Language Switcher

V2025

''අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මළගෙයක් වගේ වෙලා'' - ඇමති රිෂාඩ්

පාස්කු ඉරිදා (21) ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් දැඩි පිළිකුලෙන් යුතු හෙලා දකින බවත් ඉස්ලාමිය ධර්මයට පටහැනි එවැනි ත්‍රස්ත ක්‍රියා තම පක්ෂය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත්, මෙවැනි ම්ලේච්ජ ක්‍රියා පරාජය කිරීමට තම පක්ෂය පුර්ණ සහය ලබාදෙන බවත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක, අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් මහතා පවසයි.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සහජීවනය අගයන ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව පැවසු ඇමතිවරයා, ''අද හැම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා..එතරම් වේදනාවක් '' යයි කියා සිටියේය.

ඇමතිවරයා එබව සඳහන් කළේ 'නිව්ස් ටියුබ්' සමග සාකච්ජාවකට එක්වෙමිනි.

මෙම ඝාතන වලට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් ලබාදිය යුතු බවද එහිදී අවධාරණය කර සිටි ඇමතිවරයා,

''සියදිවි හානිකර ගැනීම මුස්ලිම්වරුන්ට පාපක්‍රියාවක්. අපේ ආගමේ මේවගේ පාපකාරී දේවල්වලට කිසිම් ඉඩක් නැහැ ..'' යයි කියා සිටියේය.

අප කල විමසීම්වලදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

 ''අපි බුද්ධි අංශ දැනුවත් කළා''

 සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තියනව. ආගමට පටහැනි ලෙස දේශනා පැවැත්වූ සැකකටයුතු පුද්ගලයින් ගැන එම සභාවේ බලධාරීන් මිට පෙර බුද්ධි අංශ දැනුවත් කර තිබුනා. නමුත් ඒගැන අවධානයක් යොමුවී නොතිබීම කණගාටුවට කාරණයක්.. දැන් ඒගැන කතාකරල එකිනෙකාට චෝදනා කරලා වැඩක් නැහැ.

මේ ප්‍රශ්නය ලෙහෙසියෙන් ගන්න බැහැ. එල්.ටි.ටි.ඊ. ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. මේක ජාත්‍යන්තරයත් එක්ක ගැට ගැසුන කාරණයක්. මේවට සම්බන්ධ සමහර පුද්ගලයින් කෝටිපතියන්. ඒ අතරින් බොහෝ දෙනෙක් ලංකාවේ මද්රසා දහම් පාසල්වල ඉගෙනගත් අය නෙමෙයි, පිටරටවල ඉගෙන ගත්ත අය. එක් එක් සමාජ මට්ටමේ අය සමග මොවුන් ආශ්‍රය කරලා තියනවා. දේශපාලනඥයින් සමග වෙන්න පුලුවන්, ව්‍යාපාරිකයින් සමග වෙන්න පුළුවන් . ඉතින් මේවගේ සාමන්‍ය විදියට හැසිරෙන පුද්ගලයින් ලෙහෙසියෙන් හඳුනා ගන්න බැහැ .

අඩුම තරමින් මෙවැනි පුද්ගලයින් ගැන ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්වත් දන්නේ නැහැ. එවැනි පුද්ගලයින් තමන්ගේ නොනාටවත් දරුවන්ටවත් අම්මා තාත්තාට වත් තමන් කරන කියන දේවල් කියලා නැහැ.. ආගමික ලැදියාවක් පෙන්නලා නැහැ. සාමාන්‍ය විදියටයි හැසිරිලා තියන්නේ...

නමුත් ඇතැමුන් පමණක් අපේ ආගමික පුජකයින්ව අපේ දේශපාලනඥයින්ව විවේචනය කරලා තියනවා. මේක මෙලොව ජිවිතයෙන් පසු වෙනත් ලෝකයක් ගැන කියලා මානසිකව ඔලුව වෙනස් කරන වැඩක්. ජනතාව මේ ගැන හොඳින් දැනුවත්වීම වැදගත්.

ත්‍රස්තවාදයෙන් බැට කාපු ජනතාවක් : මෙහෙම චෝදනා කරන එක වැරදියි

IMG 20190423 111127

අපි අවුරුදු ගණනාවක් උතුරේ යුද්ධයෙන් බැට කෑවා. අවුරුදු ගණනාවක් දරු පවුල් එක්ක හිටියේ අනාත කඳවුරුවල. අපි ආයෙත් ඒවගේ ජිවිතයක් ගැන හීනෙකින්වත් හිතන්නේ නැහැ..

ඉතිං අපට අයෙත් ඒවගේ අඳුරු යුගයකට යන්න බැහැ . දැනටමත් අපේ දරුවෝ පණබයේ ඉන්නේ. මේ බෝම්බ ප්‍රහාර වලින්, එයාලගේ යාලුවෝ නැතිවෙලා. රටේම ජනතාව බියට පත්වෙලා...

මේ අවස්ථාවේදී ඇතැමුන් දේශපාලන වාසිගන්න මට ගහනවා. බොරු කතා කියනවා. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයකුගේ පියා සමග මම ඉන්න පින්තුරයක් ශෝෂල් මිඩියා එකේ දාලා මට ගහනවා. ඒ පුද්ගලයා හරි එයාගේ දරුවෝ හරි මේවගේ දෙකට සම්බන්ධ බව මම දන්නේ නැහැ. ඔය කියන පුද්ගලයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මම ව්‍යාපාර කටයුතු බාර ඇමතිවරයා. ව්‍යාපාර කරන ඕනෑ තරම් පුද්ගලයින් දිනපතා මාව හමුවෙනවා. කතාබහ කරනවා. පින්තුර ගන්නවා.

මේ කියන පුද්ගලයා ප්‍රධාන දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තුවකත් හිටියා. එයා හිටපු ජනාධිපති මහින්ද මහත්තය එක්ක, හිටපු ඇමති ජී එල් පිරිස් මහත්තය එක්ක, පියසේන ගමගේ හිටපු ඇමතිතුමා එක්ක ඉන්න ෆොටෝ ඕන තරම් තියනවා. මම එකේ වරදක් කියන්නේ නැහැ. එත් මට විතරක් මෙහෙම ගහන එක හරිද ? මෙයාලට ඕන දේශපාලන වාසියක් ගන්න විතරයි. සහජීවනය වෙනුවෙන් ඉන්න අපිවගේ අයට මෙහෙම කරන එක හරි ද?

 සහෝදරයාගේ සමාගම ?

 දැන් තවත් කව්ද කියල තිබුනා මගේ සහෝදරයෙක් ඔය කියන සංවිධානයේ කෙනෙක් ඉන්න කම්පනියක ෂෙයා හෝල්ඩර් කෙනෙක් කියලා. ඒ කතාව පට්ටපල් බොරුවක්. අපේ පවුලේ කිසිම කෙනෙක් ඔය කියන ත්‍රස්ත කණඩායම් එක්ක කිසිම බිස්නස් එකක් කරලා නැහැ. ඒවගේ අයට අනුබල දීලා නැහැ ..දෙන්නෙත් නැහැ ..

ඒ අතරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහත්තය කියල තියනවලු මගේ නංගි කෙනෙක්ගේ වත්තල ගෙයක් ඔය කියන ත්‍රස්තවාදියෙකුට දීල කියලා. මේ කතාවත් අමුලික බොරුවක්. මට සොහොදරියන් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් කැනඩාවේ අනෙක් කෙනා ඉන්නේ පුත්තලමේ.

කැනඩාවේ ඉන්න සහෝදරියගේ මහත්තයට සහෝදර සහෝදරියන් 13ක් ඉන්නවා. ඒ අයගෙන් එක් සහෝදරයෙක් ඔය කියන නිවස නිත්‍යානුකුලව කුලියට දීලා තියනවා. පසුගිය දවස්වල ඒ ගෙදර කවුරුවත් ඉඳලා නැහැ. මේ ගැන අසල්වාසීන් පැමිණිල්ලක් කරලා. ඒ ගැන පොලිසියෙන් සොයා බලා තියනවා. දැන් ඒ ගෙදර කුලියට ගත්තු අය හමුවෙලා. ඒ කවුරුවත් මේ සිද්ධියේදී මැරිලා නැහැ. සම්බන්ධ බවකුත් හෙළිවෙලා නැහැ. එත් කතාව යන්නේ මගේ නංගීගේ ගෙයක් ත්‍රස්තවාදීන්ට දුන්නා කියලා. ඇයි මේවගේ හරි හැටි හොයා බලන්නේ නැතුව අපට ගහන්නේ. ශෝෂල් මිඩියාත් කිසිඳු සොයා බැලීමකින් තොරව මේවගේ නිව්ස් දානවා.

මේවගේ දේවලින් වෙන්නේ ප්‍රශ්නය වෙනත් පැත්තකට යාම. මේ වගේ දේවල් වලින් අපි වගේ සිංහල දෙමල මුස්ලිම් සහෝදරත්වය වෙනුවෙන් පෙනී ඉන්න අයට අසාධාරණයක් වෙලා තියනවා.

 දැන් කල යුත්තේ කුමක්ද ?

 මේ ගැන මම ශෝෂල් මිඩියා වලටවත් මඩ ගහන දේශපාලනඥයින්ට වත් චෝදනා කරන්නේ නැහැ. චෝදනා කිරීමෙන් පලක් නැහැ . වැඩක් නැහැ. ආයෙත් මේවගේ විපතක් ඇතිවීම වලක්වා ගැනීමට අපි සියලු දෙනාම එක්වී කටයුතු කලයුතු මොහොතක්. ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂනායකතුමා එකට වාඩිවෙලා එකට තීන්දු තීරණ ගන්න ඕන මොහොතක්. හමුදාව පොලිසිය බුද්ධි අංශ එකට මෙහෙයවිය යුතු මොහොතක්.

නගරයෙන් නගරයට ගමින් ගමට පක්ෂ බේදයෙන් තොරව ආගම බේදයෙන් තොරව 'සාම කමිටු' ගොඩනැගිය යුතු මොහොතක්. රට රැකගතයුතු, ජනතාව ආරක්ෂා කරගත යුතු මොහොතක්. නැවතත් අපේ රටේ එකමුතුකම සමගිය ප්‍රදර්ශනය කලයුතු මොහොතක්. ඒ සඳහා අපි අපට හැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ''

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found