Language Switcher

V2025

ගාමිණී සෙනරත්ගේ ගෝලයන්ගෙන් බදු වෙනසකට මිලියන 100ක අල්ලසක් !

ෆාම් ඔයිල් ආනයන කර්මාන්තයට අදාළව 2018 අයවැය හරහා සිදුකර ඇති බදු ශාන්ශෝධනය, ප්‍රති සංශෝධනය කර ගැනීම වෙනුවෙන් කූට සැලැස්මක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

බදු වංචා සිදුකරමින් සහ ඒ හරහා වෙළඳපොල කතිපයාධිකාරයක් ගොඩනගාගෙන ඇති ෆාම් ඔයිල් ආනයනයේ නිරත ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පිරිසක් මෙම සැලැස්ම දියත්කර ඇති අතර ඊට සහය දක්වන පාර්ශව වෙනුවෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් මුදලක් නියම කර ඇති බවද දැනගන්නට ඇත.

ජාවාරම්කාර ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු විසින් මෙසේ ෆාම් ඔයිල් ආනයනය සම්බන්ධව 2018 අයවැය හරහා සිදුකර තිබෙන බදු සංශෝධනය, ප්‍රති සංශෝධනය කිරීමට උත්සහ කරමින් සිටින්නේ මෙතෙක් පැවති බදු පටිපාටිය තුළ ඔවුන් පවත්වාගෙන ගිය කර්මාන්තයේ කතිපයාධිත්වය නව බදු සංශෝධනය හරහා අහිමිව යාමේ අවධානමක් මතුව ඇති නිසාය.

ජාවාරම අර්බුදයට

ෆාම් ඔයිල් ආනයනයට අදාලව මෙතෙක් පවතී බදු ප්‍රතිපත්තිය වුයේ පිරිපහදු නොකළ ෆාම් ඔයිල් ආනයනයේදී වෙනුවෙන් එක් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 110 ක බද්දක් ගෙවීමට නියමිතව තිබු අතර පිරිපහදු කළ ෆාම් ඔයිල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 135.00 ක බද්ධක් පනවා තිබිණ. ඒ අනුව පිරිපහදු නොකළ ෆාම් ඔයිල් ආනයනකරුවන් පිරිපහදු කළ ෆාම් ඔයිල් ආනයනකරුවන්ට වඩා රුපියල් 25.00 කට ආසන්න බදු සහනයක් භුක්ති විඳිනු ලැබිණ.

නමුත් 2018 අයවැය යෝජනා හරහා මෙම බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරනු ලැබූ අතර එහිදී සිදුකල නව බදු සංශෝධනය අනුව පිරිපහදු නොකළ ෆාම් ඔයිල් කිලෝවක් සඳහා රුපියල් 105.00 ක් සහ පිරිපහදු කළ ෆාම් ඔයිල් කිලෝවක් සඳහා රුපියල් 105.00 ක බද්ධක් පැනවිණ.

මෙම නව බදු සංශෝධනය හේතුවෙන් මෙතෙක් පිරිපහදු නොකළ ෆාම් ඔයිල් ආනයනය කරන බවට දක්වමින් බද්ද අඩුකර ගැනීම හරහා අයතා ලාභයක් සේම වෙළඳපොල තුළ කතිපයාධිකාරයක් ගොඩනගාගෙන සිටි ජාවාරම්කරුවන් අපහසුතාවට ලක්ව තිබේ. ඒ නව ක්‍රමය හරහා මෙතෙක් පවත්වාගත් බදු අන්තරය සීමා වීම නිසාය. ඊට අනුව සිදුව ඇත්තේ පිරිපහදු නොකළ ෆාම් ඔයිල් සහ පිරිපහදු කළ ෆාම් ඔයිල් ආනයනයේ දී රුපියල් 25.00 ක් ලෙස පැවති බදු පරතරය නව බදු සංශෝධනය හරහා රුපියල් 5.00 දක්වා අඩුව තිබීමය.

1% ප්‍රමිතිය

වාර්තා වන ආකාරයට ඉහත කී ජාවාරම්කාර ව්‍යාපාරිකයින් විසින් මෙතෙක් ෆාම් ඔයිල් ආනයනයේදී රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කරමින් සහ වෙළඳපොල තුළ කතිපයාධිකාරයක් ගොඩනගා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඇති “1% ප්‍රමිතිය” හමුවේ තම ආනයනික ෆාම් ඔයිල් පිරිපහදු කර නොමැති බව දක්වමින්ය. ඒ සඳහා ඔවුන් අනුගමනය කර ඇති උපක්‍රමය වී ඇත්තේ පිරිපහදු කළ ෆාම් ඔයිල් වෙත පිරිපහදු කළ ෆාම් ඔයිල් කළවම් කිරීමය. එයද සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකරන තත්ත්ව සමීක්ෂණයේ 1% ක ප්‍රමිතිය ලැබෙන ආකාරයටය.

සෙනරත්ගේ අනුහස

මෙසේ බදු වංචා සිදුකර අයතා ලාභ ලැබීම සඳහා ජාවාරම්කාර පාර්ශව වෙත රාජපක්ෂ සමය තුළ සහය දක්වා ඇත්තේ එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාවූ ගාමිණී සෙනරත් වන අතර ඊට එවකට මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරියෙකුද සහය දක්වා ඇති බවද වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට ඒ සමයේ මෙම තත්ත්වය වෙනස් කර ගැනීම වෙනුවෙන් එවකට ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් කිහිපදෙනෙකුද මැදිහත්වී සාකච්ඡා කර ඇති නමුත් මෙම ජාවාරම්කාර නඩය වෙත තිබු ඉහළ දේශපාලන සම්බන්ධතා හේතුවෙන් එම සාකච්ඡා සාර්ථකවී නොමැත.

රේගුවත් අසරණයි

එසේම මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා රේගුවද මැදිහත්වී ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කිහිපදෙනාට එරෙහිව කටයුතු කිරීමට උත්සහ කර ඇතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සඳහන් කරන ප්‍රමිතියට වඩා දශම එකකින් ඔවුන් ආනයනය කළ ෆාම් ඔයිල් හී අන්තරගතය වෙනස් බැවින් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිව ඇත.

මේ අයුරින් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු විසින් සිදුකරන බදු වංචාව සහ වෙළඳපොල කතිපයාධිකාරය පවත්වාගෙන යාම ගැන යහපාලන ආණ්ඩුව බලය ලැබූ සමයේ වගකිවයුතු පාර්ශව දැනුවත් කිරීමට කර්මාන්තයේ නිරත අය කටයුතු කර ඇත. එම දුක් ගැනවිල්ලට සවන්දීමෙන් අනතුරුව ෆාම් ඔයිල් ආනයනයේදී සිදුකරන ජාවාරම පාලනය කිරීම සඳහා ඒ වන විටත් පැවති බදු ක්‍රමය වෙනස් කිරීමට බලධාරීන් පොරොන්දුවී ඇතත් එය අවසන්වී ඇත්තේ තවත් එක් කඩවුණු පොරොන්දුවකින්ය. ඒ පවතී බදු මුදල් සංශෝධනය කර සති කිහිපයක් තුළ එය පෙර පැවති බදු අන්තරය යටතට ගෙන ඒමට බලධාරීන් ක්‍රියාකර ඇති නිසාය.

මාසයකට බිලියනයක් අහිමි වෙයි !

කෙසේ වුවත් ෆාම් ඔයිල් ආනයනය සඳහා 2018 අයවැය යෝජනා හරහා ක්‍රියාත්මක කර ඇති බදු සංශෝධනය හමුවේ මෙතෙක් පැවති බදු වංචාව පාලනයවීමත් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු සතුවූ වෙළඳපොල කතිපයාධිකාරය අහෝසිවී ඇත. එසේම නව බදු පතිපත්තිය තුළ ජාවාරම්කාර ෆාම් ඔයිල් ආනයනය හේතුවෙන් කර්මාන්තයෙන් ඈත්ව සිටි ව්‍යාපාරිකයින් නැවත කර්මාන්තයට එක්ව ඇති අතර යලිත් බදු සංශෝධනයේ ප්‍රති සංශෝධනයක් සිදුවුවහොත් ඔවුන් බරපතල මුල්‍ය අස්ථාවරත්වයකට මුහුණදීමේ අවධානමක්ද පවතී. එසේම මේ වන විට පොල් මිල ඉහළයාම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති පොල්තෙල් සඳහා ආදේශකයක් ලෙස ජනතාව ෆාම් ඔයිල් භාවිතා කරන තත්ත්වයක් ඇති අතර ඒ යටතේ මෙතෙක් මාසිකව ආනයනය කළ ෆාම් ඔයිල් ප්‍රමාණය වූ මෙට්‍රික් ටොන් 16000 වෙනුවට 20000- 22000 දක්වා එම ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ අනුව බදු මුදල ප්‍රතිසන්ශෝධනය වීමක් සිදුවුවහොත් මාසිකව රජයට හිමිවීමට නියමිත රුපියල් බිලියනයකට අධික බදු මුදලක් අහිමිව යාමේ අවධානමක්ද පවතී.

 

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found