Language Switcher

V2025

සුදුකරපටි වැරදි වහන්න රාජ්‍ය සේවක වැඩ තහනමක් : චිත්‍රපට සංස්ථාවේ අවනඩුවක් !

සුදු කරපටි නිලධාරී මාෆියාවේ ගොදුරක් බවට පත්ව අත්තනෝමතික ලෙස වැඩ තහනමකට ලක්වූ රාජ්‍ය නිලධාරිනියක සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

මෙසේ වැඩ තහනමට ලක්ව සිටින්නේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සැපයුම් සහ වෙළඳාම්   අංශයේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ කිරණී චිරන්තනී පෙරේරාය.
 
ඇයට එරෙහිව චෝදනා 7ක් සඳහන්කර චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස චෝදනා පත්‍රයක් ඉදිරිපත්කර වැඩ තහනම් කර ඇති අතර එහෙත් කිසිඳු විනය පරීක්ෂණයක් සිදුකර නොමැත.
 
වඩාත් හාස්‍ය දනවන සිදුවීම වන්නේ මෙම වැඩ තහනම සිදුකරන්නට මූලික වූ ප්‍රධාන චෝදනාවය. එම චෝදනාව වන්නේ රේඛීය අමාත්‍යංශයට වැරදි තොරතුරු සැපයීමය. ඊට දාල නිමිත්ත ජනප්‍රිය නිලි මාලනී ෆොන්සේකා චිත්‍රපට සංස්ථාවෙන් ලබාගත් ණය මුදලක් ගෙවීම සම්පූර්ණ කර ඇද්ද ? නැද්ද ? නැතිනම් ඒ කොපමණ මුදලක්ද ? යනුවෙන් රේඛීය අමාත්‍යංශයේ ලේකම් සිදුකළ කරුණු විමසීමට ප්‍රතිචාර දැක්වීමය.
 
ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති ජයන්ත ධර්මදාස විසින් ඒ සම්බන්ධව නිදහසට කරුණු විමසා යොමුකළ ලිපිය පහත දැක්වෙයි. 
 nidahasa1

නිදහසට කරුණු විමසූ මේ ලිපිය අනුව අදාළ තොරතුරු ලබාදුන්නේ රීඛීය අමාත්‍යංශ ලේකම්ට මිස වෙනත් පාර්ශවයකට නොවේය. එයද ලබාදී ඇත්තේ අමාත්‍යංශ ලේකම් සිදුකළ දැනුම්දීම අනුවය. ඒ බව නිදහසට කරුණු දක්වා කිරණී පෙරේරා ලබාදුන් ලිපියේ පැහැදිළිව සඳහන් කර ඇත. 

 එම ලිපියට අනුව අමාත්‍යංශ ලේකම් ඇය අමතා දැනුම්දී ඇත්තේ අදාළ තොරතුරු වහාම තමන්ට ෆැක්ස් කරන ලෙසය. ඒ අනුව මාලනී ෆොන්සේකා විසින් ෆොන්සේකා 2001 වසරේ පමණ ලබාගත් ලක්ෂ 4කට අධික මුදලක් සහ එයින් ගෙවූ මුදල මෙන්ම පුරප්පාඩු මුදලත් ඇය විසින් අමාත්‍යංශ ලේකම් වෙත දන්වා ඇත. එහිදී රේඛීය අමාත්‍යංශයේ ලේකම් චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන ගණන් තබන නිලධාරියාවීම සහ චක්‍රලේඛ අනුව ඔහුගේ විධාන අනුව කටයුතු කිරීමට සිදුවීම ගැනත් ඇය එම ලිපියේ සඳහන් කර ඇත.
 
එමෙන්ම අදාළ රාජකාරිය ඒ මොහොතේම අවශ්‍ය බව දැනුම්දීම හේතුවෙන් ඒ සම්බන්ධව සංස්ථා සභාපතිට දැන්වීමට නොහැකිවූ බවත් ලිපියේ දක්වා ඇත. ඒ අනුව තහවුරු වන ආකාරයට අමාත්‍යංශ ලේකම් දැක්වූ විධානයට කටයුතු කිරීමේදී ඇය වරදක් කළා නම් එය වැරදි තොරතුරු සැපයීමක් විය යුතු වුවත් එවැන්නක් කිසිසේත් සිදුව නැත.  ඒ වෙනුවට ඇත්තේ වැල්වටාරම් තොගයක් බව සාක්ෂි දරන්නේ සභාපති විසින් කිරණී පෙරේරාගේ වැඩ තහනම් කර යවනු ලැබූ ලිපිය විමසීමේදීය. අනෙක් අතට අමතක නොකළ යුතු තවත් කරුණක් ඇත. ඒ 2014 වසරේ සිට 2019 පෙබරවාරි දක්වා කීරනී පෙරේරා ජාතික චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී (මුදල් ගෙවීම් ) තනතුරේ රාජකාරි කළ බවය.
 
IMG 20200224 WA0000
 
 මේ ලිපිය  අනුව සාවද්‍ය තොරතුරක් ලබා දුන්නා නම් ඒ මොනවද යන්න කරුණු සහිතව දැක්වීමක් හෝ විනය පරීක්ෂණයක් තබා සාක්ෂි මත තීන්දුවක් ගත යුතුව තිබිණ. බැලූ බැල්මට එවැන්නක් මෙහි සිදුව නැත. ඒ ඇයි ? සුදු කරපටි මාෆියාවේ තරම එළියට ආවේ ඒ ගැන සොයන විටය. 
 
මෙහිදී පැහැදිළි සැකසංකා දනවන කරුණක් වූයේ  ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිනි අනුෂා ගෝකුල සමඟ ඇතිවූ පටලැවිල්ලක් මේ වැඩ තහනමට හේතුව වී ඇති බවය. නැතිනම් අනුෂා ගෝකුල සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරි (මුදල් ගෙවීම් ගෙවීම්) ජීවන්ත කීර්තිනායක පාර්ශවය සමඟ තිබූ ගට්ඨනය හේතුවෙන් මේ ආණ්ඩුව යටතේ ඊට වන්දි ගෙවන්න කිරණී පෙරේරා ට සිදුව ඇති බවය. 
 
ගෝකුල එයි : ගැටුම් ඇරඹෙයි !
 
ලැබී ඇති තොරතුරු අනුව කිරණී පෙරේරා 2014 ජූලි මාසයේ සිට 2019 පෙබරවාරි 5 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී (මුදල් ගෙවීම් ) තනතුරේ රාජකාරි කළ බවය. එහිදී ඇය සිය රාජකාරිය අකුරට ඉටුකර ඇති අතර චෝදනා කිසිවක් නැති බව වෘත්තීය සමිති පවා සඳහන් කරයි. එමෙන්ම ටෙන්ඩර් ප්‍රසම්පාදන කමිටු වල සහ තාක්ෂණික ඇගයීම් කමිටුවල ඇය අකුරට ක්‍රියාකළ නිලධාරිනියක් බවත් ඔවුන් සඳහන් කරයි.
 
මේ ආකාරයට නියමිත සුදුසුකම් ඇතිව අකුරට වැඩ රාජකාරි කළත් කිරණිගේ තනතුරට තට්ටු වන්නේ අනුෂා ගෝකුල පසුගිය ආණ්ඩු සමයේ චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සභාපතිනිය වීමත් සමඟය. ඒ සමඟ තවත් නිලධාරියෙකු චිත්‍රපට සංස්ථාවට පැමිණෙයි. ඔහු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිට එන අතර ඒ වන විටත් වසර තුනක වෘත්තීය පරිවාස කාලයකට යටත්වූ නිලධාරියෙකි. ජීවන්ත කීර්තිනායක නම් ඔහුව චිත්‍රපට සංස්ථාවේ  සංස්ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී (මුදල් ගෙවීම් ) තනතුරේ පිහිටුවන්නේ වැඩ බලන පදනමින් වන අතර චිත්‍රපට සංස්ථා පනත අනුව එම තනතුර ගණකාධිකාරී තනතුරට සමාන වන බැවින් ඊට වසර 15ක පළපුරුද්ද අවශ්‍යය. නමුත් ඒ කිසිවක් නොතකා ගෝකුල විසින් අදාළ පත්වීම සිදුකරන අතර එතෙක් එම නිලයේ රාජකාරි කළ කිරණි පෙරේරා සැපයුම් සහ වෙළඳාම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරට පත්කර ඇත. අනුෂා ගෝකුල වැඩබලන සභාපති ලෙස ජාතික චිත්‍රපට සංස්ථාවට එන්නේ 2019 පෙබරවාරි 01 වනදා වන අතර කිරණී පෙරේරා මාරුව ලබන්නේ පෙබරවාරි 05 වනදාය.
 
තොරතුරු පනත ගැටුමට මුල පුරයි !
 
මේ ආකාරයට කාලය ගෙවීයන අතරේ අනුෂා ගෝකුල යටතේ සිදුවන පත්වීම් ලබාදීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධව තොරතුරු පනත යටතේ තොරතුරු විමසීමට දේශීය සිනමා ශිල්පීන්ගේ සංසදය කටයුතු කර ඇත. මේ සංසදය නියෝජනය කරන්නේ රොහාන් වැලිවිට (මහින්ද විපක්ෂ නායක සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම් ), පද්මසිරි කොඩිකාර, දිනේෂ් ප්‍රියසාද්, රාජ රණසිංහ, කීර්ති බණ්ඩාර වැනි උග්‍ර පොහොට්ටු හිතවාදීන් පිරිසකි.
 
 ගෝකුල ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස පැමිණීමට පෙර එහි තොරතුරු නිලධාරින් ලෙස කටයුතු කර ඇත්තේද කිරණි පෙරේරා සහ ගාමිණි රූපසිංහ යන අයය. ඒ එහි හිටපු සභාපතිවරයෙකු වන දීපාල් සඳරත්න සිදුකල පත්කිරීමක් අනුවය. දේශීය සිනමා ශිල්පීන්ගේ සංසදය 2019 ඔක්තෝබර් 22 හෝ ඊට ආසන්න දිනකදී චිත්‍රපට සංස්ථාවේ තොරතුරු ලබාගැනීම සහ පත්වීම් ලබාදීමක් සම්බන්ධව එහි පැමිණ බහින්බස්වීමක් සිදුකරගෙන ඇත. ඒ අනුෂා ගෝකුල ඇතුළු බලධාරීන්  සමඟය. එදින දේශීය සිනමා ශිල්පීන්ගේ සංසදයේ පිරිස සංස්ථා පරිශ්‍රයෙන් යාමට පෙර තොරතුරු නිලධාරීන් කැඳවා ඇති අනුෂා ගෝකුල අදාළ වගකීම් ඔවුන් වෙතින් ඉවත්කර සංස්ථාවේ නීති නිලධාරි වෙත පවරා ඇත.
 
එපමණක් නොව සංස්ථාවේ සිදුවන පත්වීම් සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධව ජනාධිපතිට සේවක සංගම් පැමිණිලි කිරීම සහ ඒ තුළ විමර්ශනයක් සිදුවුවහොත් කිරණි පෙරේරා සාක්ෂි ලබාදීම සිදුවනු ඇති බවත් එය තමන්ට අවාසි වනු ඇති බවටත් යන සැකයක  ගෝකුල ඇතුළු බලධාරීන් කිහිපදෙනෙකු සිටි බවත් දැනගන්නට ඇත.
 
ඊට ආසන්න චෝදනාවක් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ගණකාධිකාරී ලෙස කටයුතු කරන ජීවන්ත කීර්තිනායක වැඩබලන පදනමින් සිටින අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වැටුපට අමතරව චිත්‍රපට සංස්ථාවෙන්ද නියමිත දීමනාවට වඩා ලබා ගැනීමය. සේවක ප්‍රජාව චෝදනා කරන ආකාරයට චිත්‍රපට සංස්ථාවේ වැඩ බැලීම වෙනුවෙන් කීර්තිනායක ට ලබාගත හැකි දීමනාව රුපියල් 13000ක් පමණ වුවත් ඔහු රුපියල් 90000කට ආසන්න දීමනාවක් ලබාගනී.
 
වැඩ තහනම !
 
මේ අයුරින් සංස්ථාවේ සියළු ප්‍රශ්න කෙරෙහි වන අවධානය වෙනතක යොමුකර ඒ සියල්ල  තමන්ගේ වැඩ තහනම සමඟ යටපත් කර දමා ඇති බව කිරණි පෙරේරාගේ අදහසය. එසේම සේවක සංගම් ද පවසන්නේ කාලයක් තිස්සේ සංස්ථාවේ තිබු ප්‍රශ්න සම්බන්ධව බලධාරීන් දැනුවත් කර ඇති නමුත් ඒ කිසිවක් නොතකා නියමිත ආකාරයට රාජකාරී සිදුකල නිලධාරිනියකගේ වැඩ තහනම් කර ඇති බවය.
 
මේ කටයුත්ත සිදුකර ඇත්තේ වත්මන් සභාපතිව මුළුමනින්ම නොමග යවමින් බවත් ඔවුන් පවසයි. ඒ අනුව වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ මේ සිදුව ඇති අසාධාරණය සම්බන්ධව මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශව වෙතද දන්වා ඇති බවය. බලය තනතුරු නැතිව වුවත් සුදුකරපටි නිලධාරි මාෆියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පවා නිදහසේ සිය අභිමතාර්ථ සපුරා ගනිමින් සිටින බවටත් ඔවුන් චෝදනා කරයි.
 
 
 

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found