Language Switcher

V2025

පියල් නිශාන්ත කිව්වේ ඇත්ත : සියල්ල වේලාසන සූදානම් ?

පාස්කු ඉරිදා ප්‍රහාරයට සමගාමීව මෙරට දේශපාලනය උඩුයටිකුරු කිරීමේ සැලැස්මක් සම්බන්ධව තොරතුරු අනාවරණය වෙමින් ඇත.

මේ පිළිබඳ තහරුවුව ලැබී ඇත්තේ ඊයේ (26) පළවූ විශේෂ ප්‍රකාශ දෙකක් ද පදනම් කරගෙනය. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයට සමගාමීව සිදුවූ තවත් ප්‍රකාශ කිහිපයක් ගැනද මෙහිදී දැඩි අවධානයට පාත්‍රවී තිබේ.

එයින් ආසන්නතම ප්‍රකාශය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්තගේ ප්‍රකාශයයි.

ඊයේ (26) ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත සඳහන් කර සිටියේ එදින (26) කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 11දෙනෙකු මියගොස් ඇති බවය.

වැඩිදුරටත් ඔහු ඒ ගැන කියා සිටියේ "සමස්ථ රටම භීතියට පත්වන සිදුවීමක් සිදුව තිබෙනවා. ඒ කල්මුණේ සයින්දමරදු කියන ප්‍රදේශයේ අපේ මේ ආදරනීය රට බේරාගත්ත, ජීවිත කැප කරලා , ලේ විලක්, අමු සොහොනක් වෙලා තිබුණු රට බේරාගත් රණවිරුවන් 11ක් මියගිහින් තියනවා. "

එම ප්‍රකාශය තහවුරු කිරීමට යලිත් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ " ඒ කියන්නේ මියගිය ප්‍රමාණයට අමතරව රණවිරුවන් 11ක් මියගිහින් තියනවා. සාමාන්‍ය ජනතාව සහ ත්‍රස්තවාදීන් එක්ක කියද්දී මේ ගාන ඊට වැඩියි" කියමිනි.

මෙහිදී වැඩසටහන මෙහෙයවූ නිවේදකයා කියන්නේ " මෙතෙක් තහවුරු නොකළ කරුණක් ගැන සිදුකරන ප්‍රකාශයේ වගකීම මන්ත්‍රීවරයා ගතයුතු බව" ය.

ඊට ප්‍රතිචාර දක්වමින් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා පවසන්නේ " තමන් අද වැඩසටහනට එන විට පාලනය වීමට උත්සාහ කල බවත්, එහෙත් හෘද සාක්ෂියේ බුරබුරා දේවල් නැගෙනවා" කියාය.

පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය අමූලික අසත්‍යක් බව පැහැදිලිය. ඊට අදාල සාක්ෂි මේ වන විටත් මාධ්‍ය හරහා නිකුත්කර ඇත. ඊයේ (26) සිදුවීම හමුවේ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවෙකුට කිසිදු හානියක් සිදුව නැත.

පියල් කියන්නේ ගුරුවරයෙක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත කියන්නේ අට පාස් නැති දේශපාලන කබ්බෙක් නොවේය. ඔහු ගුරුවරයෙකි. එසේ නම් හීනෙකින්වත් සිදුනොවූ දෙයක් සම්බන්ධව ඔහු මෙබඳු ප්‍රකාශයක් සිදුකළේ මන්ද ?

එය ප්‍රශ්නයක් උවත් පිළිතුර ඇත්තේ ද ඒ ප්‍රශ්නය තුළය.

පියල්ගේ ඉලක්කය කුමක්ද ?

අපකීර්තිමත් කළු ජූලිය ඇතිවූ ආකාරය දේශපාලනය ගැන යන්තම් හෝ දැනුවත් බවක් ඇත්තන් දනියි. එදා ඒ ජාතිවාදී ගින්නෙන් රටම දැවී ගියේ හමුදා සාමාජිකයන් පිරිසක් උතුරේ ඝාතනය වීමත් සමගය.

පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ ඉලක්කය වූයේද එයයි.

කල්මුණේ සයින්දමරදු ප්‍රදේශය ගැන රටේම අවධානය යොමුව තිබියදී ආරක්ෂක අංශ සාමාජිකයන් 11ක් මියගිය බව කිසිදු තහවුරුවක් නොමැතිව වගකීම් විරහිතව පැවසීමේ අවධානම පියල් මන්ත්‍රීවරයා හොදින් දනියි. නමුත් ඔවුන් නියෝජනය කරන පාර්ශවයේ දේශපාලන බල උපක්‍රමය වූයේ රට ලේ විලක් කිරීමය.

වඩාත් සරලව කියනවා නම් කඩු පොලු පිහි හෝ අතට අහුවෙන දෙයක් ගෙන සිංහල ජනතාව ලවා අසල්වැසි මුස්ලීම් වැසියන්ට පහරදීමට පෙළඹවීමය. පසුව ඊට මුස්ලීම් වැසියන් ප්‍රතිප්‍රහාර දෙන්න ගත්විට සිදුවිය හැකි දේ අමුතුවෙන් කිවයුතු නැත.

කාලයක් යුද්ධය විකුණාගෙන ජීවත් වූ රාජපක්ෂ බල කදවුරේ අපේක්ෂාව ඇත්තේ එතැනය. එයද එක්තරා ත්‍රස්තවාදයක් බවත් රුධිර ගංගාවක් මතින් හෝ බලය ගැනීම හැර රට, ජාතිය, ආගම , පක්ෂය ආදී වෙනත් කිසිවක් ඊට නැත.

කෙසේ වුවත් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා යොදවා සජීවී රූපවාහිනී වැඩසටහනක් හරහා දියත් කරන්න ගිය සැලැස්ම අසාර්ථක වූයේ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවෙකු ඝාතනය නොවීම මිස අනෙකක් නිසා නොවන බවත් මෙහිදී අවධාරණය කල යුතුව ඇත.

ගෝඨාභය වීදි බසියි !

පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ මේ නින්දිත , අමන, ශාපලත් ප්‍රකාශය සිදුවන මොහොත කියන්නේ කල්මුණේ සයින්දමරදු හී ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ත්‍රස්තවාදීන් මුහුණට මුහුණ ගැටුණු පළමු අවස්ථාව වීම පමණක් නොවේය.

එදින (26) තවත් දෙයක් සිදුවිය. ඒ තමන් ඊලඟ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවත් පසුව මුස්ලීම් ත්‍රස්තවාදය විනාශ කරන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ පැවසීමය.

ඒ රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්ය.

එහිදී තම කාලයේ බුද්ධි අංශ ශක්තිමත් බවත් මේ ආණ්ඩුව බුද්ධි අංශ දුර්වල කළ බව මෙන්ම තමන් ගොඩනැගූ බුද්ධි අංශ තිබුණේ නම් මෙම ප්‍රහාරය සිදුනොවන බවත් ගෝඨාභය පවසා තිබිණ.

එපමණක් නොව මේ වන විට ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගෙන ඇති බවට ප්‍රධාන පුවත ලෙස ඉදිරිපත් කරන්නට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය භාරගෙන සිටින මාධ්‍ය කටයුතු කර ඇත.

aruna g

ගෝඨාභයගේ කතාව !

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීමට පෙර ඉතා පැහැදිලිව ඒ සම්බන්ධව බුද්ධි අංශ වාර්තා සපයා තිබිණ. ඊට අදාල සාක්ෂි මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි පමණක් නොව ජනාධිපති සිරිසේන පවා පිළිගෙන හමාරය.

එහෙත් ජනාධිපති සිරිසේන යලිත් කියන්නේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම නිසා මේ ප්‍රහාරය එල්ලවී ඇති බවය. තමන් සහ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අතර ගැටුමට මුලත් ආණ්ඩුවේ මේ බුද්ධි අංශ දුර්වල කිරීමේ කටයුත්ත බවත් ජනාධිපති සිරිසේන පවසයි.

මේ නම් මොන හතර බීරි කතාවක් දැයි කෙනෙකුට සිතෙන්න පුළුවන. එහෙම කෙනෙක් සිතුවත් ලේ මතින් ගොඩ එන්න දේශපාලන බල උපක්‍රමයක් දියත් කර ඇති විට මේ කතා අවධානයෙන් තේරුම් ගත යුතු වනවා හැර් හතර බීරි කරගත යුතු නැත.

පත්තරෙන් ෆේස්බුක් එකට !

"බුද්ධි වාර්තා ලැබිලා ආරක්ෂක ලේකම් මට ඒක දීලා නෑ. මට කෝල් එකක් දෙන්න තිබුනා, මම බුද්ධි වාර්තා දැක්කේ අන්තර්ජාලය හරහා FB එකෙන්. පොලිස්පති නියෝග අනූව එක් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් විතරක් හරියට වැඩේ කරලා. බුද්ධි අංශ දුර්වල කළ බාප්පලාට මේ ප්‍රහාරයෙන් පස්සෙ නැගිටින්නත් බැරිවෙලා"

මේ මොනතරම් වගකීම් විරහිත ප්‍රකාශයක් ද ? එහෙත් ජනාධිපති එය සිදුකරයි. තමන් මේ රටේ නායකයා, සේනාධිනායක , ආරක්ෂක ඇමතිවරයා, නීතිය හා සාමය භාර අමාත්‍යවරයා, ව්‍යවස්ථාව අනුව යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලතල ඇති රටේ එකම පුද්ගලයා බව අමතක කර මෙසේ පවසයි.

එහෙත් අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ට ආරක්ෂක කවුන්සලයට නොකැඳවීම ගැන කිසිවක් නොපවසයි.

සිරිසේන ජනාධිපතිගේ කෙරුවාව !

එපමණක් නොව ආරක්ෂක කවුන්සලය සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැදවූ පදනම ගැන කිසිවක් නොපවසයි. එසේම ඔවුන් විපක්ෂය නියෝජනය කරන බැවින් ඔවුන් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම කිසිවක් නොකරයි බවට ජනාධිපති සිරිසේන දෙන සහතිකයක් තිබේද ? එසේම ආරක්ෂක කවුන්සලය හමුවේ ඔවුන් ලබාදෙන නිර්දේශ, යෝජනා සහ තීන්දු ජාතික ආරක්ෂාවට බලපෑමක් සිදුනොවෙතැයි කිව හැකිද ?

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය !

මේ ප්‍රශ්න වඩාත් වලංගු වන්නේ මේ සිදුවීම සිදුවීමට මාස 6කට පෙර දියත්වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට මේ සියලු දෙනා සම්බන්ධවීමය. එම කුමන්ත්‍රණය දෙසැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හමුවේ පරාජය වූවත් පෙරලා බලය ඇල්ලිමේ උත්සාහය අවසන් වූයේ නැත.

රාජපක්‍ෂලා ප්‍රහාරය ගැන දැනුවත් !

දැන් සිරිසේන ජනාධිපති මොන බයිලා ගැහුවත් වැඩක් නැත. අගමැති රනිල් වික්‍රමසිංහ ට බුද්ධි අංශ වාර්තා නොලැබුණත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ට බුද්ධි අංශ වාර්තා ලැබුණු බව ඔහුම සදහන් කරයි. එසේම ඒ පවුලේ කිසිවෙකු පාස්කු ඉරිදා පල්ලි ගොස් නැත.

ඊටත් වඩා වැදගත් කරුණක් වන්නේ තොරතුරු දැන ඒ ගැන කිසිවක් නොකර සිටීම පිටුපස දේශපාලන අපේක්ෂාවක් පැවති බව පේනවා කියාත් විපක්ෂ නායක කියන කතාවය.

එපමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය පවා මේ ප්‍රහාරය ගැන තොරතුරු ලබා සිටි බවත් දැනගන්නට ඇත.

මහින්දගේ උපදෙස !

මේ අතර මුළු රටටම බලපැවැත්වෙන ආකාරයට හදිසි නීතිය ප්‍රකාශයට පත්කල අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද කීවේ උතුරේ යුද සමයේ පවා තමන් එහෙම නොකළ බවය. එහෙත් කල්මුණේ සයින්දමරදු සිදුවීම කියා පාන්නේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සමස්ථ රටටම බලපැවැත්වෙන ආකාරයට හදිසි නීතිය පනවා ඇදිරි නීතිය පැනවීම නිවැරැදි බවය.

ඒ සමග පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත රට ගිනිතියන්න සිදුකළ ප්‍රකාශය සමග මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකගේ උපදෙස් සන්සන්දනය කිරීමෙන් පෙනී යන දේ ද අමුතුවෙන් ලිවිය යුතු නැත.

තව්හිද් ජමාත් සංවිධානයට සල්ලි දුන්නේ කවුද ?

මේ අතර සිවිල් සමාජ - දේශපාලන ක්‍රියාකාරිකයකු වන චමීර පෙරේරා පසුගියදා CSR හිදී විශේෂ අනාවරණයක් සිදුකළේය. ඒ 2009-2010 කාලය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිනුමක් හරහා තව්හිද් ජමාත් සංවිධානය ට මූල්‍ය ආධාර ලබාදී ඇති බව පවසමින් ය.

ඔහු ඊට පුවත් මූලාශ්‍ර ඉදිරිපත් කරන්නේ 2016 වසරේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සිදුකළ අනාවරණයක් සහ මේ වන විට වසා තිබෙන සත්හඩ පුවත්පත පලකල අනාවරණයක් හරහා ය.

ඒ අනුව 2016 දී අනාවරණය වී ඇත්තේ තව්හිද් ජමාත් සංවිධානය ට ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් ගිනුමක් හරහා මූල්‍ය ආධාර ලබාදී ඇති බව පමණක් නොව එහි ප්‍රධානියකු හමුදා බුද්ධි අංශ සදහා යොදාගෙන තිබෙන බවය.

බුද්ධි අංශ සාමාජිකයන් නිදහස් කරවු !

පාස්කු ඉරිදා ප්‍රහාරය සමග බුද්ධි අංශ දුර්වල කිරීමක් ගැන සාවද්‍ය පුවත ප්‍රචාරය වූවා පමණක් නොව රාජපක්ෂ රෙජීම පාලන සමයේ විවිධ අපරාධ සදහා යොදාගත් බන්ධනාගාර ගතකර සිටින බුද්ධි අංශ සාමාජිකයන් නිදහස් කර ඔවුන්ට පොදු සමාවක් ලබාදෙන ලෙසද සටන් පාඨයක් ඉදිරිපත් විය.

අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි පවා ඊට මැදිහත් කරගෙන තිබෙනු දක්නට ලැබිණ. සුදු වෑන් පැහැර ගැනීම්, විවිධ ඝාතන , අතුරුදහන් කිරීම්, මාරාන්තික ප්‍රහාර දියත් කළ (සිවිල් වැසියන්, මාධ්‍යවේදීන් ඉලක්ක කර ) බුද්ධි අංශ සාමාජිකයන් කිහිපදෙනකු හැර වෙනත් කිසිවෙකු බුද්ධි අංශ සාමාජිකයන් කියා බන්ධනාගාර ගතකර නැත.

ඒ අනුව මේ කියන්නේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ තම රාජකාරිය වෙනුවට අපරාධ සදහා යොදාගෙන සිටි දැන් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවේ නඩු ගොනුකර ඇති කිහිපදෙනකු නිදහස් කරන ලෙසය.

ලේ මතින් බලය ගැනීමේ උත්සාහය පැහැදිලිය !

ජනාධිපති සිරිසේන ද ඊට උඩගෙඩි දෙන්නේ මෙන්න මේ වැනි සටන් පාඨයක් වෙනුවෙන් ය. පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ පවා පැහැදිලි කදවුරු දෙකක් නිර්මාණය වෙමින් පවතී.

තව්හිද් ජමාත් සංවිධානය වෙත මූල්‍ය අනුග්‍රහය ලබාදීම, ඔවුන් හමුදා ඔත්තුකරුවන් ලෙස යොදාගත් බවට චෝදනා ලබා සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය තමන් ජනාධිපතිවරණය දිනා මුස්ලීම් අන්තවාදය පරාජය කරන බව පවසයි.

පියල් නිශාන්ත නම් අම්බරු මන්ත්‍රීවරයා අහස පොළව නුහූලන බොරු කියමින් ජාතිවාදී ආගම්වාදී කෝලාහලයක් රටේ ඇති කර මේ බිම ලේ විලක් කරවන්න උත්සාහ කරයි. ජනාධිපති සිරිසේන බුද්ධි අංශ දුර්වල බවට පට්ටපල් බොරු කියමින් කාලය ගෙවයි.

පොහොට්ටු කැම්පේන් ඇරඹේ !

ඒ අතර තුර සමාජ මාධ්‍ය ජාල තුළ දියත් කර ඇති එක් උපක්‍රමික ප්‍රචාරයක් වන්නේ සමන්තුරෙයි , කල්මුණේ ප්‍රදේශ වල පසුගිය මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය කිරීම ය. ඔවුන් අසන්නේ දැන් දැක්කද ජන්ද ප්‍රතිඵල ? ත්‍රස්තවාදීන් සලකා ඇත්තේ කාටද කියාය.

ඊට අදාල අපේ පිළිතුර විය යුත්තේ, "ඔව් , ප්‍රතිඵල පැහැදිලියි. ඉතා සුළුතරයක් වූ අන්තවාදින් ඔබලාට ජන්ද දී ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය , සංහිඳියාව ඔස්සේ සංවර්ධනය විශ්වාස කරන අති බහුතරය ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට කදවුරට සහය දී ඇත.

මේ රට ගෝලීය ත්‍රස්තවාදයට ගොදුරු කිරීමේ බිම් සැකසූ කිසිවෙකුට පමණක් නොව මේ කම්පනය අවස්ථාව වෙනුවෙන් තත්ත්වන් සැකසූ, කුමන්ත්‍රණය අසාර්ථක වූ නිසා රුධිර ගංගාවක් ඔස්සේ බලය අල්ලන්න එන කාටත් බහුතර පොදු ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found