Language Switcher

V2025

ගෝඨාභයට රැස්වීම් සීයක් අමතන්න පුළුවන්ද : පොහොට්ටුවට බරපතළ ප්‍රශ්නයක් !

මේ වන විට හෘද සැත්කමකට ලක්ව සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ හට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදුන්නද ප්‍රචාරක රැළි 100ක් වත් ඇමතීමේ හැකියාව තිබේද යන්න සම්බන්ධව දැඩි සැකයක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මේ කරුණ ඇතුළුව සුවිශේෂ කරුණු කිහිපයක් සම්බන්ධව දැඩි අවධානයක් යොමුව තිබේ.

ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයේ තෝරාගත් නායකයන් කිහිපදෙනෙකු අතර සිදුවෙමින් තිබෙන බවත් දැනගන්නට ඇත.

තෝරාගත් නායක කණ්ඩායමේ හමුවක් !

දේශපාලන ආරංචිමාර්ග ඒ සම්බන්ධව වාර්තා කරන ආකාරයට පොහොට්ටු පාර්ශවයේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබනවා නම්, රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බවට දේශපාලන විරුද්ධවාදීන් මතුකරන ඝාතන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් සහ සුදුවෑන් චෝදනා මෙන්ම රාජ්‍ය මූල්‍ය අවභාවිතය සම්බන්ධව අඛණ්ඩව එල්ල වන විවේචන සඳහා පිළිතුරු දෙමින් නව වැඩපිළිවෙලක් සමඟ ගමින් ගමට යාමේ වැඩපිළිවෙලක් ඇරඹිය යුතු බවය.

එසේම සුළු ජන පක්ෂ කිසිවක් ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දීමේ කිසිඳු අවස්ථාවක් නැති බැවින් එකී ජන්ද පදනම් අහිමිව ජනාධිපති සටන ආරම්භ කිරීමට ගෝඨාභය රාජපක්ෂට සිදුවන බවත් එබැවින් එම අහිමිවන ජන්ද ප්‍රමාණය දකුණේ සමාජයෙන් ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් දියත්විය යුතු බවද ඔවුන් යෝජනා කර ඇත.

අනෙක් අතට පසුගිය පාලන සමයේදී හැසිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත තරුණ ජන්ද ආකර්ෂණය කර ගැනීමට හැකිවේවිය කියා විශ්වාසයක් තැබීමට නොහැකි බවත් විශේෂයෙන් දැන උගත් නාගරික තරුණයන් අතර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව ඇත්තේ ඉතා කළු ප්‍රතිරූපයක් බවත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ එය තවත් වර්ධනය වනු ඇති බවත් ඔවුන් පෙන්වාදී තිබේ.

අලුත් ජන්ද නැත්නම් පරාදයි !

ගෝඨාභය රාජපක්ෂ වෙත තරුණයන් සහ දැනටමත් අහිමිව ඇති ජන්ද පදනම සකස්කර ගන්නට නම් ඔහුව එම කොටස් වෙත වඩාත් සමීප කළ යුතු බවත් එසේ නොවුනහොත් 2015 ජනාධිපතිවරණ ප්‍රථිපලය නොවුවත් ඊට ආසන්න ප්‍රථිපලයක් හරහා පරාජයවීමේ අවධානමක් තිබෙන බව තවත් ජේෂ්ඨ නායකයකු අවධාරණය කර ඇත.

ගමින් ගමට ගෝඨාභය රාජපක්ෂ ගෙනයාම සම්බන්ධව මේ සාකච්ඡාව සඳහා සහභාගීවූ ජේෂ්ඨයින් ගේ අවධානය යොමුව ඇත්තේ එහිදීය. එහිදී රාජපක්ෂ පවුලට සමීප අයෙකු පෙන්වාදී ඇත්තේ මීට වසර 7කට පමණ පෙර හෘදයේ මතුවූ වේදනාවක් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට සුළු සැත්කමක් සිදුකළ නමුත් පසුව එය ප්‍රමාණවත් නොවූ බැවින් සිංගප්පූරුවේදී බයිපාස් සැත්කම සිදුකළ බවය.

ඒ හේතුවෙන් මාස 6ක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් නියම කර ඇති බවත් ඒ හමුවේ ගමින් ගමට යාමට තබා ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය කරන ආකාරයට ජනහමු 100ක් හෝ ඇමතීමට හැකියාවක් ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ඔහු පෙන්වාදී ඇත.

ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය තවම ඉවත්කර නෑ !

තවද මේ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ලංකා - ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නය ගැනත් අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි. එහිදී ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධව සමාලෝචනයක් සිදුව ඇති අතර ඒ සම්බන්ධවද දේශපාලන ආරංචිමාර්ග තොරතුරු වාර්තා කරයි.

ඊට අනුව ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමට නම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම අනිවාර්යකි. නමුත් ඊට අදාළ ක්‍රියාවලියේ මෙතෙක් සිදුව ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා ගෝඨාභය විසින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය හරහා වොෂිංටනයේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ ලිපිය සහ ප්‍රතිඥාව පමණි.

නමුත් එය මෙතෙක් ප්‍රමාණවත් බවක් පෙන්නුම් කරන්නක් නොවන අතර ඒ මේ වන විටත් ඇමරිකානු අධිකරණයේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු දෙකක් ගොනුකර ඇති නිසාය. ඉන් එක් නඩුවක් ඝාතනය කරනු ලැබූ සන්ඩේ ලීඩර් කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ගොනුකර ඇති අතර අනෙක් නඩුව ශ්‍රී ලාංකික ද්‍රවිඩ පුරවැසියකු වන රෝයි සමන්තානන් නැමැත්තෙකු ගොනුකර ඇත.

ඇමරිකාවේ නඩු 2 යි : අලුත් පැමිණිලි 10 යි !

ඊට අමතරව පසුගිය සතියේ දී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකානු අධිකරණය වෙත තවත් පැමිණිලි 10ක් ඉදිරිපත්කර ඇත. ඒ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපාරය නම් සංවිධානය විසිනි. මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙත තවමත් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම ප්‍රශ්නයක් ලෙස පවතී. ඒ අදාළ නඩු පවතින තුරු මේ පුරවැසිභාවය ඉවත්කිරීම සම්බන්ධව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණ නොගන්නා නිසාය.

ගම්මන්පිළ ගම කනවා !

කෙසේ වුවත් පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දැඩි ගෝඨාභය වාදියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය මේ වන විට අහෝසිව ඇති බවත් ඊට අදාළ ලියකියවිලි තමන් දෑසින් දුටු බවත්ය.

මේ ප්‍රකාශය සම්බන්ධවද පොහොට්ටු පාර්ශවයේ ජේෂ්ඨ නායකයන්ගේ අවධානය යොමුව ඇති අතර එහිදී පිරිස එම ප්‍රකාශය හාස්‍යට ලක්කර ඇති බවත් වාර්තා වෙයි. එමෙන්ම ගෝඨාභය වෙත අපේක්ෂකත්වය ලබාදීමේදී මේ ජාතිවාදී සහ පදනම් විරහිත මන්ත්‍රී පිරිසෙන් ඔහුව ඈතට කර තිබිය යුතු බවටත් යෝජනාවී තිබේ.

ගෝඨාභය වෙනුවට : චමල් හෝ බැසිල් - යෝජනාව අස්ගිරියෙන් !

එමෙන්ම යම් ආකාරයකට ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයන් ලෙස බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ නම් කිරීමට රාජපක්ෂ පවුල තීරණය කර ඇති බවද එහිදී සාකච්ඡාවට ගෙන ඇත.

එහෙත් අවසන් මොහොත දක්වා ගෝඨාභය රාජපක්ෂ පෙරමුණේ තබාගත යුතු බවත් ඔහු හැර වෙනත් රාජපක්ෂවරයෙකු ජනතාව අතරට යැවීම දුෂ්කර බැවින් විකල්පය යළිත් අස්ගිරි නායක හිමි ඇතුළු භික්ෂුන්වහන්සේලා කරන ඉල්ලීමක් අනුව සිදුකරන ලෙස ඉදිරිපත් කල යුතු බවද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found