Language Switcher

V2025

විල්පත්තු භීතිකාව !

විල්පත්තුව කපන්නේ නැත. අප පටන් ගත යුත්තේ එතැනින් ය.

එසේ නම් කපන්නේ කොතැනද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන චායාරූප මොනවාද යනුවෙන් ඊළග ප්‍රශ්නාවලිය එකදිගට මතු වේ.

විල්පත්තු වනයේ කොහෙත්ම නැවත පදිංචි කිරීමක් සිදුව නොමැත !

විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ පුත්තලම සහ අනුරාධපුරය දිස්ත්‍රික්ක දෙකේ ය. උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කය සමග ඊට සම්බන්ධතාවක් නැත.
මේ කියන විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් සීමාවේ කිසිදු ආකාරයක නැවත පදිංචි කිරීමක් සිදු කර නැත. විල්පත්තුව පාලනය කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ලිකුලම් කාර්‍යාලය මෙන්ම නොච්චියාගම පිහිටි වනෝද්‍යාන භාරකාර කාර්‍යාලයද එය තහවුරු කරයි.

විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව මෝදරගංආරුවෙන් අවසන් වේ. මන්නාරම දිස්ත්‍රික්කය පටන්ගන්නේ එතැනින් ය. මරිච්චිකට්ටි ගම්මානය පටන් ගන්නේත් එතැනින් ය. කැලේ කපා ජනතාව පදිංචි කළ බව කියන ප්‍රධානම ගම්මානය මේ මරිච්චිකට්ටියයි. ඊට අමතරව විලත්තිකුලම්, වේප්පන්කුලම්, කරඩික්කුලි යන ප්‍රදේශ වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර විනාශ කරමින් නැවත පදිංචි කිරීම් සිදු කරන බවද ඇතැම් පිරිස් මාධ්‍ය මගින් රටට කියති.
2001 වසරේදී ගැසට් පත්‍රයක් මගින් රජයේ කැලෑ සියල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. ඉහතින් කී ගම්මාන පිහිටා ඇත්තේ එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරුණු රජයේ කැලෑ තුළ ය.

1980 රාජ්‍ය ඉදිකිරීම් !

මෙම ප්‍රදේශ අතරින් මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශ වල පැරණි ගම්මාන පැවති බවට සාධක ඇත. 1980 ජූලි 21 දින ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද නිවාස 10 ක නටඹුන් සහ එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ ඵලකය ඊට එක් උදාහරණයකි. මරිච්චිකට්ටි ගම්මානයේ ඇති කැලෑවට යට වූ පැරණි ඉස්ලාම් පල්ලියද එසේමය. වේප්පන්කුලම් ගම්මානයෙන් එවැනි සාධක කිසිවක් හමුවන්නේ නැත. 1990 සහ 91 කාලයේ ජනශුන්‍ය වූ ප්‍රදේශයක්, එයන් වසර 11 කට පසු කැලේට යටවීමෙන් පසු රජයේ කැලෑ බවට පත් වී තිබේ. ඒ අනුව ඒවා 2001 වසරෙන් පසු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිණි. එහෙත් ඒ වන විට පැවති යුදමය තත්වය නිසා තමන්ගේ දෙපාර්තමේන්තුව යටතට පැවරුණද, කිසිදු අවස්ථාවක මේ කැලෑ නිරීක්ෂණය කිරීමක් හෝ ඒවාගේ සීමා ලකුණු කිරීමක් සිදු කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැත.

වැඩිදුරටත් සාක්ෂි

එයිනුත් වසර 11 කට පසු, එනම් මේ ප්‍රදේශය ජනශුන්‍ය වීමෙන් වසර 22 කට පසු මෙම කැලෑ සහිත ප්‍රදේශය,2001 රජයේ කැලෑ පැවරීමේ තීරණය ප්‍රකාරව රක්ෂිත තුනක් ලෙස 2012 වසරේදී ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදීද විධිමත් සහ ක්‍රමානුකූල මැනුම් ක්‍රමවේද සිදු කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඉඩක් ලැබී නැත. GPS සිතියම්ගත කිරීමේ උපකරණ යොදාගනිමින්, ස්ථානීය නිරීක්ෂණ අවම ප්‍රමාණයක් පමණක් සිදු කරමින් කළ මායිම් ලකුණු කිරීමෙන් පසුව ය, මේ රක්ෂිත ප්‍රකාශයට පත්කර ඇත්තේ.

එහිදී විලත්තිකුලම් ප්‍රදේශයේ අක්කර 650 ක් සහ මරිච්චිකට්ටි, කරඩික්කුලි ප්‍රදේශ වල අක්කර 770 ක් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සදහා වෙන්කර ඇත. ඒ අනුව අදාළ ඉඩම් අක්කර 650 සහ 770 යන කොටස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය ලේකම් භාරයට පත්කර තිබේ. එනම්, එම කොටස් රක්ෂිත වලට අදාළ නැත. ඒවා වෙන්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බරපතළ ගැටළු තිබේ. විලත්තිකුලම් ඉඩම් වෙන්කිරීම පිළිබද විගණන වාර්තාවට අනුව මේ පිළිබද කිසිදු පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් කර නැත. සමස්ත වනාන්තර පද්ධතියට මෙය බලපාන්නේ කෙසේද යන්න අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතුය.

විධිමත්ව කටයුතු නොකළ තැනක් !

මෙසේ අවතැන්වූවන් සදහා ඉඩම් වෙන්කෙරුණද, ඒවාගේ එක්වර ජනතාව පදිංචි වීමක් සිදු වී නැත. අනෙක් අතට මේ ඉඩම් වෙන්කිරීම් සිදු කර ඇත්තේද අවතැන් ජනතාව කොපමණක් සිටීද, ප්‍රධාන පවුල් සහ අනු පවුල් කොපමණ සිටීද යන කරුණු පිළිබද විධිමත් සමීක්ෂණයකින් තොරව ය. එම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති කැලෑ ඉඩම් රැසක් අනවශ්‍ය ලෙස රක්ෂිත ගැසට් කිරීමේදී නිදහස් කර ඇත. මෙසේ නිදහස් කරන ලද ඇතැම් ඉඩම් ප්‍රදේශයේ දේශපාලකයන්ගේ සමීපතමයන් අතරේ බෙදාගෙන ද තිබේ.

කෙසේ වෙතත් තවදුරටත් අදාළ නිදහස් කරන ලද ඉඩම් කැලෑවට යටවෙමින් තිබී ඇත්තේ අවතැන්වූවන් නොපැමිණීම නිසා ය. වේප්පන්කුලම් ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව සතුව මීට අදාළව 2014 වසරේ ඔක්තෝබර් 13 වැනිදා ලබා දුන් ඉඩම් ඔප්පු තිබේ.

උතුරු පළාත් ඉඩම් පාලන දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මීට මැදිහත් වී ඇත. ඒවා හදුන්වා ඇත්තේ ඉඩම් හිමිකම තහවුරු කිරීමේ බලපත්‍ර හෙවත් දීමනා පත්‍ර ලෙස ය. එක් දිනක් ඇතුළත පමණක් මෙසේ ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව විසිදහසකි. එනම් පවුල් විසි දහසකට මේ ප්‍රදේශයේ යළිත් පදිංචි වීම සදහා රජය විසින් ඉඩම් අයිතිය තහවුරු කර දී ඇත.
කටාර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ ආධාර මත මේ අතරින් කොටසක් නිවාස ඉදිකරගෙන තිබේ. ඒවාට අවශ්‍ය ජල පහසුකම් සපයා දී ඇත්තේද එම ආධාරවලිනි.

මතභේද සහ පාර්ශ්වික විවේචන මැද්දේ කල්ගත විය. ඉන්පසු 2017 මාර්තු 24 වැනිදා ඉහත සදහන් රක්ෂිත තුන එක්කොට, මාවිල්ලු සංරක්ෂිතය ප්‍රකාශයට පත්කරන ලදි. ඊට හෙක්ටයාර් 32,505 ක් අයත් ය. ඒ අනුව සංරක්ෂිතය තුළට අවසරයකින් තොරව ඇතුළු වීම පවා අත්අඩංගුවට ගත හැකි වරදකි. මේ සංරක්ෂිතයට, පෙර අවතැන්වූවන් සදහා නිදහස් කරන ලද ඉඩම් අක්කර 650 සහ 770 අදාළ නොවේ.

මේ වන විට යළිත් අදාළ ඉඩම් බලපත්‍ර ලැබුණු ජනතාවගෙන් කොටසක් තම නිවාස ඉදිකිරීම ආරම්භ කර තිබේ. ඒ සදහා ආධාර ලැබෙන බවත්, රජයෙන් ණය ලැබෙන් බවත් එම ජනතාව පවසති.

ගුවන් නිරීක්ෂණ වාර්තා කියන කතාව

එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත සීමාවේ කිසිදු විනාශයක් සිදු කර නැත. කිසිවකු එම සීමාවේ නැවත පදිංචි වී නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද එම කරුණු තහවුරු කරයි. ගුවන් හමුදාව මගින් සතිපතා සිදුකරන මේ කලාපයේ ගුවන් නිරීක්ෂණ වාර්තා වලද අලුතින් කැලෑ එළිකිරීමක් ගැන සදහන් වන්නේ නැත.

සෑම පුරවැසියකුටම ඉඩමක් හිමිවිය යුතුය. එය අයිතියකි. එසේ තිබියදී රිෂාඩ් බ්දූර්දීන් ඇමතිවරයා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටසකින් හෙක්ටයාර් 75 ක් ඉල්ලා ඇත. ඒ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සදහා යැයි පවසමිනි. කොන්ඩච්චි ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් භූමියක් මෙසේ ඉල්ලා ඇත. මුහුදු ප්‍රදේශයට වන්නට පිහිටි මෙම භූමිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වුවද, එම ප්‍රදේශයේ මෙතෙක් විධිමත්ව සීමා ලකුණු කර නැත.

එසේම එම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කර නොමැති නිසා සංවර්ධන කටයුතු සදහා යැයි පවසමින් එම භූමිය ලබාගැනීමේ බාධාවක් නීතිමය වශයෙන් නැත. එහෙත් මීට පෙර නිදහස් කරන ලද, ජනතාව පදිංචි නොවූ ඉඩම් අක්කර සිය ගණනක් තිබියදී, එම ඉඩම් වල අදාළ ව්‍යාපෘතිය සිදු කිරීමට දේශපාලකයන් එකග නොවීම ගැටළුවකි. 2019 පෙබරවාරි 18 වැනිදා මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී මේ ඉඩම් ලබාදීමට රජයේ නිලධාරීන් එකග වී ඇතත්, රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාගේ පාර්ශ්වය එය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ අදාළ නිදහස් නොකරන ලද, වන සංරක්ෂණ ඉඩම් කොටසම තමන්ට අවශ්‍ය බවයි. කෙසේ වෙතත් මීට අදාළ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.

විල්පත්තුව පෙන්වා පත්තු කරන්න යන්නේ මොකක්ද ?

විල්පත්තුව පෙන්වමින් ඇත්ත යටගහන්නට හදන කතාවේ ඇතුළාන්තය සරලව මෙසේ පැහැදිලි කළ හැකිය. කුමන තත්වයක් යටතේ වුවද ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත විය යුතුය. ඊට විනාශ නොකරන ලද පරිසරයක ජීවත් වීමේ අයිතියද ඇතුළත් ය. සතා-සිවුපාවුන් සහ ගහකොළ මියැදුණු දිනයේ මිනිසාගේ පැවැත්මද අහෝසි වී යන්නේය. එම නිසා දේශපාලකයන්ගේ සටකපට උපක්‍රම වෙනුවෙන් පරිසරය වැනසීම මෙන්ම දේශපාලන වාසි තකා අසත්‍ය වැපිරීම යන අපරාධ දෙකටම එක සමානව එරෙහි විය යුතුය. මනුෂ්‍ය සංහිදියාව මෙන්ම පාරිසරික සංහිදියාවද රටේ පැවැත්මට අත්‍යවශ්‍ය ය.

මහනුවර, දිගනදී මේ දේශපාලන කොන්ත්‍රාත්කරුවෝ පසුගිය මාර්තුවේදී අපරාධ රැසක් කළහ. මේ මාර්තුවේ විල්පත්තු කතාව ගොඩනැගුවේද ඔවුන්මය. ඔවුන්ට අවශ්‍ය ගින්දර මතින් යන්නටය.

ශාලික විමලසේන

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found