V2025

RMV හී e-motoring ටෙන්ඩරය දූෂිතයි : කෝටි ගණනක ගැහිල්ලකට සියල්ල සූදානම් !

රාජ්‍ය අංශයේ කටයුතු e-governance තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා දැනට දෙපාර්තමේන්තුවේ භාවිත කරන පරිගණක පද්ධතිය කල් ඉකුත් වී ඇති බවත්, එමඟින් නිසි සේවාවක් සැපයීමට අපහසු බවත්, ඒ නිසා අක‍්‍රමිකතාවයන්ට ඉඩකඩක් ලැබෙන බවත් කියමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නව ක‍්‍රමවේදයන් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටියි. e-motoring යනුවෙන් හඳුන්වන එම නව ක‍්‍රමවේදය විසින් ඉහත කී ගැටලු මඟහරවා ගැනීමට හැකි බව කියැවේ. බැලූ බැල්මට එය ඉතා හොඳ කටයුත්තකි. ඉදිරිපත් කර ඇති කරුණු නිසා මෙම කටයුත්තට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ද අනුමැතිය මේ වන විට ඒ සඳහා හිමි වී තිබේ.

ටෙන්ඩරයේ ඉතිහාසය !

මෙම ව්‍යාපෘතිය සඳහා යෝජනා ඉදිරිපත් වන්නේ අද ඊයේ සිට නොවේ. මෙහි පළමු යෝජනාව එන්නේ 2003 වසරේ දී ය. ඒ අනුව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්යවරයෙකු ප‍්‍රමුඛ කණ්ඩායමක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණ සිදු කරන ලද පරීක්ෂණයකින් පසුව අනාවරණය වන්නේ ඒ වන විටත් ආයතනයේ ඇති පරිගණක පද්ධතිය ඉතාම හොඳ තත්ත්වයේ පවතින බවයි. ඒ නිසා නව ව්‍යාපෘතිය සඳහා නව පරිගණක පද්ධතියක් සකස් කිරීම වෙනුවට තිබෙන පරිගණක පද්ධතියම සුළු වෙනස්කම් සිදු කිරීම මගින් සිදු කළ හැකි බවත් පැහැදිලි විය.

2008 වැඩේ 2017 ට කල්යයි !

එහෙත්, නැවතත් 2008 වසරේ දී මේ ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු වන අතර, ඒ අනුව Ernest and Young සමාගමට කොන්ත‍්‍රාත්තුවක් ලබා දෙන්නේ ඒ සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් සකස් කිරීම සඳහාය. එම අධ්‍යයන වාර්තාවට පාදක වන්නේ පරිගණකගත වාහන නියාමනය කිරීමේ ක‍්‍රමවේදයකි. මේ වාර්තාවට අනුව නව පරිගණක පද්ධතියක් නිර්මාණය කොට ක‍්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ද තීරණය වී තිබේ.

තීරණය එසේ තිබුණ ද, එය ක‍්‍රියාත්මක වන්නේ වසර ගණනාවකට පසුව 2017 වසරේ දී ය. ICTA ආයතනයේ සිටි වසන්ත දේශප‍්‍රිය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් කරන්නේ මේ අතරය. ඔහුගේ සහායට තුෂාර සුරවීර නම් අයෙකු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොමසාරිස් ලෙස පත් කරනු ලබයි.

තුෂාර සුරවීරගේ අදිසි පත්වීම !

එය එතෙක් තිබූ තනතුරක් නොවන අතර, තුෂාර සුරවීරව පත් කිරීම සඳහාම සකසන ලද තනතුරකි. එම තනතුර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පටිපාටියට ද අනුකූල වන්නක් නොවේ. තොරතුරු තාක්ෂණය සඳහා වෙනම රාජ්‍ය සේවාවක් පවතින අතර, ඒ අනුව මෙවැනි තනතුරක් නිර්මාණය කිරීමම ඇති කරවන්නේ බරපතළ සැකයකි. විශේෂයෙන්ම මෙම තනතුර සඳහා පත් කරනු ලැබූ තුෂාර සුරවීර පරිපාලන සේවයේ නිලධාරියෙකු වුව ද, ඔහු තොරතුරු තාක්ෂණ විෂයය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යාපනයක් ලැබූවෙකු නොවේ.

කරුණු මෙසේ තිබියදී e-motoring වැඩපිළිවෙළ සඳහා ටෙන්ඩර් කැඳවීමට ඔහු මැදිහත් වන අතර, ඒ අනුව ටෙන්ඩර්කරුවන් පස් දෙනෙකු තෝරා ගනු ලබයි. HTPB with Epeic, Metropolitan with Face Technologies, Madras Securuty Printiners, VSIS with NOVA, Acces International with UTCH යන සමාගම් එසේ ටෙන්ඩරය සඳහා මූලිකව තෝරා ගනු ලැබූ සමාගම් වේ. මෙම ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩරය ලබා ගැනීම සඳහා මෙරට සමාගමක් ඉල්ලුම් කරන්නේ නම්, ඒ සඳහා විදේශීය සමාගමක් හා සම්බන්ධ වීම අනිවාර්ය කරුණක් ලෙස සඳහන් කර තිබූ අතර, විදේශීය සමාගමකට තනිවම ඉදිරිපත් වීමේ හැකියාව ලබා දී තිබිණි.

මෙසේ ටෙන්ඩර් ක‍්‍රියාවලිය වේගයෙන් ඉදිරියට යන අතර, අවසානයේ තාක්ෂණ අගැයීම් කමිටුව විසින් ටෙන්ඩර්කරුවන් දෙදෙනෙකු ඒ සඳහා තෝරා ගනු ලැබීය. ඒ HTPB with Epeic සහ Metropolitan with Face Technologies යන ටෙන්ඩර්කරුවන්ය.

ටෙන්ඩර් වංචාවට සෙල්ලම් ඇරඹේ !

මෙසේ ටෙන්ඩර්කරුවන් තෝරා ගැනීමේදී ද සාමාන්‍ය ක‍්‍රමවේදයන් පිළිබඳ සලකා බැලීමක් සිදු කර නොමැති අතර, ඉදිරිපත් වී ඇති ටෙන්ඩර්කරුවන්ගේ විෂයයට අදාළ සුදුසුකම් පරීක්ෂාව සිදු කර ඇත්තේ ද ඉතාමත් සරල ආකාරයෙනි. එහෙත්, මේ බොහෝ ටෙන්ඩර්කරුවන් ක්ෂේත‍්‍රයේ ජාවාරම්කාරයන් වශයෙන් ප‍්‍රසිද්ධ වී සිටින්නන් බවට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ ම චෝදනා කරති.
කරුණු මෙසේ තිබියදී, තෝරා ගත් ටෙන්ඩර්කරුවන් දෙදෙනා අතුරින් එක් අයෙකු තෝරා ගැනීම සඳහා අවසාන කටයුත්ත වන මුදල් ටෙන්ඩරය සඳහා යොමු වනවිට තාක්ෂණ අගැයීම් කමිටුවේ ලබා ගත් ලකුණු අනුව ඉදිරියෙන් සිටින්නේ HTPB with Epeic වන අතර ඔවුන් ලබාගෙන තිබුණු ලකුණ සංඛ්‍යාව 79.03කි. Metropolitan with Face Technologies ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 70.7කි. ලකුණුු ලබා දීමේ පටිපාටියේ දී මුළු ලකුණුවලින් 80%ක් තාක්ෂණ අගැයීම විසින්ද 20%ක් මුදල් ටෙන්ඩරය විසින් ද තීරණය කරනු ලබයි.

සැකසහිත ලංසු තැබිල්ල !

මේ අනුව Metropolitan with Face Technologiesට වඩා ඉදිරියෙන් සිටි HTPB with Epeicට ටෙන්ඩරය හිමි වන බවක් බැලූබැල්මට පෙනෙන්නට තිබිණි. එසේ නොවීමට නම්, Metropolitan with Face Technologies විසින් HTPB with Epeic ඉදිරිපත් කරන මුදලින් හරි අඩකට ආසන්න මුදලක් ලබා දීම අනිවාර්ය විය යුතුය. සියලු දෙනාගේම ඇස් නිලංකාර කරමින් එය එසේම සිදු වන අතර, HTPB with Epeic විසින් එක් සේවා අවස්ථාවක් සඳහා රුපියල් 326.00ක් ඉදිරිපත් කරන විට Metropolitan with Face Technologies ඒ සඳහා ඉදිරිපත් කර තිබුණේ රුපියල් 187.97ක මුදලකි. මේ සේවා අවස්ථාවක් යනු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදු වන එක් Transaction එකකි. එනම් වාහනයක් ලියාපදිංචි කිරීමක්, පැවරීමක්, වාහන පන්තිය වෙනස් කිරීමක් වැනි එක් කටයුත්තකි. එවැනි කටයුතු විශාල ප‍්‍රමාණයක් වර්ෂයක් තුළ සිදු වන අතර වසරින් වසර එම ගණන වෙනස් වීම ද සිදු වේ. එසේ නිශ්චිත නොවන සේවා ගණනක් සඳහා අවසන් සත ගණනට මුදලක් ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදු විය නොහැක්කකි.

ටෙන්ඩරයේ ලංසු  රහස් එළියට ගිහින් !

එසේ නම් මෙම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ටෙන්ඩර්කරුට සිය ප‍්‍රතිවාදියා ඉදිරිපත් කර ඇති මිල ගණන් පිළිබඳ පූර්ව අවබෝධයක් සහිතවය. එවැනි අවබෝධයක් ඇති වීමට නම්, ටෙන්ඩර් මිල ගණන් ඔහුට දැනුම් දිය යුතුය. එවැන්නක් සිදු කරන ලද්දේ කවුරුන් විසින් දැයි බරපතළ සැකයක් ඇති වන අතර, සැක කළ හැක්කේ මේ සඳහා මැදිහත් වන තුෂාර සුරවීර ඇතුළු ටෙන්ඩර් කමිටුවේ ප‍්‍රධානීන්ය.
ටෙන්ඩර්කරුවන් විසින් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ඩොලර්වලින් බවත්, මේ සත ගණනක් ලැබී ඇත්තේ ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීමේ දී බවත් තුෂාර සුරවීර පවසන්නේ හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් නිසා දැයි අපි දන්නේ නැත.

එහෙත්, සියල්ල එතැනින් නිමා වූයේ නැත. අවම ලංසුව ඉදිරිපත් කළ Metropolitan with Face Technologies ඉන් පසුව පවසා ඇත්තේ තමන් කිසිදු බදු මුදලක් මේ මිල ගණන්වලට ඇතුළත් කර නොමැති බවයි. ඒ අනුව NBT සඳහා වන 2% ද ඊට ඇතුළත් නොවේ. එහෙත් HTPB with Epeic විසින් මිල ගණන් සකස් කර ඇත්තේ එම අනිවාර්ය බදු මුදල් සිය ලංසුවට ඇතුළත් කරමිනි. Metropolitan with Face Technologies ඉදිරිපත් කර ඇති ලංසුවට NBT සඳහා වන 2% ඇතුළත් කළ විට මුළු ලකුණු ගණනින් ඉදිරියෙන් සිටින ලංසුකරු වන්නේ HTPB with Epeic ය.

කෝටි ගණනක ගැහිල්ලට සියල්ල සූදානම් !

මේ වනවිට එම ටෙන්ඩර්කරු විසින් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇතත්, ඒ පිළිබඳ සැලකීමක් නොකර අදාළ ටෙන්ඩරය Metropolitan with Face Technologies වෙත ලබා දීමට මොවුන් කටයුතු කර තිබේ.

එය මේ වංචාවේ එක් පැත්තක් පමණි. මේ මඟින් ඇති වන තවත් ගැටලූ ගණනාවකි. ඉන් එකක් වන්නේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන සියලූම ගනුදෙනු පිළිබඳ තොරතුරු බාහිර පෞද්ගලික ආයතනයක් වෙත යාමයි. එය ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. එසේම මේ සිදු කරන සෑම සේවා අවස්ථාවක් සඳහාම මුදල් ගෙවිය යුත්තේ ජනතාවය. ඒ නිසා මොවුන් මේ වංචාව සිදු කරන්නේ ජනතා මුදල්වලිනි. නව ලියාපදිංචි කිරීම් සඳහා වන සංඛ්‍යාලේඛන 2014 වසරෙන් පසු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ යාවත්කාලීන කර නැතත්, 2014 වසරට අනුව එම ගණන 3,71,906කි. ඒ මඟින් ඉහත කී පෞද්ගලික ආයතනයට ලැබෙන මුදල රුපියල් 6,99,07,170.00කි. එනම්, ආසන්න වශයෙන් රුපියල් කෝටි හතකි. මෙවැනි ගනුදෙනු අවස්ථා රැසක් මඟින් තවත් රුපියල් කෝටි ගණනක් ඔවුන් වෙත මෙරට ජනතාව ගෙවිය යුතුය. සියල්ලන්ම එකතු වී ඇති තරම් ගේම් දෙමින්, මේ ටෙන්ඩර් මගඩි සිදු කරන්නේ ඒ නිසා ය.

ලංකා ඉරිදා සංග්‍රහය

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found