Language Switcher

V2025

හරීන් වැල්ලේ : දූෂිත හොකී පරිපාලනය නිසා - 21 න් පහළ හොකී කණ්ඩායම දරුණු පරාජයක !

 හරීන් හොකී ගැනත් බලමුද ?
 
තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අරක්ගෙන ඇති මාෆියාව කොතරම්ද ඊට නොදෙවෙනි මාෆියාවක් හොකී ක්‍රීඩාව ආශ්‍රිතව පතුරවාගෙන සිටින්නේ සුමිත් එදිරිසිංහය. තිලංගගේ ක්‍රිකට් මාෆියාව හමුවේ හැදුනේ ක්‍රිකට් ක්‍රීඩාව නොව තිලංග සහ ඔහුගේ ගජමිතුරු කල්ලියය. සුමිත්ගේ හොකී ගැන කතාවත් එහෙමය. මේ ලියන්න යන්නේ එහි නවතම ප්‍රතිඵල ගැනය.
 
21 න් පහළ ආසියානු තරගාවලිය මේ දිනවල සිංගප්පූරුවේ පැවැත්වෙයි. ඊට සහභාගී වූ ලංකා කණ්ඩායම මේ වන විට තරග  3කට මුහුණදී ඇත. එම තරග තුන ලංකාව දරුණු ආකාරයට පරාජය වූවා පමණක් නොව අවම වශයෙන් ප්‍රතිවාදී කණ්ඩායම වෙත තරගයක් දීමට හෝ සමත්වූයේ නැත.
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අන්ත ලෙස පරදී !
 
ඒ අනූව තරග 3 අවසානයේදී ලංකා කණ්ඩායමේ වාර්තාව සටහන් වූයේ ,
 
චීන තායිපේ කණ්ඩායම හමුවේ ගෝල 6:0 ක් ලෙස, බංග්ලාදේශය හමුවේ ගෝල 2:0ක් ලෙස , සිංගප්පූරු කණ්ඩායම හමුවේ ගෝල 10:0 ක් ලෙස අන්ත නින්දිත  පරාජයක් ලැබූ ලෙසින්ය.
 
අවම වශයෙන් නවකයින් රැසක් සිටි බංග්ලාදේශය කණ්ඩායම සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූයේ නැත.
 
නින්දිත පරාජයේ වගකීම ගන්නේ කවුද ?
 
තරගාවලියකට සහභාගී වී පරාජය ලැබීම යන්න සාමාන්‍ය දෙයකි. එහි වාදයක් නැත. නමුත් අවාසනාව වන්නේ ජාතික හොකී කණ්ඩායමේ අභිමුව සිටින මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා හොකී සම්මේලනය අරක්ගෙන සිටින බහිරව මාෆියාවේ අත්තනෝමතික සහ දූෂිත පරිපාලන තීන්දු තීරණ හේතුවෙන් මේ ආකාරයට නින්දාවට පත්ව අන්ත පරාජිතයන් වීමය.
 
සුමිත්ගේ දූෂිත පරිපාලනය !
 
හොකී ක්‍රීඩාව වනසමින් සිටින සුමිත් එදිරිසිංහ ඇතුළු මාෆියාව ගැන අප කොතෙකුත් ලියා ඇත. අප පමණක් නොව තවත් මාධ්‍ය වාර්තා රැසක් මේ සම්බන්ධව පළවී තිබේ. එහෙත් ඒ සියල්ල වගකිවයුතු බලධාරීන්ට නම් බීරි අලින්ට වීණා වැයීමක් බවට පත්ව ඇති බව  යළිත් තහවුරු කරන්නේ 21න් පහළ ආසියානු කුසලාන හොකී තරගාවලියේ ලද නින්දිත පරාජයයි.
 
21න් පහළ ආසියානු කුසලාන හොකී තරගාවලියට පමණක් සීමාකර මේ යළිත් පෙන්වා දීමට අප කටයුතු කරන්නේ දැන්වත් ඒ බිහිරි බව සහ හොර නිදි කඩාගෙන හොකී ක්‍රීඩාව රැකගැනීමට බලධාරීන් මැදිහත්වේ යන විශ්වාසය මතය. අවම වශයෙන් සුමතිපාල වාරණය කර ක්‍රිකට් රකින්න මැදිහත්වීමක් පෙන්වන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හොකී ක්‍රීඩාව රැකගැනීමටත් මැදිහත්වේය යන විශ්වාසයෙනි.
 
අත උස්සා තෝරාගත් පුහුණුකරු !
 
21න් පහළ ආසියානු කුසලාන හොකී තරගාවලිය සඳහා කණ්ඩායම තේරීම පමණක් නොව පුහුණුකරු තේරීමේ පවා සිදුවූ නිර්ලැජ්ජිත සහ දූෂිත බව අප පෙන්වා දුන්නේය. 
 
සැබැවින්ම පුහුණුකරු තේරීම සිදුවූයේ විධිමත් සම්මුඛ පරීක්ෂණයක් සිදුකර හෝ හැකියාව , අත්දැකීම් , දක්ශතා සැලකිල්ලට ගෙන නොව දූෂිත හොකී නිලවරණය තුළ සුමිත්ගේ මාෆියාවට ජන්දය ලබාදීම සැලකිල්ලට අරගෙනය. හොකී ක්‍රීඩාවේ තියා කිසිදු ක්‍රීඩාවක නොමැති ආකාරයට අත් උස්සා ජන්දයක් ලබාදී පුහුණුකරු නම් කලේ මේ නින්දිත පරාජයට පත්වූ 21න් පහළ හොකී තරගාවලියේ කණ්ඩායම් පුහුණුකරු තේරීම සඳහාය.
ජන්දය දුන්නට දුන්න පුහුණුකාර තනතුර !
 
එහිදී සුමිත්ගේ මාෆියාවට හොකී නිලවරණයේ දී සහය ලබාදුන් නිසා වෙන්නප්පුව හොකී සංගමය නියෝජනය කල තැනැත්තා වෙත අදාල කණ්ඩායමේ පුහුණුකරු තනතුර දෙනු ලැබිණ.
 
එම පුද්ගලයා මේ තනතුර සඳහා නොසුදුසු වන බවට හේතු ඕනතරම් ඇති අතර තරගාවලියේ ප්‍රතිඵල හරහා ඒ බව ඔප්පුවී ඇත. 
 
සහය පුහුණුකරුවෙක් නෑ !
 
 අවාසනාව වන්නේ ඊට වඩා සුදුසුකම් සහිත පුද්ගලයන් මෙරට සිටියත් දූෂිත පරිපාලනය ඒ නොතකා කටයුතු කිරීමය. අවම වශයෙන් මෙවැනි දුර්වල පුහුණුකරු සමග සහයක පුහුණුකරුවකු සහභාගී කරගත්තා නම් ඔහුගේ හැකියාව තුළින් හෝ සහනයක් ලබන්නට තිබුණි. එහෙත් එවැන්නෙක් සහභාගී නොකළ අතර හොකී ජාතික පුහුණුකරුගේ හෝ සහයක් නිසි ලෙස ලබාගෙන තිබුණේ නැත.
 
අවසානයේදී කණ්ඩායම ලැබූ නින්දිත පරාජය සම්බන්ධව පුහුණුකරු කියා ඇත්තේ තම කණ්ඩායමට ජාත්‍යන්තර අත්දැකීම් නොතිබීම පරාජයට හේතුව වූ බවය.
 
කණ්ඩායම තේරුවෙත් දූෂිතව : සභාපතිගේ හඬපටය සාක්ෂි දරයි !
 
එය කිසිසේත් නිදහසට කරුණක් නොවන්නේ මෙම කණ්ඩායම තෝරාගනු ලැබූ ආකාරය පවා අන්ත දූෂිත වූ නිසාය. ඊට නියම සාක්ෂි අප සතුව ඇති අතර ඒ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති සහ පියෙකු අතර සිදුවූ දුරකථන සංවාදයක පටිගත කළ හඬ පටයකි. ඒ අසන ඕන අයෙකුට කණ්ඩායම තෝරාගෙන ඇති ආකාරයේ අති දූෂිත බව පැහැදිලි වනු ඇත.
 
ඒ නිසාම දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට විස්සෝප වෙමින් සිටියදී  දූෂිත ලෙස තෝරාගෙන යැවූ කණ්ඩායමට සිදුවූයේ නිසි පුහුණුකරුවන් පවා නොමැතිව නිසි තරග සැලැස්මක් නොමැතිව පිටිය පුරා ඔහේ දුවමින් සිටීමටය.
 
ක්‍රීඩා ඇමතිතුමාගේ අනුමැතිය ගත්තේ කොහොමද ?
 
එපමණක් නොව මේ කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය පවා නිසිලෙස නොගෙන ඇති බවත් ඒ වෙනුවට තාක්ෂණික කමිටුවේ අනුමැතිය මත ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ආවරණය කර ඇති බවත් වාර්තා වෙයි. එහිද දූෂණයක් වෙයි.
 
ඒ සම්බන්ධව මේ වන විට දෙමාපියන් ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ද දැනුවත් කර පැමිණිලි කිරීමේ සූදානමක් ගැනත් වාර්තා වෙයි.
 
දත් ගලවා ගන්නා මුරාඩ් !
 
එපමණක් නොව කණ්ඩායම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත් කොළඹ හොකී සංගමයේ හිටපු සභාපති මුරාඩ් විසින් ලබාදී ඇති අතර අනෙක් සියළු වියහියදම් ඔවුනොවුන් සපයා ගැනීමට සිදුව තිබිණ. කාලයක් සුමිත්ගේ හොකී මාෆියාවට එරෙහිව අභියෝග කළ මුරාඩ් අද සුමිත්ට හීලෑ වී සිය පාක්ෂික භාවය ඔප්පු කරන්න එසේ ගුවන් ටිකට් වෙනුවෙන් වියදම් කළ බව අද හොකී ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.
 
මුරාඩ්ලා අද සුමිත්ට වන්දනා කරන්න තරම් සුමිත් පෑ ප්‍රාතිහාර්ය අප හොඳටම දන්නා නිසා මුරාඩ් දැන් හෙට හොකී නියමෙට තියෙයි නේද ? අපරාදෙ පසුගිය කාලයේ නාස්ති කළ කාලය වැන්නකට වැඩි යමක් අප ඔහුට කියන්නේ නැත. මුරාඩ් ලා සටන් පාවාදෙන තැනට තල්ලුකර , අසරණ කර මාෆියාව හමුවේ දන ගැස්සුවේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ ක්‍රියාකලාපය විසින්ය. දැන් එය හදන්නට හැක්කේද සුමිත්ගේ මාෆියාව දැක නොදැක්කා සේ ඉන්න ක්‍රීඩා බලධාරීන්ටය.
 
කෙසේ හෝ වේවා සුමිත් සිංගප්පූරු යාම සහ සුමිත්ගේ මාෆියාව තෝරාගත් සීමිත පිරිසක් ද ඒ සමග සිංගප්පූරු  යාමට වඩා දෙයක් ඒ අනූව 21න් පහළ ආසියානු කුසලාන හොකී තරගාවලිය තුළ සිදුව නැත.
 
 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found