Language Switcher

V2025

NLB ලොතරැයි දිනුම් ඇදිල්ලෙන් ලොක්කන් මිලියනපතියන් වෙලා

ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහල කළමනාකාරීත්වය ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම හරහා මාසිකව ලක්ෂ ගණනක අයුතු ආදායමක් ලබන බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මාස 10 ට ලක්ෂ 417ක්

වාර්තා වන ආකාරයට ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම වෙනුවෙන් වන දීමනාව ලෙස රුපියල් ලක්ෂ 417 කට අධික මුදලක් (රුපියල් මිලියන 41.7) 2017 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීන් ලබාගෙන ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබමින් සිටින පසුබිමක මිනිත්තු කිහිපයක් පැවැත්වෙන මෙම දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම සඳහා මෙතරම් විශාල මුදලක් දීමනාවක් ලෙස ලබාගැනීම ජාතික අපරාධයක් බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

සභාපතිනියට මිලියන 1.3ක්

2017 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ෂර්මිලා පෙරේරා මහත්මිය දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම වෙනුවෙන් දීමනා ලෙස ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1.3 කි. එසේම ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ හසන් මොහොමඩ් කාමිල් 2017 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මාස 07 ක් තුළ ලොතරැයි දිනුම් ඇදීමේ කටයුත්තට සහභාගීවීම වෙනුවෙන් රුපියල් මිලියන 2.3 ක දීමනාවක් ලබාගෙන ඇත.

බෙදාගෙන කෑම

එසේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරන ඒ.එච්. සුනිල් ගුණවර්ධන රුපියල් මිලියන 1.4ක්, කේ.වී.පී.එස්. තේජා රුපියල් මිලියන 1.3ක්, පී.කේ.බී.එච්.ඒ. බණ්ඩාර රුපියල් මිලියන 1.6ක් ලෙස 2017 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවන්ට සහභාගීවීම වෙනුවෙන් දීමනා ලෙස ලබාගෙන ඇත.

මොවුන් මෙතරම් අතිවිශාල මුදලක් මිනිත්තු කිහිපයක අවස්තාවක් වෙනුවෙන් දීමනාවක් ලෙස ලබමින් තම මඩිය තරකර ගන්නේ ලක්ෂ ගණනක වැටුප්, නිල වාහන, ඉන්ධන පහසුකම් ඇතුළුව නිල වරප්‍රසාද රැසක් භුක්ති විඳින පසුබිමක වීමය.

ලක්ෂ 30000 ක පාඩුවක්

එසේම පසුගිය කාලයක පටන් ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබමින් සිටින අතර 2017 ජනවාරි මාසයේ පමණක් ජාතික ලොතරැයි මණ්ඩලය ලැබූ අලාභය රුපියල් ලක්ෂ 30000 කට අධිකය.

ජනාධිපති අරමුදලට දෙන්නත් සල්ලි නෑ

තවද ලොතරැයි ප්‍රමාණය වැඩිකිරීමට සාපේක්ෂව ඒවායේ මිල ඉහල දැමීම, දිනුම් අවස්ථා අඩු කිරීම, ලොතරැයි අලෙවි නියෝජිතයන් නොතකා හැරීම, ව්‍යාජ ලොතරැයිපත් වෙළඳපොළට පැමිණීම වලක්වා ගන්නට අසමත්වීම ඇතුළු අතිශය දුර්වල පරිපාලන හැසිරීම හේතුවෙන් මේ වන විටත් ජාතික ලොතරැයි මණ්ඩලය පවතින්නේ හොම්බෙන් යන මට්ටමකය. එනිසාම පසුගිය සමයේ ජනාධිපති අරමුදල සඳහා ලබා දීමට තිබූ මුදල් පවා අවශ්‍ය පරිදි වෙන් කිරීමට නොහැකිවූ බවට මාධ්‍ය වාර්තා පලවිය.

එවැනි පසුබිමක අදාළ දීමනාව ලබා ගැනීම වෙනුවෙන් මොවුන්ගේ ලජ්ජා නැති හැසිරීම බලා ගැනීමට ජාතික රුපවාහිනියේ ලොතරැයි දිනුම් අදින අවස්ථාවට එන ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ප්‍රමාණය දැකගැනීම ප්‍රමාණවත්ය.

එහෙත් අවාසනාව වන්නේ කොපමණ දුර්වලතා පැවතියත්, කොතරම් කුප්ප ආකාරයට ආයතනය බිඳ වැටෙන පසුබිමේ තමන්ගේ මඩිය තරකර ගන්නට ආයතනයේ ඉහල කළමනාකාරීත්වය කටයුතු කළත් ඒ සියල්ල ඔවුන්ගේ දේශපාලන බල සම්බන්ධතා හේතුවෙන් යටපත්ව තිබීමය. ආරම්භයේ පටන් මුදල් අමාත්‍යංශ විෂය පථය යටතේ පැවති ජාතික ලොතරැයි මණ්ඩලය පසුව සිදුවූ ඇමති මාරුවකදී විදෙස් අමාත්‍යංශයේ විෂය පථයට ඇතුළු වූ මාරාන්තික විහිළුව ඔබට මතකනම් වරද කොතනද යන්න තේරුම් ගැනීමට ඒ හොඳටම ප්‍රමාණවත්ය.

 ෆොක්ස් මෝල්ඩර් සමඟ ඩේනා ස්කලී

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found