීර්ෂයෙන් යුතුව මීට පෙර මේ ගැන පුවතක් newstube.lk වෙබ් අඩවියේ පළව ඇත. 

කතාවේ මුල ඇත්තේ දින 100 ආණ්ඩුවේ මුල 

මේ සුදානම එහි මුල මැද ගලපන්නය. කතාව ආරම්භ වන්නේ යහපාලනයේ "දින 100" ආණ්ඩුවෙන්ය. දින 100 ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු එම ආණ්ඩුව පිහිටුවීමේදී ඉඩම් අමාත්‍යංශය පවරා ගන්නේ කන්තලේ ප්‍රදේශයේ ඉඩම් සහ නිවාස  නොමැති තම  පාක්ෂිකයන්ට සැළකීමට අවශ්‍ය බව දන්වමින්ය.

ඒ අනුව එම දේශපාලනඥයාට ඉඩම් අමාත්‍යංශය මෙන්ම කන්තලේ ප්‍රදේශයේ ඉඩම් අක්කර 45 000 ක් ද අදාළ කටයුත්ත සඳහා හිමිවෙයි. එහෙත් පොතේ සඳහන්ව ඇත්තේ ඉඩම් අක්කර 21 000ක් ලෙසය. මේ ප්‍රකට දේශපාලනඥයා කන්තලේ ශ්‍රීලනිප සංවිධායක වූ බැවින් ඔහුට කන්තලේ මේ බිම හිමිවන අතර ඒ අතර වැව් 21 ක් පමණද වෙයි. මේ අදාළ ඉඩම් කොටස ඉහළ වටිනාකමක් ගන්නේ මැණික් ඉල්ලම්ද රාශියක් එහි වන නිසාය. එසේම අදටත් මේ ප්‍රදේශයේ නීති විරෝධී මැණික් ගැරීම ජාවාරමක් ලෙස සිදුවන්නේය.
කෙසේ හෝ වේවා මේ ඉඩම් ප්‍රමාණයෙන් කොටසක් ව්‍යාපාරික ආයෝජන සඳහා මුදාහරින්නට ඒ සමයේ ඉහත කී  දේශපාලනඥයා සමඟ රජය තීන්දු කරන අතර ඒ ආයෝජනය

ඇමරිකානු ඩොලර් මිලියන 100කි. 

එම්ජී සුගර් නම් ඉන්දීය සමාගම මේ සඳහා ඉදිරිපත් වන අතර කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම ඇතුළුව  ‘කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය‘ ලෙඅ එය නම් වෙයි.

ගලධාරියේ කමල් සහ මිතුරන් සමඟ නාගරාජා කරළියට 

එම්ජී ෂුගර්ස් වෙනුවෙන් ආයෝජකයා ලෙස ඉදිරිපත්වන්නේ ඉන්දීය ව්‍යාපාරික නාගරාජා නම් පුද්ගලයා වන අතර අදාළ ආයෝජනය BOI ව්‍යාපෘතියක් ලෙස ඉදිරිපත් වෙයි. ඒ අනුව එම සමාගමට ඩොලර් මිලියන 10ක තැම්පතුවක්ද සිදුකිරීමට නියම වෙයි. 

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නාගරාජා මැදිහත් කරගනු ලබන්නේ ගලධාරී හෝටලයේ පස්වන මහලේ ජීවත් වන කමල් ඉරුගල්බණ්ඩාර නම් තැරව්කාර ව්‍යාපාරිකයාය. එම ආයෝජනය එවකට ඉඩම් අමාත්‍යංශය වෙත සම්බන්ධ කරන්නේද කමල් ඉරුගල්බණ්ඩාරගේ ව්‍යාපාරික මිතුරන් පිරිසක්ය.

ප්‍රියන්ත, මාවනැල්ලේ බණ්ඩාර, අජිත්, හබරකඩ හෝටල් සරත් යන අය ඒ අතර ප්‍රධානය. ඒ සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම කටයුතු කරමින් සිටියේ ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වශයෙන්ය. අයි.කේ.මහානාම හබරකඩ හෝටල් සරත් ගේ හිතවතෙකු වන අතර කමල් ඉරුගල්බණ්ඩාර අතරමැදියා ලෙස නාගරාජා නම් ඉන්දීය ව්‍යාපාරිකයා අදාළ ආයෝජනය වෙනුවෙන් සම්බන්ධ වන්නේද මේ දිගු හිතවත්කම හරහාය.

එසේම මේ සඳහා ජපන් බණ්ඩාර, දීපිකා, කන්තලේ සීනි සමාගමේ ඉහළම පෙළේ නිලධාරියකු, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියෙකුද මැදිහත්ව ඇත. 

ප්‍රබල දේශපාලනඥයා වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2ක් 

කෙසේ වුවත් කන්තලේ සීනි සමාගම ඇතුළුව ඒ ආශ්‍රිත ඉඩම් ප්‍රමාණයක් ලබාදීම වෙනුවෙන් අදාළ ප්‍රබල දේශපාලනඥයා වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලබාදීමට නාගරාජා වෙත නියමව ඇත. එසේම එහි අමාත්‍යංශ පරිපාලන වගකීම ඉටුකිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් එවකට ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වූ අයි.කේ.මහානාම වෙත ලබාදෙන්නටද නාගරාජා ට සිදුවෙයි.

මේ අතර තුර කාලයේදී ප්‍රබල දේශපාලනඥයා මියයන අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වන ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වූ අයි.කේ.මහානාම  රුපියල් කෝටි 10ක්  ගැනීම වෙනුවෙන් නාගරාජා වෙත බලපෑම් කරන්නට ගෙන ඇත.

අයි.කේ.මහානාම : කෝටි 10ක්  කඩන්න ගේමට බහී 

එහෙත් එම සම්පුර්ණ මුදල ලබාදීමට නාගරාජා ප්‍රතික්ෂේප කිරීම තුළ ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වූ අයි.කේ.මහානාම ඔහුට බලපෑම් කරන්නේ අදාළ ආයෝජන ව්‍යාපෘතිය සඳහා වූ කැබිනට් සංදේශය දෝෂ සහගතව සකස් කිරීමය. ඒ නිවැරදි කර ඉදිරිපත් කරන්නට නම් අදාළ කෝටි 10 ක් තමාට ලබාදිය යුතු බව අයි.කේ.මහානාම විසින් නාගරාජා වෙත අවස්ථා ගණනාවකදී බලපෑම් කළ බවද මේ වන විට අනාවරණය වී ඇත.

එසේම එම මුදල ලබා නොදෙන්නේ නම් BOI ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට තම අත්සන ලබානොදෙන බවටද ඔහු තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි. 

එසේ වුවත් නාගරාජා දිගින් දිගටම උත්සාහ කර ඇත්තේ අයි.කේ.මහානාම මඟහැර සිය ආයෝජන අවස්ථාව ලබා ගැනීමටය.

නාගරාජාට : මලික් - ජෝන් පිහිට වෙයි 

නාගරාජා වෙත ඒ අවස්ථාව හිමිවන්නේ ඉහත කී දේශපාලන ප්‍රබලයාට පසුව ඉඩම් අමාත්‍යධුරය ලබා ගන්නා ජෝන් අමරතුංග සමයේදී ය. ඒ සමයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා හරහා අමාත්‍ය ජෝන් අමරතුංග සම්බන්ධ කරගෙන කන්තලේ ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා ගැනීමට  ගිවිසුම් අත්සන් කරගෙන ඇත.

පසුව ඔහු ඒ වන විටත් ඩොලර් මිලියන 10ක් ආයෝජනය සඳහා යටකර තිබු නිසාත්  ඉදිරි ආයෝජන කටයුතු සඳහාත් කන්තලේ සීනි කර්මාන්තශාලාවේ තිබු අබලි යකඩ විකුණා ගැනීමට ඉල්ලා ඇති අතර එහෙත් එම අවස්ථාවේ අමාත්‍යංශ ලේකම් මහානාම සිය බලතල යොදා එය ප්‍රතික්ෂේප කර ඇත.

පසුව මුදල් අමාත්‍යංශයේ නීති නිලධාරියෙකුද ඇතුළත්ව එම ප්‍රශ්නය විසඳීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපතිවරයා වී ඇත්තේද මහානාම ය. එසේම කර්මාන්ත ශාලාවේ අබලි ද්‍රව්‍ය ආයෝජකයාට නොමිලේ විකුණා ගැනීමට අවස්ථාව ලබාදීම ගැන ප්‍රදේශයේ ජනතාවද විරෝධය දක්වා ඇති අතර එම ප්‍රශ්නය අවසානයේ ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ලෙස ඉදිරිපත්ව ඇත.

එහිදී ජනාධිපතිවරයා අදාළ කමිටුව විසුරවා අබලි යකඩ තරගකාරී මිලකට වෙන්දේසි කරන ලෙස දන්වා ඇත.
කෙසේ වුවත් මහානමගේ බලපෑම් හේතුවෙන් වසර දෙකක් පුරා ‘එම්.ජී. සුගර් හා රජය ‘ජාත්‍යන්තර බේරුම්කරණයට‘ යන තැනට වැඩ සිදුව ඇති අතර නාගරාජා ද උත්සාහ දරා ඇත්තේ කෙසේහෝ තම ආයෝජන අවස්ථාව ලබා ගැනීමටය.

ඒ හමුවේ මහානාම ද උත්සාහ දරා ඇත්තේ කෙසේ හෝ අදාළ අල්ලස නාගරාජා වෙතින් ලබා ගන්නටය.

මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වෙයි 

ඉබ්බා දියට දැම්මා මෙන් මහානාම නම් තක්කඩි නිලධාරියාට මීට මාස කිහිපයකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත්වීම ලැබෙන්නේ ඔය අතර තුරේය. එතැන් පටන් තම නිලය යොදාගෙන මහානාම නම් දුෂිතයා නාගරාජා වෙත බලපෑම් කරමින් අදාළ අල්ලස කෙසේ හෝ ලබා ගන්නට උත්සාහ ගෙන ඇත. 

නාගරාජා පෙනේ පුප්පයි : මහානාම කොටුවෙයි 

දිගින් දිගටම සිදුවන මෙම රාජ්‍ය නිලධාරී බලපෑම ඉවසාගත නොහැකිවූ නාගරාජා අවසානයේ කොටි 10 අල්ලසින් එක් වාරිකයක් ලෙස කෝටි දෙකක මුදලක් දෙන්නට පොරොන්දුවී ඇත්තේ ඒ අනුවය. එහෙත් ඒ අදාළ ආයෝජනය ලබාගන්න නොව ජනාධිපතිවත් අපකීර්තියට පත්කරන මේ දුෂිත නිලධාරියා අල්ලස් කොමිසමට අල්ලා දෙන්නය.

අද මහානාම සහ දිසානායක යන අන්ත දුෂිත නිලධාරීන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය. 

ආණ්ඩුවේ දුෂණ විරෝධී වාචාලයනි, ගාමිණි සෙනරත්ගේ බඩ : හිනා වෙලාම කොර වෙලා ඇති 

ඒ අනුව පෙනී යන්නේ දේශපාලනඥයින් අමාත්‍යංශ ලැබීමේදී සිය විෂය පථ ගැන මාරාන්තිකව උනන්දු වන්නේ ජනතාවට සේවය කිරීමට වඩා පරම්පරා ගණනකට මල්ල පුරවා ගන්න අවස්ථාව ගැනීම සඳහා බවය. එසේම රාජ්‍ය නිලධාරී තන්ත්‍රය දේශපාලනඥයින් පරදවන තැනට මේ වන විට දුෂිතව ඇති බවය. සියල්ලට වඩා වැදගත් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ගේ මහා පරිමාණ අන්ත දුෂිත ඉපයීම් ගැන විමර්ශන සිදුකිරීමට අංජනම් බලමින් සිටින අතරවාරයේ මෛත්‍රී ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් දැලට හසුවීමය. ඒද නිකං නොව ජනාධිපතිගේ අමාත්‍යංශයක ආයතන ප්‍රධානියෙකු වූ දැව සංස්ථා සභාපතිවරයා සමඟය. 

ජනවාරි 08 වෙනසේ අදට ඉතිරිව ඇති එකම වෙනස මේ ආකාරයට ලොකු මෝරෙකු අල්ලස් දැලට හසුකර ගන්න අවස්ථාව හිමිවීමය. මේ ගැන ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු  ජනාධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේද "තරාතිරම අවශ්‍ය නෑ, නීතිය හරියට ක්‍රියාත්මක කරන්න " කියාය.

එහෙත් මේ අනාවරණය අප අවසන් කරන්නේ මේ කතාවේ දැනට අනාවරණය නොවූ කොටසක් ද ඇති බවට ඔබට දන්වමින්ය.  ආරම්භයේ සඳහන් කළ ලෙස මේ කතාවේ අප ඔබට ගෙනවිත් ඇත්තේ මුල සහ මැද පමණය. අග තවමත් විමර්ශනයේය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found