Language Switcher

V2025

සද්ධාතිස්ස - රතන - චන්න : අති විශේෂ අපරාධ විමර්ශන : ඩොක්ටර් සාෆි (1)

දැන් අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසා දමන්නට පුළුවන. ඒ එම රාජකාරිය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, රාවණ බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, වෛද්‍ය චන්න ජයසුමන වැන්නවුන් ඉදිරිපත්ව සිටින නිසාය.

ඊට ආසන්න හේතුව වන්නේ වෛද්‍ය සාෆි සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය සැක සහිත බව හරි අපූරුවට මේ අය ඔප්පු කරන්නට ගෙන ඇති නිසාය.

සද්ධාතිස්ස - රතන - චන්න : අති විශේෂ අපරාධ විමර්ශන !

පසුගිය දිනක කුරුණෑගල මහ රෝහලට ගිය රාවණ බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියා සිටියේ සාෆි සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය පිළිගත නොහැකි බවත් සාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බව තමන් රෝහලට පැමිණ කල සොයා බැලීමේදී අනාවරණය කරගත් බවය.

ඒ අනුවම යමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පසුගිය 03 වනදා සඳහන් කර සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාෆි වෛද්‍යවරයා පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමේ දී ඔවුන් බිය ගන්වා තොරතුරු ලබාදීම වළක්වා ඇතැයි සිද්ධිය පිළිබඳ සොයා බැලීමේ දී හෙළි වූ බවය.

මේ පාර්ශවය නියෝජනය කරන අනෙක් තැනැත්තා වෛද්‍ය චන්න ජයසුමන ය. ඔහුද ඊයේ (03) මාධ්‍ය හමුවේ අපූරු කතාවක් කීවේය. ඒ වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ සාවද්‍ය කරුණු පිළිගන්නේ ද, වෛද්‍යවරුන් මුලික වී සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිගන්නේ ද යන්න ජනතාවට බාර බව" ය.

එක වල්ලේ පොල් : මේ රවටන්නේ කාවද ?

මේ තුනම දැන් එක වල්ලේ පොල් බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් ඔවුන් කරන ප්‍රකාශය අනුව ජනතාව පිළිගත යුතුව ඇත්තේ සහ අධිකරණය පවා පිළිගත යුතුව ඇත්තේ ඔවුන්ගේම වූ විමර්ශනය බවය.

වකුගඩු රෝගය ගැන තමන්ට තොරතුරු දුන්නේ නාථ දෙවියන් බව කියා රටම අන්දන්න ආව ජයසුමන වැන්නකු වෙතින් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වීමටද නොහැකිය. ඒ සමඟ මේ පදම සරි කරන අනෙක් ගනින්වහන්සේලාගේ කතාද එහෙමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය කටයුතු දන්නා කිසිවෙක් මේ නරුම ප්‍රකාශය පිළිගන්නේ නැත. නමුත් වෛද්‍ය සාෆි මුස්ලිම් ය. අනෙක් අතට ප්‍රසවය, පැලෝපීය නාළ , කාන්තා සිරුර, මිනිස් සිරුර, ප්‍රජනනය වැනි කරුණු සම්බන්ධව සමාජයේ ඇති දැනුම අල්පය. රතන මෙන්ම චන්න යුගලය ජනතාව අන්දන්නේ මෙන්න මේ කියන සාධක උපයෝගී කරගෙනය. නැතිනම් ජාතිවාදී ප්‍රවණතාවක් හරහා අපේ බුද්ධිමය විමසුම අගුලු දමන්නය.

අපේ මේ සූදානම අන්න ඒ තක්කඩි වැඩේ අනාවරණය කරන්නටය.

විමල්ගේ ගෝලයා අධිකරණයට දුන්න වාර්තාව !

ඒ වෙනුවෙන් වන පළමු ප්‍රවේශය අප ගන්නේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ අබේසුන්දර මුදියන්සේලාගේ සරත් වීරබණ්ඩාර ගෙනි. මෙහිදී ඔහු විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු වල සමීපතමයෙක්, තම නිල තනතුර ඒ සඳහා භාවිතා කරන්නෙක් යන්න සළකන්නේ නැත. එසේම ඔහු රජයේ නිලධාරියකු ලෙස සීමාව ඉක්මවා කටයුතු කිරීම හෝ වෛද්‍ය ආචාර ධර්ම අමුඅමුවේ කෙළෙසු අයෙකු බවත් සළකන්නේ නැත. ඒ වෙනුවට අප අවධානය යොමු කරන්නේ ඔහු විසින් කුරුණෑගල අධිකරණයට යොමුකළ සාෆි වෛද්‍යවරයා සම්බන්ධ වාර්තාවය. නැතිනම් චන්න කරේ තියාගෙන අපි කාටත් පිළිගන්න කියන වාර්තාවය.

සාෆි කළ සැත්කම් : දිවයින 4000 යි - සද්ධාතිස්ස 8000 යි - අධිකරණ වාර්තාවේ 3479 යි !

ඊට අනුව වෛද්‍ය සාෆි කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් 4372ක් සිදුකර ඇත. ඒ සිංහල - 3479, මුස්ලීම් 860, දමිළ 33ක් වශයෙනි. මේ සම්බන්ධව ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 850 කි. එසේම විමර්ශන වාර්තාව සැකසීම සඳහා වෛද්‍ය නිලධාරීන් 11, හෙද සොයුරියන් 1, හෙද /හෙදි නිලධාරීන් 32, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 03ක් වෙතින් තොරතුරු විමසා ඇත.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව සිදුකල විමර්ශනය ඊට වඩා පුළුල්ය. එසේම විධිමත්ය. විශ්වසනීයත්වය වැඩිය. ඒ නිසාම එය චන්න, වීරබණ්ඩාර පමණක් නොව කුරුණෑගල පොලිස් ලොක්කාගේද රෙදි ගැළවෙන සුළුය. මේ සූදානම මැයි 23 දිවයින අනාවරණයේ සිට සංසන්දනාත්මකව ඒ බව අනාවරණය කරන්නටය.

හේමන්ත රන්දුණුගේ ෆේක් බුක් නිව්ස් - චන්නගේ ඇරියස් !

දිවයින පුවත්පතේ බත්බැල ලියන අප්පුවකු වූ හේමන්ත රන්දුනු ගේ පුවතේ සිරස්තලය වුයේ "සිසේරියන් සැත්කම් වලින් පසු තවුහිත් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ කරලා, සාක්ෂි සහිතව හෙළිවේ, දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ" යන්නය. නමුත් එවැනි කිසිම විමර්ශනයක් හෝ පැමිණිල්ලක් නැති බව එදිනම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය. එසේම එදා හේමන්ත රන්දුනු ඒ කියන වෛද්‍යවරයා කවුද යන්න අනාවරණය නොකළ නමුත් චන්න ජයසුමන සිය මුහුණු පොත හරහා ඒ කිව්වේ සාෆි ගැන බව පැවසීය. (චන්න ජයසුමන ට මේ සාෆි ගැන ඇරියස් ඇත්තේ වෛද්‍යවරියක වන සාෆිගේ බිරිඳ චන්න ජයසුමන ගේ නාථ දෙවි සාක්ෂි ඇතුලත් වකුගඩු රෝග පරීක්ෂණ වාර්තා විද්‍යාත්මක නැති බව පැවසීමය.)

එහිදී රන්දුනු 4000ක් වැනි ගණනක් යොදන්නේ ඉවෙන් නොවන අතර මේ සාෆි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය ඇත්තේ කුරුණෑගල රෝහල සතුවය. එසේ නම් ඒ විස්තර එළියට දුන්නේ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වීරබණ්ඩාර බව පැහැදිළිය.

නමුත් පුවතේ සඳහන් ආකාරයට වෛද්‍ය සාෆි සිංහල මව්වරුන් 4000කට අධික ප්‍රමාණයකට සිසේරියන් සැත්කම් සිදුකර නැත. ඔහු සිංහල මව්වරුන් වෙත සිදුකර ඇති සිසේරියන් සැත්කම් ප්‍රමාණය 3479ක් පමණය. ඊට වීරබණ්ඩාර විසින් අධිකරණයට යොමුකළ වාර්තාවද සාක්ෂි දරයි.

පැමිණිල්ලක් නැතුවම ඇරෙස්ට් !

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශනයට අනුව මව්වරුන් කලබල වී පැමිණිලි ඉදිරිපත් කරන්නට හේතුවී ඇත්තේ දිවයින පුවත වන අතර ඊට පෙර වෛද්‍ය සාෆි සම්බන්ධව එවැනි කිසිඳු පැමිණිල්ලක් ලැබී තිබී නැත. ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දෙමින් නියෝජ්‍ය පොලිස්පති - කුරුණෑගල දිශාව වසන්ත කිත්සිරි ජයලත් ද තහවුරු කර තිබේ.

එසේම සිය ප්‍රකාශයේදී නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඉහත පුවත සැකසීම වෙනුවෙන් තමන් තොරතුරු නොදුන් බවත්, තමන්ගෙන් ඒ පිළිබඳ කල විමසීමේදී වඳ සැත්කම් පිළිබඳ කටකතාවක් ඇති නමුත් පැමිණිලක් නොමැති බව සහ මැයි 24 වනදායින් පසුව හේමන්ත රන්දුනු සමඟ සිදුකල දුරකථන සංවාද පටිගත කර තිබෙන බවද පවසා ඇත.

CID විමර්ශන !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීමට අදාළ විමර්ශනයේදී කුරුණෑගල පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත පුෂ්පලාල් වෙතින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

එහිදී අනාවරණය වී ඇති කරුණු අනුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ලිපි දෙකක් හරහා සාෆි වෛද්‍යවරයා සම්බන්ධව දැනුම්දීම් සිදුකර ඇත.

සාෆි අත්අඩංගුවට ගත්ත චෝදනා මෙන්න !

ඒ 1. සාෆි තවුහිද් ජමාත් සමඟ සම්බන්ධ බව, 2. ඔහුගේ දේපල ඉපයීම් සැකසහිත බව දක්වමිනි.
අනතුරුව 2019.05.24 දින සාෆි අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පොලිස් අධිකාරි කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. එම අත්අඩංගුවට ගැනීමට අදාළව චෝදනා තුනක් වෛද්‍ය සාෆි වෙත ඉදිරිපත් කර ඇත.

ඒ, 1. ත්‍රස්තවාදී කණ්ඩායමක මුදල් ලබාගෙන එම කණ්ඩායමේ අරමුණ ඉටු කිරීම සහ එම මුදල් වලින් දේපළ මිලදී ගැනීමට කටයුතු කරන පුද්ගලයකු යන්න සම්බන්ධව විමර්ශනය කිරීම, 2. ප්‍රදේශයේ ඇතිවී තිබෙන උණුසුම්කාරී තත්ත්වය මත මෙම පුද්ගලයා (වෛද්‍ය සාෆි ) සහ අනිකුත් පාර්ශව අතර ගැටුම් වළක්වා ගැනීම, 3. මෙම පුද්ගලයා පළාගොස් සැඟවී සිටීමට ඉඩ ඇති බවට ලද තොරතුරු මත වරද කියාදී අත්අඩංගුවට ගැනීම.

ඒ අනුව වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ වඳ සැත්කම් සම්බන්ධව පැමිණිලි නිසා නොව ඉහත චෝදනා පදනම් කරගෙනය.

පොලිස් ලොක්කන්ගේ සාක්ෂි !

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල වැඩ බලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාරත්න අධිකාරි, කුරුණෑගල පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත පුෂ්පලාල්, නියෝජ්‍ය පොලිස්පති - කුරුණෑගල දිශාව වසන්ත කිත්සිරි ජයලත්, කුරුණෑගල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක යන නිලධාරීන් වෙතින් ප්‍රකාශ ලබාගෙන ඇත.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ දේශපාලන සගයා වන කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර වෙතින්ද ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ වෛද්‍ය සාෆි සම්බන්ධව හෙදියන් දෙදෙනෙකු පමණක් පැමිණිලි සිදුකර ඇති බවය. නමුත් ඒ පැමිණිලිද වඳ සැත්කම් ගැන නොවේය.

වැඩිම පැමිණිලි දිවයින පුවතට බයවෙලා !

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය සාෆි සම්බන්ධව පැමිණිලි කැඳවා ඇති අතර එහිදී පැමිණිලි 615 ක් ලැබී ඇත. එයින් පැමිණිලි 468ක් ලැබී ඇත්තේ දිවයින පුවත දැකීමෙන් බියට පත්වය. එනම් ඔවුන් දරුවන් අපේක්ෂාවෙන් සිට ඒ අහිමිවීම නිසා නොව පුවත දැකීමෙන් බියට පත්ව තමන්ට දරුවකු ඉදිරියේදී හදාගන්නට නොහැකිවේද යන සැකය මත සිදුකල පැමිණිලිය.

SHG පරීක්ෂණයට මව්වරුන් 147 යි : ගොඩක්ම බෑ කියයි !

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ලබාදී ඇති වාර්තාවේ සඳහන් වන්නේ ඉතිරි පැමිණිලි 147 ට අදාළ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ අනුව ඔවුන් SHG පරීක්ෂණයකට යොමුකිරීමට අවශ්‍ය බවය. කෙසේ වුවත් මේ පැමිණිලි සියල්ල සටහන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇත. නමුත් ඇතැම් පැමිණිලි සිදුකළ පාර්ශව පරීක්ෂණ සදහා ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරන බවත් දැනගන්නට තිබේ.

සාෆි ගැන සියළු චෝදනා විමර්ශනය කරලා !

එපමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේදී වෛද්‍ය සාෆිගේ නමින් විවිධ අක්‍රමිකතා යටතේ ලැබුණු පැමිණිලි 11ක් සම්බන්ධවද සිදුකල විමර්ශන ඒ වාර්තාවේ ඇතුළත්ව ඇත.

එහිදීද එම පැමිණිලි වලට අදාළ සියලු පාර්ශවයන් වෙතින් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඊට අමතරව විමර්ශනය වඩාත් පුළුල් කරමින් වෛද්‍ය සාෆි අධීක්ෂණය කළ විශේෂඥ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරුන් සහ සිසේරියන් සැත්කම් වලදී සහයක වෛද්‍යවරයා ලෙස සහභාගී වූ වෛද්‍යවරුන්, සහයක සහ උපකාරක හෙදියන් ලෙස ලෙස සහභාගී වූ හෙද නිලධාරීන්, නිර්වින්දන කටයුතු සිදුකල නිර්වින්දන වෛද්‍යවරුන් සහ නොමේරු ළදරු ඒකකයේ වෛද්‍යවරුන් මෙන්ම සිසේරියන් සැත්කම් අවස්ථාවේ උපස්ථාන කටයුතු සිදුකල පාර්ශවයන් වෙතින්ද ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

සාෆි ඇතුළත් සම්පූර්ණ කාර්‍ය මණ්ඩලය විමර්ශනයට කැඳවලා !

ඒ අනුව වෛද්‍ය සාෆි සමග කටයුතු කල විශේෂඥ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරුන් 11, ජේෂ්ඨ නේවාසික වෛද්‍ය 1, නිර්වින්දන වෛද්‍යවරුන් 14, නොමේරු ළදරු ඒකකයේ වෛද්‍යවරුන් 6, සහය වෛද්‍යවරුන් 14, හෙද නිලධාරීන් 70, උපස්ථායකයින් 18 ක් හදුනාගෙන ඔවුන් වෙතින් ප්‍රකාශ ලබාගැනීම සිදුකර ඇත.

රතන සද්ධාතිස්ස චන්න බය වූ : විශේෂඥ වෛද්‍ය මතය මෙන්න !

වෛද්‍ය සාෆිගේ සිසේරියන් සැත්කම් සිදුකිරීම අධීක්ෂණය කළ විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් සහ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශ සම්බන්ධව කෙටි විස්තරද අප ගවේෂණ මාධ්‍යවේදීන් අනාවරණය කරගෙන ඇත. ඒ විස්තර මෙසේය.

1. විශේෂඥ වෛද්‍ය ප්‍රසව හා නාරිවේද - සුදත් සිරිකාන්ත

මෙම වෛද්‍යවරයා 2018 වසරේ සිට මේ දක්වා කුරුණෑගල මහ රෝහලේ සේවය කරයි. වෛද්‍ය සාෆි එම රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර තවත් ජේෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් 4ක් ද එම කාර්‍යයේ නිරතවෙයි.

වෛද්‍ය සාෆි තම අධීක්ෂණය යටතේ සිසේරියන් සැත්කම් කළ බව ඔහු පිළිගන්නා අතර ඒ කාලය වසර 1යි මාස2ක් පමණ වෙයි.

සාෆි ගැන පැමිණිලි නෑ !

එසේම එම කාලයේදී වෛද්‍ය සාෆි සිදුකළ කිසිදු සිසේරියන් සැත්කමකදී මව්වරුන්ගේ පැලෝපීය නාල වලට හානි සිදුකර නොමැති බව විශේෂයෙන් යුතුව පවසන බවත් ඔහු සදහන් කර තිබේ.

තවද නේවාසික වෛද්‍යවරුන් හෝ හෙද නිලධාරීයකු සාෆි වෛද්‍යවරයා විසින් එවැනි පැලෝපීය නාල වෙත හානිකරන බවක් සදහන් කර නැති බවත් ඔහු අවධාරණය කර තිබේ.

තවද මෙම කටයුත්ත තනිව සිදුකරන්නක් නොවන බවත් සිසේරියන් සැත්කමකදී සහය වෛද්‍යවරයා සහ හෙද නිලධාරීයකු ඒ ප්‍රදේශය සම්බන්ධව අවධානයෙන් සිටින බවත් පවසා ඇත.

සිසේරියන් සැත්කම කොහොමත් මෙහෙමයි !

සිසේරියන් සැත්කමකදී එහි ස්වභාවය අනූව බඩවැල්වල හානි සිදුවීම , දරුවා ගැනීමට විවෘත කිරීමේදී දෙපස රුධිර නාල තුවාල වීම, මුත්‍ර වාහිනී වල තුවාල සිදුවීම , ඒවා ගර්භාෂය සමග එකතුව මැසීමට ලක්වීම සිදුවිය හැකි දේ බවත් එම විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

තවද සිසේරියන් සැත්කම සිදුකරන ආකාරය සම්බන්ධව මෙන්ම හදිසි අවස්ථාවකදී ජීවිත රකින්න ගනුලබන වෛද්‍ය තීරණත් ඒ කටයුතු නිසිලෙස කිරීමට සාෆි වෛද්‍යවරයා සතු හැකියාව සම්බන්ධව විශ්වාසය තමන්ට මෙන්ම පෙර තම රාජකාරිය ඉටුකළ විශේෂඥ වෛද්‍යවරුන්ට පැවති බවත් ඔහු පවසා තිබේ.

මෙහිදී මෙම විශේෂඥ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා සිදුකළ සැත්කමකදී ඊට යොමුවූ හෙදියගේ ගර්භාෂයක කොටසක් ඉවත් කිරීමට සිදුවීම ඇගේ වකුගඩු සහ ජීවිතය අනාරක්ෂිත වීම වලක්වා ගැනීමට කළ බවටද තහවුරු කර ඇත.

දෙවන හා තෙවන දරු උපත් අනිවාර්යද ?

එසේම සිසේරියන් සැත්කම හරහා පළමු දරු උපතින් පසුව දෙවන හා තෙවන දරු උපත් සිදුවීම අනිවාර්ය නොවන බවත් පැලෝපීය නාල වල ආසාදන, හෝමෝන අසමතුලිතතා, ඩිම්බ කෝෂ වල තත්ත්වය , පුරුෂ රෝගී තත්ත්වය ඇතුළු කරුණු රැසක් ඊට බලපාන බවත් සදහන් කර තිබේ.

සාෆිව අධීක්ෂණ කළ විශේෂඥ වෛද්‍යවරුන් දේශද්‍රෝහින්ද ?

2. විශේෂඥ වෛද්‍ය ප්‍රසව හා නාරිවේද - පේශල රංගජීව දංගල්ල, 3. විශේෂඥ වෛද්‍ය ප්‍රසව හා නාරිවේද - චන්දන කරුණාතිලක , 4. විශේෂඥ වෛද්‍ය ප්‍රසව හා නාරිවේද - සංජය බණ්ඩාර , 5. විශේෂඥ වෛද්‍ය ප්‍රසව හා නාරිවේද - උපාලි ප්‍රේමලාල් ජයවර්ධන , 6. විශේෂඥ වෛද්‍ය ප්‍රසව හා නාරිවේද - ජේ.ඒ. ගුණසිංහ , යන පාර්ශවයන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදී ඇති අතර ඒ කිසිවෙකු වෛද්‍ය සාෆි සම්බන්ධව චෝදනා ඉදිරිපත් කර නැත. පැමිණිලි කිසිවක් නොතිබූ බවත් ඔවුන් තහවුරු කර ඇත.

දේශපාලන වලිප්පුවන්ට : විශේෂඥ දැනුම ඇලජික්ද ?

එසේම ඔවුන් සිය විශේෂඥ දැනුමින් සදහන් කර ඇත්තේ පහත කරුනුය.

සිසේරියන් සැත්කම එක් වෛද්‍යවරයකු විසින් සිදුකරන්නේ නැත.

ඒ සදහා සහය වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක් සහභාගී වෙයි.

එහිදී පැලෝපීය නාල අවහිර කිරීමක් වෙනුවෙන් කටයුතු කරනවා නම් එය සහය වෛද්‍යවරයා , ප්‍රධාන හෙදියන් නොදැන හෝ නොදැක සිදුකළ නොහැක.

සිසේරියන් සැත්කමකදී බොහෝ ඉන්ද්‍රියයන් වලට හානි සිදුවිය හැකි අතර මුත්‍ර නාල වලටත් කළාතුරකින් හානි විය හැකිය.

සිසේරියන් සැත්කමකින් පසුව දෙවන හා තෙවන දරු උපත් පිළිසිඳගැනීම අනිවාර්ය නොවන අතර එය ද්විතීයික මද සරු භාවය වෙයි. එහිදී දරුවකු පිළිසිඳ නොගැනීමට 10%ක සම්භාවිතාවයක් පවතී.

පැලෝපීය නාල අතින් මිරිකුවා කියා වඳ භාවයක් සිදු නොවේ. එසේම දැඩි හානියක් ඊට සිදුකරයි නම් එය සහය වෛද්‍යවරයා සහ හෙද නිලධාරීන්ට හොරෙන් සිදුකළ නොහැකිය.

විශේෂඥ වෛද්‍ය මතය එසේය. එහෙත් දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් මීට මැදිහත්ව සිටින පාර්ශව අදහස් ඊට මුලුමනින්ම වෙනස් අතර ඒවා විද්‍යාත්මක පදනමක් මත කියන දේ නොවන බවත් පැහැදිලිය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දේශපාලන සගයා වූ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සාෆි සිදුකළ සැත්කම් ප්‍රමාණය 4372ක් , ඒ සිංහල - 3479, මුස්ලීම් 860, දමිළ 33ක් වශයෙන් ඉදිරිපත් කර ඇත. නමුත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දේශපාලන ගැති හිමිනම වූ රාවණ බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියන්නේ සැත්කම් 8000ක් කියාය. වීරවංශ මන්ත්‍රීවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ සිටින ප්‍රසව හා නාරිවේද ගැන මෙලෝ දෙයක් නොදන්නා චන්න ජයසුමන කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය විද්‍යාව නොදන්නා බව මිස මේ විශේෂඥ වෛද්‍ය මත විමර්ශන වලදී අදාල කරගෙන ඇති බව නොවේය.

ඇත්ත එහෙමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩා මේ නරුමත්වයේ නියෝජිතයන් සොයාගත් අටමගලක් නැත.සැබැවින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන විධිමත් නිසා දැන් තුට්ටු දෙකේ කළු මාධ්‍ය හමුවේ මිස මොවුන්ගේ කතා ඉස්මුදුනින් ගෙන කටයුතු කරන වෙන ඉඩක් ඇත්නම් ඒ මානසික රෝහල් වල පමණය.

කතාව ඉවර නෑ : තව තියනවා !

මේ නරුම ජාතිවාදීන් මිස වෙන කවුරුද ? තම දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් මිහිහෙක් වනසන්න දන්නා තරම් වන්නම් නටන, ජාතිවාදී අදහස් මතින් සමාජය බෙදීම වෙනුවෙන් නරි බෙර වයන, ලේ ගඟක් මතින් පටු දේශපාලන වාසියක් සොයන මොවුන් ගැන සමාජය මීට වඩා අවධානයෙන් සිටිය යුතුව ඇත. ඔවුන්ගේ මේ වඳ සැත්කම් නාඩගමේ තවත් සමාජ ගතකල ගජබින්න රැසක් සම්බන්ධ තොරතුරු අප ගවේෂණය කරමින් සිටින අතර ඉදිරියේ දී ඒවා ද එකිනෙක එළියට ගන්න අප සූදානම්ය.

මතුසම්බන්ධයි !

 

 

 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found