Language Switcher

V2025

යහපාලනය නහින්නේ රවී නිසා!

E පාස්පෝට් ටෙන්ඩරයට එරෙහිව පෙත්සමක්

නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් පටිපාටියකින් තොරව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වෙයි.

කැබිනට් මණ්ඩලය නොමග ගිහින්

මෙම පෙත්සම දේශීය සමාගම් විසින් ගොනුකර ඇති අතර විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කොන්ත්‍රාත්තුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා අනුමැතිය ලබා ගැනීමේදී කැබිනට් මණ්ඩලය නොමගයවා ඇති බවද එම පෙත්සමේ සඳහන්ව ඇත.

40% කොටස් හිමිකම

ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම කොන්ත්‍රාත්තුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට සෘජුවම ලබාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය ඒ සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන බව දක්වා ඇත්තේ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමේ කොටස් 40%ක් ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් බවත් ඒ අනුව එය රාජ්‍ය අනුබද්ධ සමාගමක් බව දන්වමින්ය.

එහෙත් පෙත්සම්කාර පාර්ශවය සඳහන් කරන්නේ 40%ක කොටස් හිමිකම රජය සතුවූ පමණින් එය රාජ්‍ය අනුබද්ධ සමාගමක් නොවන බවත් එසේ රාජ්‍ය අනුබද්ධ සමාගමක් ලෙස හැඳින්වීමට නම් අවම වශයෙන් 50%ක හෝ කොටස් හිමිකාරීත්වයක් රජය සතුවිය යුතු බවය.

එකම සමාගමට අර්ථ දෙකක්

මීට පෙර මත්පැන් බෝතල් සඳහා ආරක්ෂක ස්ටිකරයක් නිකුත් කිරීම වෙනුවෙන් වන ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම වෙත ලබානොදී Madras security printers නම් ඉන්දීය සමාගම වෙත ලබාදුන් බවත් එහිදී මෙම “රාජ්‍ය අනුබද්ධ සමාගමක්” යන පදනම නොසළකා ඇති බවද පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙයි.

මේ බව සඳහන් කරමින් පෙත්සම්කාර පාර්ශවය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රාජ්‍ය ගනුදෙනුවකට අදාළ ටෙන්ඩරයක් හමුවේ එකම සමාගම එක් අවස්ථාවකදී “රාජ්‍ය අනුබද්ධ සමාගමක්” බවටත් තවත් අවස්ථාවකදී එසේ නොවන බවටත් තක්සේරු කළ ප්‍රතිපත්තිය සම්බන්ධව ගැටළුවක් ඇති බවය.

ඒ අනුව රජයේ ටෙන්ඩර් නිකුත් කිරීමේ විනිවිදභාවය මේ හමුවේ ප්‍රශ්නකාරී වන බවත් එය යහපාලන ආණ්ඩුවේ කීර්තිනාමයට හානිකර බවත් ඔවුන් පෙන්වා දෙයි.

තවද ලැබී ඇති තොරතුරු වලට අනුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම බ්‍රිතාන්‍ය සමාගමක් වන අතර එහි කොටස් හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඇත. මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ඒකාධිකාරය කලක පටන් එම සමගම විසින් සිදුකරන අතර එය ලබාදීමේදී ද ටෙන්ඩර් කැඳවීමක් සිදුනොවේ. තම සමාගම 200 කට ආසන්න සේවක පරිසකට වැටුප් ගෙවීමක් සිදුකරන බවත් සමාගමේ කොටස් 40%ක් රජය සතු බව දක්වමින් මේ සමගම ටෙන්ඩර් සඳහා ලන්සු තැබීමට ඉදිරිපත් වන්නේද ඉතා කලාතුරකින්ය.

නමට කොටස් - ලාභ හුටස්

එවැනි ලංසුව තැබීම් වලදී M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට අදාළ ටෙන්ඩරය හිමිවීමේ අවස්ථාවක් නොමැති තරම් වන අතර ඊට හේතු වන්නේ ඔවුන්ගේ ලංසුව ඉතා ඉහල අගයක් ගැනීමය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සමයේ කැඳවූ රුපියල් 1,2,5,10, කාසි නිකුත් කිරීම වෙනුවෙන් වන ටෙන්ඩරයද මෙම සමාගමට අහිමිව ගොස් ඇත්තේද එනිසාය.

මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේදී වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කර සිටියේ M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම පසුගිය සමයේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් හිමිකාරීත්වය වෙනුවෙන්ද ගෙවා ඇත්තේ ඉතා අඩු වටිනාකමක් බවය. එසේම එම ප්‍රමාණය සමාගමේ ආදායමෙන් 0.9 %ක් තරම් අඩු අගයක් බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම මුදල් නෝට්ටු සැපයීමේදී මෙන්ම විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ කටයුත්තේදීද වැඩි මුදලක් අදාළ සමාගමට ගෙවීමට රජයට සිදුවිය හැකි බවද වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

අපි කලින්ම කිව්වා

මේ සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය මීට පෙර අනාවරණයක් සිදුකළ අතර එය පහත දැක්වේ.

https://newstube.lk/news/233-e-pass-port

එසේම මෙම නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම සම්බන්ධ විෂය අයත් වනුයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවටය. එම විෂය අයත්වන්නේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයටය.

ඇමති රවී මැද්දට පනී

එහෙත් මේ වන විටත් ඊට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුය. මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ අදාළ ටෙන්ඩරය නිකුත් කිරීමේ මුලික කටයුතු අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් සිදුකරමින් සිටියදී හිටපු අමාත්‍ය රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ මෙහි වගකීම තමන් වෙත පවරාගෙන ඇති බවය.

හැම නෑමක් පිටුපස - රවී සිටීයි

සැබවින්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් කාර්යයක් මේ ආකාරයට මුදල් ඇමතිවරයෙකු මැදිහත්වීමට තරම් සාධාරණ කාරණයක් පෙනෙන්නට නැත. එසේම අදාළ මැදිහත්වීම හරහා ටෙන්ඩරය වෙනුවෙන් වියදම් කිරීමට ඇති පිරිවැය අඩු වූවානම් එයද නොසළකා සිටීමට ඉඩ තිබිණ. නමුත් ගැටලුව බරපතල වන්නේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ මැදිහත්වීම තුළ එතෙක් නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් සැකසීමේ සිට නිකුත් කිරීමේ ක්‍රියාවලිය දක්වා දියත් කර තිබු ව්‍යාපෘතිය නොසළකා ICTA හරහා M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට එම කාර්ය පවරන්නට ඔහු කටයුතු කිරීම තුලය.

ජනාධිපති නිරීක්ෂණ නොසළකා හැරලා

අනතුරුව දියත්වූ ක්‍රියාවලිය තුළ අදාළ ටෙන්ඩරය M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට ලබාදීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් සංදේශ සම්බන්ධව ජනාධිපතිවරයා පවා නිරීක්ෂණ යොදා තිබුණේ එම ක්‍රියාවලිය ස්විස් චැලේන්ජ් හෝ විවෘත ටෙන්ඩර් කැඳවීමක් හරහා සිදුකිරීම වැදගත් බවය.

නමුත් M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගම එවැනි ක්‍රමයකට යාම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව තරගකාරී මිලකට අදාළ ටෙන්ඩරය නිකුත් කිරීමේ අවස්ථාව අහිමි වන අතර විමතියට කරුණ වන්නේ මේ පිළිබඳ කිසිඳු සොයා බැලීමකින් තොරව අදාළ ටෙන්ඩරය සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමේ පදනම කුමක්ද යන්නය.

එසේම මේ වන විටත් M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් රුපියල් බ්ලියන 1.2 ක් වැය කරන්නට රජයට සිදුව ඇත. එහෙත් පෙත්සම්කාර සමාගම සඳහන් කර සිටින්නේ ඊට වඩා බොහෝ අඩු මුදලකට ලෝකයේ අංක එකේ ප්‍රමිතියෙන් යුතු විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව තමන් සතු බවය. එසේම මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවා රුපියල් මිලියන 600ක් යොදවා අදාළ විදෙස් ගමන් බලපත්‍රය තමන්ටද නිකුත් කළ හැකි බව සඳහන් කර ඇත.

ඒ අනුව නව විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රය සැපයීමේ කොන්ත්‍රාත්තුව M/S De La Rue Lanka Currency and Security Print Ltd සමාගමට පැවරීම කිසිඳු විනිවිදභාවයකින් තොර යහපාලන ප්‍රතිපත්ති කෙලෙසීමක් තුළ සිදුවෙමින් ඇති බවට සිතීමද සාධාරණය. එසේම කිසියම් තැනක වරදක් සිදුව ඇත්නම් එය යලි සලකා බලන්නට අවස්ථාවක් ඇති බැවින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව මේ ගැන අවධානය යොමුකිරීම වැදගත්ය.

newstube.lk – x files

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found