Language Switcher

V2025

ලංකාවෙන් පැනගිය රුසියානු සයිබර්අපරාධකරු කවුද?

- ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක තෑග්ගක් ලබාදෙන බව එෆ්.බී.අයි. නිවේදනය කොට ඇති ප්‍රකට සයිබර්අපරාධකරු එව්ජෙනි                          මීඛයිලොවිච් බෝගචෙව් නැමති රුසියානුවා ෆරින් මනොකින් නමින් පෙනී සිටියේද?

- ඇපපිට නිදහස් වී මාස ගණනකට පසු බෝට්ටුවක් ගෙන මුහුදෙන් පැනගියේද ?

  - රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් ආයතන ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන්යානයෙන් පැනගියේද?

 - කටුනායක ගුවන්තොටුපළට ප්‍රභල ආරක්ෂාවක් සහිතව රැගෙන ගොස් ආරක්ෂාකාරීව මෙරටින් පිටත් කරවීමට අවශ්‍යය කටයුතු                              සම්පාදනය කළේ කවුද?

  - ඇමරිකානු තානාපති කාර්යාලය පුද්ගලයාගේ සැබෑ චරිතය වසන් කරමින් ඔහු තමන්ට ලබාදෙන ලෙස උදර්පණ පණත ප්‍රකාරව ශ්‍රී                          ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද?

 මෙය ඉතාම බරපතළ කාරණයකි. එසේම මෙරට ජාතික ආරක්‍ෂාව මෙන්ම රාජධූත සේවයේ සැබෑ සාන්ද්‍රණය හෙවත් හයිය කිරා මැන බැලෙන ප්‍රධාන කාරණා වලින් එකකි. එබැවින් මෙම මූලික කාරණයේ ඇති කාරණා ගැන විමසා බැලීම මෙන්ම ඒ සම්බන්ධයෙන් මතු වී ඇති කාරණා ඔස්සේ ඊට සම්බන්ධ විය හැකි යැයි සිතෙන මූලික කාරණා ගැන අනුමාන කරමින් විමසා බැලීම ඉතාම වැදගත් වේ.

මෙය කිසිවකුගේ වාසියක් හෝ අවාසියක් උදෙසා ප්‍රසිද්ධ කරන කාරණයක් නොව, රටේ සාමන්‍යය ජනතාවගේ දැනගැනීම උදෙසා හෙළිදරව් කරන කාරණයකි. මන්ද; වත්මන් තත්වය තුළ අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ වෙනස්ම මාදිලියක අභියෝග වලටය.

රුසියානු ජාතික කළු සල්ලි ජාවාරම් කරුවෙක් !

මේ වසරේ මුල් භාගයේදී පුවත්පත් වාර්තා එක්තරා කාරණයක් ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ, වැලිගම පොලිසිය විසින් රුසියානු ජාතික කළු සල්ලි ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. ඉන් පසු ඔහු ඇපමත නිදහස් කරනු ලැබූ බව වාර්තා විය.

ඔහුගේ නම ෆරින් මනොකින් ලෙස සඳහන් කරනු ලැබූ පුවත් වාර්තා ඔහු රටින් පැනගොස් ඇති බව සඳහන් කරනු ලැබුවේ, මීට දින කිහිපයකට පෙරය. අදාළ අපරාධකරුගේ නම මෙන්ම පුවතේ මූලික කාරණා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර ප්‍රයෝජනයට ගනිමින් ප්‍රසිද්ධ වූ දෑ ලෙස අනුමාන කළ හැකිවේ.

සමස්ථ සිදුවීමට අදාළ අතුරු සිදුවීම් වල කාලරාමුව වෙනස් වීමේ ඉඩක් තිබේ. මාර්තු මාසයේ අත්අඩංගුවට ගැනීමක් ගැන වාර්තා වුවද එය ඉන් මාස කිහිපයකට පසු සිදු වූවා විය හැකිය.

තානාපති කාර්යාලවලින් බලපෑම් :

නමුත් මෙම රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගැනීම තානාපති කාර්යාල අතර ගින්නක් මෙන් පැතිර ගියා පමණක් නොව, ඇතැම් තානාපති කාර්යාල මොහු තමන්ගේ රටට ලබා දෙන ලෙස වත්මන් ආණ්ඩුවට බල කරනු ලැබූ පුවත්පත් වාර්තා පවා ප්‍රසිද්ධ විය.

එනම්, අදාළ අත්අඩංගුවට ගැනීමේදී රුසියානු තානාපති කාර්යාලය පමණක් නොව අනෙකුත් තානාපති කාර්යාල ඉතාම කලබලයට පත්විය.

ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව යටතේ පාලනය වන ඩේලි නිව්ස් පුවත්පත පසුගිය සෙනසුරාදා දිනයේ වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අදහස හෙළිදරව් කරනු ලැබීය.

එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන්, ඉදිරිපත් වන තොරතුරු එකිනෙකට ගැලපීම සහ ඒවා අතර තිබිය හැකි යැයි විශ්වාස කළ හැකි හෝ අනුමාන කළ හැකි සහ-සම්බන්ධය තේරුම් ගැනීම මෙන්ම ඒ ඔස්සේ රටේ වත්මන් තත්වය ගැන විමර්ශණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි.

අදාළ මොහොත පැමිණෙන තෙක්:

වැලිගමදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා එක්තරා සිකුරාදා දිනයක අත්අඩංගුවට ගැනීමෙන් පසු සඳුදා දිනයේ ඇපමත නිදහස් කරනු ලබයි. ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා සහ තවත් එක්තරා ජෙයිෂ්ඨ නීතීඥවරයෙකු පෙනී සිටිති.

මේ සම්බන්ධයෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතා සම්බන්ධ කරගෙන ඔහුගේ අදහස විමසීමට අප දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත.

කෙසේ නමුත්, මහාධිකරණයේදී ඇප ලබා ගැනීමෙන් පසු අධිකරණය මෙන්ම අනෙකුත් ආයතන ක්‍රමානුකූලව මඟ හැරීමට සමත්වන අදාළ පුද්ගලයා සති කිහිපයක් මෙරට පෞද්ගලික රෝහලක මෙන්ම ඉන් පසු එතරම් පිරිසක් නොගැවසෙන හෝටලයක නවාතැන් ගෙන ඇත.

රටින් පනින තුරු සැඟවී සිටින ලෙසට ලබා දුන් උපදෙස් එලෙසම අනුගමනය කළ හෙතම අදාළ මොහොත පැමිණෙන තෙක් බලා සිටඇත.

ඇමරිකාව ඉල්ලීමක් කලේද ?

මේ අතර අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු දැනගත් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන මෙන් ඉල්ලා තිබේ.ඒ දෙරට අතර අත්සන් තබා ඇති උදර්පණ පනතේ කරුණු ප්‍රකාරවය.

gru 195pxවිශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, ඇමෙරිකානු තානාපති කාර්යාලය අවස්ථා ගණනාවකදී අදාළ රුසියානු ජාතිකයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ, ඔහු ඇමෙරිකානු භූමියේදී අපරාධ රාශියකට සම්බන්ධ වී ඇතිබව සඳහන් කරමිනි.

රුසියානු ඔත්තු සේවය වන GRU හී ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගොර් කොරෝබෝව්, රුසියානු සයිබර් අපරාධකරුවන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව පැවසේ.

අදාළ අපරාධකරු ෆෙඩරල් පර්යේෂණ කාර්යාංශයේ ( එෆ්.බී.අයි.) අවශ්‍යතා ලැයිස්තුවේ ( මොස්ට් වොන්ටඩ් ලිස්ට්) සිටින ප්‍රධාන පුද්ගලයෙකු බව, ඇමෙරිකානු තානාපති කාර්යලය මෙරට ඇතැම් බලධාරීන්ට දැනුම් දී ඇතිබව සඳහන් වේ.

නමුත්, පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ මූලාශ්‍ර සඳහන් කරන පරිදි එවැනි කාරණයක් ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට ආරක්ෂක බලධාරීන්ට ඉදිරිපත් කොට නැති නමුත්, ඔහු එරට සිදු වූ මිනී මැරීම් කිහිපයකට සම්බන්ධ බව පමණක් සඳහන් කොට ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම:

නමුත්, ඊට අමතරව විශේෂයෙන් වැදගත් වන කාරණයක් ඇමරිකානු තානාපති කාර්යාලයේ බලධාරීන් සඳහන් කොට ඇත්තේ අදාළ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය සහ ඔහුගේ කුසලතාවය සම්බන්ධයෙන් යම්කිසි ඉඟියක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථා නිර්මාණය කරමිනි.

එනම්, මෙම පුද්ගලයා 2016 නොවැම්බර් මාසයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කළ ප්‍රධාන පුද්ගලයින්ගෙන් අයෙකු බවයි.

මෙම මූලික කාරණයට මෙරට අපරාධ පර්යේෂණ අංශවලින් සේම දේශපාලන බලධාරීන් විසින් එතරම් සැලකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනේ.

එසේම, ඇමෙරිකානු තානාපති කාර්යාලය එක්කෝ මෙම පුද්ගලයාගේ සැබෑ තොරතුරු ගැන සර්ව සම්පූර්ණයෙන් දැනුවත් කොට නැත, එක්කෝ, ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔහුගේ සැබෑ තොරතුරු ශ්‍රී ලංකා ආණ්ඩුවට වසන් කරමින්, ඔහු විසින් සිදුකළේ යැයි කියන අපරාධ කිහිපයක් පමණක් උපුටා දක්වා ඇත.

එක්සත් ජනපදය වැනි රටක මිනීමැරීම් කිහිපයකට නොව එකකට හෝ සම්බන්ධ සැකකරුවකු වෙතොත් ඔහු සම්බන්ධයෙන් තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරාම පැතිරී යෑමට එතරම් කාලයක් අවශ්‍යය වන්නේ නැත.

මෙම පුද්ගලයාද එවැනි අපරාධ වලට සමබන්ධ අයෙක් වන්නේ නම්, ඔහු ගැන තොරතුරු රාශියක් අන්තර් ජාලයේ තිබිය යුතුය.

 එෆ්.බී.අයි තොරතුරු කරමින් :

නමුත්, ඔහුගේ ගමන් බලපත්‍රයේ ඇති නාමය වන ෆරින් මනොකින් ගැන තොරතුරු විමසීමේදී අන්තර්ජාල පිටු අතර මතු වන්නේ, ඔහු ලංකාවේදී අත්අඩංගුවට පත් වූ බව සහ ඔහුගේ පැනයෑම පමණි. එනම්, ඩේලි නිව්ස් වාර්තාවේ ඉදිරිපත් කොට ඇති තොරතුරු හා සමාන තොරතුරු පමණි.

මේ නිසා එක්කෝ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය, නැතහොත් එෆ්.බී.අයි. සංවිධානය මෙම පුද්ගලයාට සම්බන්ධ තොරතුරු කුමන හේතුවක් නිසා වසන් කොට ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම කරනු ලැබූ රුසියානු ජාතික පරිඝණක විශේෂඥයින් අතර ප්‍රධානියෙකු වන්නේ නම් ඔහු එසේ මෙසේ පුද්ගලයෙකු විය නොහැකි බව සාමන්‍යය දැනුම පිළිබඳ කාරණයකි.

එසේම, ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට භාරදෙන ලෙස කළ ඉල්ලීමෙන් පෙනී යන්නේ හෙතම සාමන්‍යය පුද්ගලයෙකු නොවන බවයි.

එපමණක් නොව, රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් අදාල පුද්ගලයා බේරා ගැනීම වෙනුවෙන් ඍජුව පෙනී සිටීම සහ ඔහුට ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කිරීමෙන් පෙනී යන්නේද, අදාළ පුද්ගලයා ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යය පුද්ගලයෙකු බවයි.

මෙරට වගකිව යුතු පාර්ශවයන් දැනුවත් වී නැහැ :

මේ වනවිට හෙළිදරව් වී ඇති තොරතුරු වලින් පෙනී යන්නේ, මෙම පුද්ගලයා ගැන නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් මෙරට වගකිව යුතු පාර්ශවයන් දැනුවත් වී නොමැති බවයි.

එසේම, ඔහු ඉදිරිපත් කරනු ලැබූ, ගමන් බලපත්‍රයේ ඇති තොරතුරු පමණක් මූලික කරගනිමින් පරීක්‍ෂණ මෙහෙයවා ඇති අතර, අදාළ තොරතුරු ඔහුගේ සැබෑ තොරතුරු බව දැඩිව විශ්වාසකොට ඇත.

ඊට අමතරව ඉදිරියේදී ( හොරා පැනගියද) වැදගත් වන්නේ යැයි සිතා ඔහුගේ ඇඟිලි සලකුණු සහ වෙනත් ජෛවවිද්‍යාත්මක සාක්‍ෂි එකතු කර ගැනීමට මෙරට අපරාධ පරීක්‍ෂණ භාර නිළධාරීන් කටයුතු කොට ඇත්තේ නම් එය අගය කළ යුතු කාරණයකි.

ඉහත සඳහන් කළ පරිදි, මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මැදිහත් වී ඉල්ලා සිටීමට තරම්, අදාළ පුද්ගලයා ඇමරිකාවට ඉතාම වැදගත් පුද්ගලයෙකු විය යුත්තේය.

එසේම එෆ්.බී.අයි. අවශ්‍යතා ලයිස්තුවේ සයිබර්අපරාධ කරුවන්ගේ ගොන්නට එකතු කිරීමට තරම් හෙතම ඉතාම ප්‍රභල අපාරධකරුවෙකු විය යුතුය.

එපමණක් නොව, ඔහු 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානුවන් කළේ යැයි කියන මැදිහවීමේ සිටි පුද්ගලයෙකු ලෙස හඳුන්වා තිබේ නම්, මෙම පුද්ගලයාගේ බරපතළකම ඊටත් වඩා විශාල වේ. එෆ්.බී.අයි. සොයමින් සිටින්නේ මොහුය.

 බරපතළ ප්‍රශ්නකාරී තත්වයක්:

තානාපති කාර්යාල ආරංචිමාර්ග පමණක් නොව රජයේ අමාත්‍යංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම පුද්ගලයාට එරෙහිව නිවැරදි අධිකරණ මාර්ගයක් ගැනීම වැළක්වීම සහ හෙතමට රුසියාවට පැනයාමට ඉඩදීම බරපතළ ප්‍රශ්නකාරී තත්වයක් මතුකරනු ලබයි.

එය, කුමන හේතුවක් මත සිදුවූයේද? මෙහිදී මැදිහත් වූ පාර්ශවන් කවරේද? එසේ මැදිහත්වීම සඳහා මූලික වූ හේතුව කුමක්ද? යන කාරණා සම්බන්ධයෙන් උඩු දුවමින් පවතින කාරණා රාශියකි.

එක්තරා ආරංචි මාර්ගයකට අනුව, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසු ඇති වූ තත්වය කුමන හෝ හේතුවක් නිසා පාලනය කිරීමට මෙරට ඉහළ දේශපාලන බලවේගයක් කටයුතු කොට ඇත.

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්

 විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට, අදාළ සිදුවීම ගැන විමසා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ එකළ කටයුතුකළ aujeni 400pxලේකම්වරයා සහ අපරාධ පර්යේෂණ දෙපර්තම්න්තුවේ ප්‍රධාන නියෝජ්‍යය පොලිස්පතිවරයෙකු කැඳවා තොරතුරු විමසීමෙන් පසු රුසියානුවන් අසතුටු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.

එම ඉල්ලීමෙන් පසු බොහෝ දෑ වෙනස් වේ.

ඉන් පසු, අදාළ පුද්ගලයාට රාජ්‍යය අනුග්‍රය යටතේ පැනයාමට අවශ්‍යය වටපිටාව සකස් වීම සිදුවේ. එය කෙසේ හෝ වැළක්වීම සඳහා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය කටයුතු කරනු ලැබීය. නමුත් එය අසාර්ථක විය.

එහි ප්‍රතිඵලය ලෙස හෙතම මෙරටින් පැන යන්නේය. ඔහුගේ පැනයෑම සම්බන්ධයෙන් ඉදිරිපත්වන ප්‍රධාන අදහස් දෙකකි.

මුහුදෙන් පැනගියේද ?

එක් පාර්ශවයකට අනුව, අදාළ අපරාධකරුවා බෝට්ටුවකින් පලා යන්නේ මෙම මාසයේ පළමු සතියේදීය. අනෙක් පාර්ශවයට අනුව, ඔහු මෙරට ගුවන්තොටුපලෙන් පැනයන්නේ රාජ්‍යය ආරක්ෂාව යටතේය.

එනම්, මෙරටට පැමිණෙන රුසියානු රාජ්‍යය ආරක්ෂක වෙළඳාම් ඇතුළු කටයුතු සම්බන්ධ එකම නියෝජිත ආයතනය වන රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන් යානයෙන් ඔහු මෙරටින් පලා යන බව සඳහන් වේ.

බෝට්ටුවකින් පලා ගියේ නම්, හෙතම මෙරට නාවික හමුදාවේ ඇස්වලට වැලිගසා යා යුත්තේය. එසේම, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන් යානයෙන් මෙරටින් පලා ගියේ නම් ඒ සඳහා මෙරට ඉහළ පෙළේ දේශපාලන බලාධිකාරියක ආශීර්වාදය තිබිය යුත්තේය.

 us ambacey colombo

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය

 මෙහිදී පැනනගින මූලික කාරණයක්, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් වැනි අති ප්‍රභල අවිආයුධ සමාගමක ප්‍රධානියෙකුගේ පෞද්ගලික ගුවන්යානයෙන් ඔහු පැනගියේ නම්, ඔහුට රුසියානු රාජ්‍යය සමඟ ඇති ප්‍රභල සම්බන්ධයය. එය අමතක නොකළ යුතු කාරණයකි.

මේවන විට පැතිරී පවතින තහවුරුකරගත් තොරතුරු මෙන්ම දූෂමාන ආරංචි මාර්ග ප්‍රකාරව, අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් අනුමාන කළ හැකි කාරණා කිහිපයක් තිබේ.

එෆ්.බී.අයි. සංවිධානයේ අවශ්‍යතා ලයිස්තුවේ සිටින සයිබර්අපරාධකරුවන්ගේ පළමු දසදෙනාගේ ගොන්නට අයත් අපරාධකරුවන් අතර රුසියානු ජාතික අපරාධකරුවන් සිව්දෙනෙකි.

ඔවුහු නම්, ඇලෙක්ෂි බෙලන්, දිමිත්‍රි ඇලෙක්සැන්ද්‍රෝවිච් ඩොකුචීව්, ඉගොර් අනටෝලිවිච් සුච්චින් සහ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වෙති. මෙම අපරාධකරුවන් සිව්දෙනා ගැනම ඉතා දීර්ඝ විස්තර එෆ්.බී.අයි. සංවිධානය විසින් නඩත්තු කරනු ලබන, ලිපිගොනු වල තිබේ.

වැලිගමදී අල්ලා ගන්නා පුද්ගලයා කළු සල්ලි වංචාකරන ජාවාරම්කරුවෙකු බවත් හෙතම ඇමෙරිකානු මැතිවරණයේදී මැදිහත් වූයේ යැයි කියන රුසියානු ජාතික පරිඝණක හැකරුන්ගෙන් අයෙකු බවත් ඇතැම් ආරංචිමාර්ග සඳහන් කරන කාරණයකි.

එම තොරතුරු වලට අනුව අනුමාන කිරීමේදී එළඹිය හැකි නිරීක්ෂණය වන්නේ, අදාළ පුද්ගලයා එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්ගේ තොරතුරු වලට වඩාත්ම සමීප සම්බන්ධයක් ඇති බවයි.

 ත්‍යාග මුදල ඩොලර් මිලියන තුනක් :

එසේ අත්අඩංගුවට පත් වූයේ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් නම්, එය අතිශය ප්‍රභල කාරණයකි. එසේම, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අදාළ පුද්ගලයා තමන්ට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නම් එය පුදුමයක් නොවේ.

මන්ද හෙතමගේ තොරතුරු වලට අනුව, එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් යනු ඇමෙරිකාවට අත්‍යවශ්‍යය පුද්ගලයින් අතර කෙනෙකි. ඔහු ගැන තොරතුරු ලබා දෙන්නෙකුට ලබා දීමට නියමිත ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන තුනකි.

මෙම ත්‍යාග මුදල හේතුවෙන් අදාළ කාරණය තමන්ට අවශ්‍යය ආකාරයෙන් සිදුකර ගැනීමට ඇමෙරිකානු බලධාරීන්ට නොහැකි වූයේද යන්න මේ ගැන දන්නා අයවලුන් දනිති.

තිස්හතර වියැති එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු රුසියානු ආණ්ඩුව සමඟ නොනිලව කටයුතු කරන පරිඝණක විශේෂඥයෙකි.

 දරුණු හැකර් කරුවෙක් :

 එසේම, ඉතාම දරුණු හැකර් කරුවෙකු ලෙස නම්දරා ඇති ඔහු නිර්මාණය කළේ යැයි කියන පරිඝණක වෛරසයකින් ලොව පුරා පරිඝනක මිලියන ගණනක පාලනය තමන් අතට ගත් පුද්ගලයෙකි.

2011 දී එෆ්.බී.අයි. සංවිධානය පරීක්‍ෂණ ආරම්භ කළ එක් ප්‍රධාන කාරණයක් වූයේ සීයුස් ට්‍රෝජන් හෙවත් ගේම් ඕවර් සේයුස් නමැති වෛරසය විසින් කරනු ලැබූ බලපෑමයි. එය මිලියනකට වඩා වැඩි පරිඝණක සංඛ්‍යාවකට බලපෑම් කළ අතර එමඟින් සිදු වූ මූල්‍යය හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන සීයකට අධිකය. ඊට අමතරව ඔහු සිදුකොට මූල්‍යමය හානිය අතිවිශාල බව සඳහන් වේ.

බෝගචෙව් නිර්මාණය කරනු ලැබූ සීයුස් ට්‍රෝජන් වෛරසය ලොව පුරා පැතිරී ගිය රටවල් අතර ශ්‍රී ලංකාවද තිබේ. මෙරට බස්නාහිර පළාත තුළ තිබූ පරිඝණක කිහිපයක අදාළ වෛරසය පැතිරී තිබූ බව වාර්තා වී තිබේ.

අනෙක් පසින්, මෙම සිදුවීමට අදාළ පුද්ගලයා එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වන්නේ ඔහු නම්, හෙතම කෙසේ හෝ බේරාගෙන තම රටට රැගෙන යෑම රුසියාවේ අරමුණ වීමට ප්‍රධාන හේතූ ගණනාවක් තිබේ.

ඒ අතර ප්‍රධාන කාරණය වන්නේ එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්ට රුසියානු ආණ්ඩුව සලකනු ලබන්නේ අවධානමකට වඩා ප්‍රයෝජනවත් අයෙකු ලෙසය.

ව්‍යාජ සේයාරුවක්:

මේ අතර අදාළ පුද්ගලයාගේ යැයි අනියමින් අඟවමින්, මෙරට ප්‍රසිද්ධ වන එක්තරා බ්ලොග් අඩවියක අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ සේයාරුවක් පලකොට තිබේ. එය ව්‍යාජ සේයාරුවක් බවත් එම සේයාරුවේ නියම මූලාශ්‍රය 123rf.com නමැති ප්‍රකට සෙයාරූ විකුණනු ලබන වෙබ් අඩවිය බවත් අප කළ නිරීක්ෂණයකදී හෙළිදරව් විය.

මේ නිසා අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරනු ලබන කිසිම සේයාරුවක් මෙරට නොමැති අතර ඔහු සම්බන්ධව පැවති සේයාරූ කුමන හෝ හේතුවක් නිසා අතුරුදන් වී ඇතිබව නොනිල ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

 ගසසප ලක පවතඅදාළ පුවත සමඟ පලකොට ඇති ව්‍යාජ සේයාරුව. මෙම සේයාරුව ලබාගෙන ඇති වෙබ් අඩවියට පිවිසීම සඳහා පිවිසෙන්න මෙතනින්

පෞද්ගලික ගුවන් යානයකින් :

 එසේම, අදාළ පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පැනයෑම සම්බන්ධව විමසීමේදී පෙනී යන්නේ, ප්‍රායෝගිකව එසේ විය හැකිද යන්නයි. මෙරට පිහිටි ඉතාම මිළ අධික පෞද්ගලික රෝහලක නැවතී සිටි අයෙකු බෝට්ටුවකින් පැනයෑමට තීරණය කරන්නේද යන්න වෙනම විමසා බැලිය යුතු තාක්ෂණික කාරණයකි.

ඔහු පැනයාමට අදාළව සඳහන් වන අනෙක් කාරණය වන්නේ, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් නමැති සමාගමේ ප්‍රධානියා මෙරටට පැමිණි පෞද්ගලික ගුවන් යානයෙන් ඔහු මෙරටින් පැනගිය බවයි. එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වැනි අයෙකුගේ තොරතුරු සමඟ සිතීමේදී එවැනි මැදිහත්වීමක් සිදුවූයේනම් ඒගැන පුදුම විය යුතු නොවේ.

රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ කටයුතු ගැන සහ ඔවුහු මාර්ගයෙන් රුසියානු රාජ්‍යය මෙරටට ලබා දී ඇති රාජ්‍යය ණය මුදල ගැන කාලාන්තරයක් තිස්සේ මෙරට දේශපාලන ප්‍රජාව තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

එසේම අදාළ සමාගම සමඟ කටයුතු කරන එක්තරා පෞද්ගලික මාධ්‍යය ආයතනයක් පරිපාලනය කරන පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් තොරතුරු විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රසිද්ධ වී තිබේ.

 රෝසොබෝරෝන්එක්ස්පෝර්ට්:

 මේ අතර රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගම වෙනුවෙන් කාලයක් කටයුතු කළ මෙරට නියෝජිතයාගේ හදිසි අභාවයෙන් පසු ඔහුගේ සමාගමට අදාළ නීතිමය ගිවිසුම්වලින් වහාම ඉවත්වන රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් නව පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුම් ඇතිකර ගෙන ඇතිබව සඳහන් වේ.

එම සමාගම මෙරට ඉහළ දේශපාලන බලවේගයකට ඕනෑම බලපෑමක් කිරීමට හැකි බලයක් ඇත්තේ යැයි පතුරුවා ඇති අදහස හේතුවෙන්, අදාළ මව් සමාගම එම තීරණය ගත්බව පසුව වාර්තා වූ මූලික කාරණයකි.

මේ අතර රුසියානු හැකරුන් සහ කළු සල්ලි සුදු කරන වංචාකාරයින් මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යය ආයතන දෙකක් සමඟ ඉතාම කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන යන බව මීට මාස කිහිපයකට පෙර වාර්තා වූයේ සාමය සහ ආරක්ෂාව භාර ආමත්‍යය සාගල රත්නායක මහතාටය. ඔහු එය ආරක්ෂක අංශ බලධාරීන්ට දැනුම් දෙනු ලැබීය. ඒ සම්බන්ධයෙන් මේවන විටත් පරීක්‍ෂණ පැවැත්වේ.

 මේ අතර වාරයේ රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගමේ පිරිසක් පළමුවද, එහි ප්‍රධානියා පසුවද මෙරටට පැමිණ ඉතාම රහසිගත මට්ටමේ alecsenderසංවාද පත්වනු ලැබූහ. එය ඉතාම සූක්ෂමව ඉදිරිපත් කිරීමට මෙවැනි ලෝක ප්‍රකට සමාගමක් තීන්දු කිරීම සැබවින්ම පුදුම සහගතය.

එසේම, ඩොලර් මිලයන හාරසීයක පමණ ගනුදෙනුවක් පිළිබඳ තීන්දු ගැනීම සඳහා එහි ප්‍රධානියා පැමිණීම කුතුහලය දනවන කාරණයකි. මන්ද, රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් සමාගම විසින් ඉන්දියාවට විකුණනු ලැබූ අතිවිශාල වටිනාකමක් ඇති භාණ්ඩ සිදු වූ ගනුදෙනු වලදීවත් හෙතම පැමිණියේ නැත.

සාමන්‍යයෙන් රුසියානු ජනාධිපතිවරයා හා සමාන වටිනාකමක් ඇති මෙම ප්‍රධානියා මෙරටට පැමිණීම එක් ගනුදෙනුවක් පිරිමසා ගැනීම සඳහා පමණක් සිදුවූයේ යැයි සිතීම උගහටය.

එම අනුමාන කිරීම් ඔස්සේ එළඹිය හැකි නිගමනය වන්නේ, ඉතාම වැදගත් කාරණා කිහිපයක් විසඳා ගැනීම සඳහා හෙතම මෙරටට පැමිණි බවය. ඉන් ප්‍රධාන කාරණයක් විය හැක්කේ අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි රුසියානු ජාතික අපරාධකරුවා කිසිඳු අවහිරතාවයකින් තොරව මෙරටින් රැගෙන යෑම විය හැකිය.

 කටුනායක ගුවන්තොටුපලෙන් !

විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන තවත් අතිශය බරපතළ කාරණයක් වන්නේ, එම පුද්ගලයා විශාල ආරක්ෂාවක් යටතේ කටුනායක ගුවන්තොටුපළට රැගෙන ගොස් සියල්ලගේම දෑස් වලින් වසා ඔහුගේ ආරක්ෂාකාරී පිටවීම මෙරට බලධාරීන් විසින් තහවුරු කළ බවයි.

නමුත්, ඒ ගැන විමසා බැලීම සඳහා ඉහළපෙළේ ආරක්ෂක අංශ සම්බන්ධ කරගැනීමේදී සඳහන් වූයේ එවැන්නක් සම්බන්ධයෙන් තහවුරුකරගත් සාක්ෂි නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී සඳහන් කරනු ලබූ තවත් ප්‍රධාන කාරණා කිහිපයකි.

එනම්, උදර්පණ පනතේ කොන්දේසී ප්‍රකාරව ඇමරිකා එක්සත් ජනපදය අදාළ පුද්ගලයා තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. නමුත්, එය ප්‍රතික්‍ෂේප කරමින් එම පනතේ කාරණා අනුව සහ ඔහුගේ රුසියානු සම්භවය මූලික කරගෙන අදාළ පුගලයා රුසියාවට භාරදීමට මෙරට බලධාරීන් කටයුතු කොට ඇත.

ඉන් පසු ඔහු පැනගොස් ඇතිබව සඳහන් කරමින් ව්‍යාජ පුවතක් නිර්මාණය කොට තිබේන බව ඇතැම් මූලාශ්‍ර මේ සම්බන්ධයෙන් දරණ මතයකි.

ඇමරිකාවේ හැකර්කරුවන් දඩයම:

ඇමෙරිකා එක්සත් ජනපදය තම රටේ පරිඝණක පද්ධති වලට හානී කළ හැකර්කරුවන් දඩයම් කිරීම ආරම්භ කරනු ලැබුවේ අද ඊයෙක නොවේ.

එසේම නිකිටා කුස්මින්, දිමිත්‍රි ස්මිලියනෙට්, ව්ලැඩිමීර් ද්රින්ක්මන්, රෝමන් සෙලෙස්නීව් ආදී රුසියානු ජාතික හැකර්කරුවන් ජාත්‍යන්තර පොලිසිය, එෆ්.,බී. අයි සහ අදාළ මුල් රටවලදී අල්ලාගෙන ගොස් එක්සත් ජනපදයේදී නඩු අසා දඬුවම් පමුණුවනු ලැබූහ. ඉන් සෙලෙස්නීව් වසර 27ක සිරදඬුවමකට යටත් කරනු ලැබුවේ මේ වසරේ අප්‍රේල් 27 මාසයේදීය.

සෙලෙස්නීව්ගේ ජීවිත කතාව ඉතා දීර්ඝ සහ ආකර්ෂණීය අත්දැකීම් වලින් පිරුණු එකකි. හෙතම තම දික්කසාදයෙන් පසු හැකර්වරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ අතර විවිධාකාර වෛරස් නිර්මාණය කරනු ලැබුවේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය ගනුදෙනු වල තොරතුරු දැනගෙන ඒවා තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහාය.

ඔහු සම්බන්ධයෙන් ලියවී ඇති එක්තරා සටහනකට අනුව, වරකදී, 2පැක් නමින් හැකර් නාමයක් යොදා ගෙන නව වෙබ්අඩවියක් ඔහු ආරම්භ කළේය. එම වෙබ්අඩවියේ ඉහලින්ම ඔහු මෙසේ සටහන් කොට ඇත.

“මම මෙහිදී පැහැදිලි කරන්නම් සල්ලි හොයන්නේ කොහොමද කියලා. $500 සිට $50,000 දක්වා වගේම $500,000 දක්වා. පටන් ගත්ත තැන ඉඳන්ම මේ සම්පූර්ණ ක්‍රියාවලීයම නීති විරෝධීබව මතක තියාගන්න”

ඔහු එහිදී ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් ඉපැයූ බව සඳහන් වේ. ඔහුගේ ක්‍රියාවලී ගැන සැක සිතු එෆ්.බී. අයි. ඔහුගේ ක්‍රියාකාරකම් ලුහුබඳිනු ලබන්නේ 2005 සිටය.

කෙසේ වෙතත් තමන් පිටුපස එෆ්.බී.අයි. ලුහුබඳින බව හෙතම වඩාත් හොඳින් දැන සිටියා පමණක් නොව සෑම විටම, පිටරට සංචාර වලදී එක්සත් ජනපදය සමඟ උදර්පණ පනත් අත්සන් නොකළ රටවල් තෝරා ගැනීමට සහ රුසියාව සමඟ මිත්‍ර සම්බන්ධතා ඇති රටවල් තෝරා ගැනීමට ප්‍රවේශම් වී තිබේ.

 romen 300pxඑහි ප්‍රතිඵලය ලෙස හෙතම 2014 මාලදිවයිනේ සංචාරයකට ගියේය. විශාල නිවසක් ( විලා) කුලියට ගත් හෙතම දින කිහිපයක් ගත කළේය. එය එෆ්.බී.අයි. වඩාත් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ අතර, ඔහු අල්ලා ගැනීමේ අවශ්‍යතාවය බලධාරීන් මාර්ගයෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ මාලදිවයිනේ බලධාරීන්ට දැනුම්දෙනු ලැබීය.

උදර්පණ පණතට ඇමරිකාව සමඟ අත්සන් නොකළ රාජ්‍යක් වුවද මාලදිවයින එහිදී අදාළ සිදුවීම සඳහා ඇමෙරිකාවට සහයෝගය පළකළේය.

කුලියට ගත් නිවසෙන් පිටත්වී මොස්කව් පිහිටි තම නිවස බලා යෑමට ගුවන් තොටුපලට පැමිණෙමින් සිටි සෙලෙස්නීව් අත්අඩංගුවට ගෙන පළමුව හවායි හී පිහිටි ඇමෙරිකානු හමුදා මූලස්ථානයට රැගෙන ආවේය. ඉන් පසු ගුවාම් දූපතටද එනයින් සීට්ල් ප්‍රදේශයට රැගෙනවිත් අධිකරණයට පමුණුවනු ලැබීය.

එෆ්.බී. අයි. මූලාශ්‍ර වලට අනුව සෙලෙස්නීව් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතු වූ ලැප්ටොප් පරිඝණකයේ මිලියන 1.7 පමණ ක්‍රෙඩිට්කාර්ඩ් වලට අදාළ තොරතුරු, ඊමේල් සහ දත්ත ගබඩා වලට ඇතුළුවීමට අවශ්‍යය ඛේත නාමයන් එහි ගබඩාකොට තිබුණි.

ඔහුගේ ක්‍රියාකාරම් හේතුවෙන් අහිමි වූ මුදල, ඩොලර් මිලියන 170 කට අධික බව ඇමරිකානු විමර්ශකයින්ගේ මතයයි.

අදාළ සිදුවීම, පැහැරගැනීමක් ලෙස හඳුන්වනු ලැබූ රුසියානු බලධාරීන් ඒ සම්බන්ධයෙන් සහයෝගීව කටයුතු කළ මාලදිවයින් ආණ්ඩුවට තම අප්‍රසාදය පල කළේය.

මේ හා සමාන සිදුවීම් රාශියක් පසුගිය කාලය පුරාම ප්‍රසිද්ධ විය. එසේම මෙම කාරණා වල ඇති බරපතළ තත්වය ගැන රුසියානු ආණ්ඩුව ඉතාම සැලකිල්ලෙන් පසුවේ.

 ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් :

 මෙවැනි තත්වයක් යටතේ, ඇමෙරිකානු බලධාරීන් තමන්ට භාරදෙන ලෙස ඓල්ලා සිටි මෙරටදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයා කෙසේ හෝ තම රටට රැගෙන යෑමට කටයුතු කිරීම සඳහා ප්‍රභල දේශපාලන මැදිහත්වීමක් සිදුවූ බව ප්‍රතික්ෂේප කළ හැකිද?

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් වැනි පුද්ගලයින් ඇමරිකාව විශාල කැපවීමක් කරමින් සොයන අපරාධකරුවන් වෙති. එසේම, රුසියාව තමන්ට ප්‍රයෝජනයට ගත හැකි එවැනි පුද්ගලයින් කෙසේ හෝ රැක ගැනීම තම මූලික වගකීම ලෙස තකන්නේය.

එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් භාවිතා කරන ව්‍යාජ නම් රාශියකි, එසේම හැකර් කරුවෙකු ලෙස ලකී 12345 සහ ස්ලැවික් යන ඛේතනම් russia ambacey 300pxවලින් පෙනී සිටින බව සඳහන් වේ. ඔහු විසින් සිදුකොට ඇති සයිබර්අපරාධ වල ඉතාම විශාලය. මේ නිසා ඔහු ඇමෙරිකානු බලාධාරීන්ට අත්‍යවශ්‍යය පුද්ගලයෙකු වේ.

වැලිගමදී අල්ලාගනු ලැබුවේ සාමන්‍යය අපරාධකරුවෙකු නම් ඇමෙරිකානු බලධාරීන් තම රටට රැගෙන යෑම සඳහා එතරම් උනන්දුවක් ගන්නේ නැත. එසේම, එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් සම්බන්ධ එෆ්.බි.අයි. වාර්තාවට අනුව හෙතම ඇමෙරිකානු අධිකරණ ක්‍රමවේදය තුළ ඇපනොදෙන අපරාධකරුවන්ගේ ගොන්නට හෙවත් “ෆ්ලයිට් රිස්ක්” ඛාණ්ඩයට ඇතුළත් කොට තිබේ.

කෙසේ වෙතත්, මේ ප්‍රභල රාජධූත ගැටීම තුළ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන බලය දැඩිව සිරවී තිබෙන බව නීරීක්ෂණය කළ හැකිය. මෙවැනි කාරණා වලදී අදාළ රාජ්‍යයන් වල හැසිරීම මෙන්ම ශ්‍රී ලංකාව රටක් ලෙස කටයුතු කළ යුත්තේ කෙසේද යන්න, ඉතාම වැදගත් කාරණයකි.

නමුත් අවාසනාවට මෙන්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ඕපාදූප සහ වෙනත් මාදිලියේ අදහස් හුවමාරු වීම පමණක් දැකිය හැකිය.

තාක්‍ෂණික වශයෙන් විශාල පෙරළියක් සිදු වී ඇති වටපිටාවක, මුහුණු පොත වැනි සමාජ ජාලා අඩවි ඔස්සේ තම පෞද්ගලික ජීවිතය නොමිලේ වෙළදාම් කිරීමෙන් ඔබ්බට ගිය ආකල්ප වර්ධනය වීම මෙන්ම තාක්ෂණික මෙවලම් ඔස්සේ මෙරට ජනජීවිතයට එල්ලවිය හැකි ප්‍රභල බලපෑම තක්සේරු කිරීම පමණක් නොව රටේ ව්ටහමන් සහ අනාගත ආරක්‍ෂාව උදෙසා නිවැරදි තීන්දු තීරණ ගැනීම ඉතාම වැදගත් වේ.

 (ශ්‍රී ලංකා ගාර්ඩියන්)

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found